Saturday, May 5, 2012

එළි සිතුවම්

විදුලි පන්දම් නැටුම හිටුවන විදුලි පහනක් එළි සිතුවමට නැංවීම ආලෝක රැහැනෙන් වෙළුන පුටුවක් ආලෝක රැහැනෙන් වෙළුන මිනිසෙක් නගරයේ එළි උල්පත

හැඳින්වීම

එළි සිතුවම් යනු ඡායාරූප කලාවේ එන ‘සේයා පතන මාධ්‍යයෙහි දීර්ග නිරාවරණය (long exposure)’ නැමැති ශිල්පීය ක්‍රමයට අනුකූලව සේයාරූගත කළ හැකි ළගන්නාසුළු සිත්තම්වේ.

යාන්ත්‍රණය

වස්තුවක් සේයාරූගත කරන අවස්ථාවේ සේයා ගතක යන්ත්‍රයේ හෙවත් කැමරාවේ ප්‍රධාන අංගවල ක්‍රියාකාරිත්වය ගැන වටහාගැනීම එළි සිතුවම් ගැනීමේ ශිල්පීය ක්‍රමය දැනගැනීමට පහසුවක් වන බැවින් අපි පළමුවෙන්ම ඒ ගැන සොයා බලමු.

කැමරාවේ ප්‍රධාන අංග

ඕනෑම වස්තුවක් සේයාරූ ගතවන අවස්ථාවේ කැමරාවේ යතුර ක්‍රියාත්මක කිරීමත් සමඟම කැමරා පියන විවරවන අතර වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ කදම්බය කාචය තුළින්ද කැමරා සිදුර තුළින්ද ගමන් කර ඇරුණු කැමරා පියන හරහාද ගමන්කර සේයා පතන මාධ්‍යය (සේයාපටය හෝ රූප සංවේදකය) මත සටහන් වීම සිදුවෙයි.

එහෙයින් වස්තුවේ සිට පැමිණ, සේයා පතන මාධ්‍යය මතට පතිතවන ආලෝක කිරණ ප්‍රමාණය වෙනස් කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් මෙහිදී හඳුනාගත හැක. එනම් කැමරා සිදුරේ හරස්කඩ වර්ගඵලය වෙනස් කිරීම සහ කැමරා පියන විවරකර තබන කාලසීමාව වෙනස් කිරීම මගිනි. එළි සිතුවම් සේයාරූගත කිරීමට යොදා ගන්නේ දෙවන ක්‍රමයයි. එනම් කැමරා පියන විවරකර තබන වෙලාව තත්පර පහක් දහයක් හෝ ඔබට උවමනා කාලයක් දක්වා වැඩි කිරීම මගිනි.

එළි සිතුවම් සේයාරූගත කල හැකි ක්‍රම දෙකකි.

  • කැමරාව නිශ්චලව තබා දීප්තිමත් වස්තුවක් චලනය කිරීම මගින්
  • දීප්තිමත් වස්තුවක් ඉදිරිපිට කැමරාව චලනය කිරීම මගින්

පිළිවෙල

1 . කැමරාව නිශ්චලව තබා දීප්තිමත් වස්තුවක් චලනය කිරීම මගින්

මේ සඳහා දීප්තිමත් වස්තුවක් ලෙස දිදුළන එළියක්‌ ගෙනදෙන සිහින් විදුලි පන්දමක් වඩා සුදුසුවන අතර ඉටිපහනක්, ගිනිකෙළි, හුළුඅත්තක්, හඳුන්කූරක් වැනි දේ වුව යොදාගත හැක. පළමුවෙන්ම අඳුරු වටපිටාවක් ඇති තැනෙක කැමරාව නොසෙල්වෙන අයුරින් මේසයක් හෝ තෙපාවක් මත ස්ථානගත කළයුතුය. දෙවනුව, දීර්ග නිරාවරණ කාලයකට සකසනලද කැමරාව ක්‍රියාත්මක කර දීප්තිය ගෙනදෙන වස්තුව කැමරා කාචයේ මුහුණත ඉදිරිපිට චලනය කිරීමෙන් සිතුවම ඇඳගත හැක .

මෙහිදී අවකාශය කැන්වසය ලෙසත් පන්දම පින්සලයක් ලෙසත් හැසිරේ.

2 . කැමරාව චලනය කිරීම මගින්

මෙම ක්‍රමය සාම්ප්‍රදායික ඡායාරූපකරණයට හාත්පසින්ම වෙනස් වේ. එනම් අඳුරේ ඡායාරූප ගනුලබන්නේ කැමරාව නිසලව තබාගෙනය. නමුත් මෙහිදී දීප්තිමත් වස්තුවක් ඉදිරිපිට ක්‍රියාත්මක කරනලද කැමරාව ඔබට රිසිසේ චලනය කිරීම මගින් සේයාරුව සිත්තම්කළ හැක.

පහතින් දැක්වෙන වීඩියෝ ලැයිස්තුවේ පළමුවැන්න එළි සිතුවම් ගැන මෙන්ම ඒවායේ කලාත්මක හා විද්‍යාත්මක භාවිතය ගැනත් වැටහීමක් ලබා ගන්න ඔබට තවත් උපකාරීවනු ඇත. දෙවැන්න ඉතා මනහර එළි සිතුවම් ටිකක් දැකගන්නට අවස්ථාව සලසාදෙනු ඇත. නරඹලාම බලන්න එහෙනම්.

එළි සිතුවමක් සේයාරූගත කරන්න නිවසේදීම ඔබත් උත්සාහයක් අරගෙන බලන්න. එය, රසවත් අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.

No comments:

Post a Comment