Friday, August 31, 2012

පංච හේතු - ඵල න්‍යාය

මමත්, මගේ කාර්යාලයීය මිතුරියත් අතර ඇතිවුණු සංවාද කිහිපයකි මේ.

දිනක්
මම : තව ටිකකින් මම යනවා එළියට ‘සයිට් විසිට්’ එකකට. හදිසි වැඩක් නැත්නම් ඔයත් එන්න.
ඇය : හදිසි වැඩක් නම් නැහැ. ඒත් මගේ හිස කැක්කුමයි. ඔයා යන්න.
මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු එළියට.
ඇය : ම්හ් …. යමු

දින කිහිපයකට පසු
මම : ඔඩිටෝරියම් එකේ ‘කාර්යක්ෂමතාවය හා ඵලදායී
තාවය’ ගැන සම්මන්ත්‍රණයක්... ඕනෑ කෙනෙකුට බලන්න යන්න පුළුවන්… මම යනවා... ඕනෙනම් ඔයත් එන්න.
ඇය : අනේ මම එන්නෙ කොහොමද මගේ හිස කැක්කුමයි ඔයා යන්න.
මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු ඒක බලන්න.
ඇය : ම්හ් …. යමු

තවත් දින කිහිපයකට පසු
මම : අපි අද ‘ලන්ච් අවර්’ එකේ පොත් ප්‍රදර්ශනය බලන්න යමුද? මට අලුත් පොත් ටිකක් ගන්නත් ඕනෙ.
ඇය : අනේ… මටත් එන්න පුළුවන් නම් හොඳයි. ඒත් මට එන්න බැහැ. මගේ හිස කැක්කුමයි ඔයා යන්න.
මම : ඇයි ?..... ඇයි නිතරම ඔයාගේ හිස කකියන්නේ… ? - 1
ඇය : උදේ කෑම මගහැරුණ දවස්වලටයි මට හිසේ කැක්කුම හැදෙනනෙ  අදත් …
මම : ඇයි ඔයාට උදේ කෑම මඟහැරෙන්නේ ?  - 2
ඇය : උදේට කන්න වෙලාවක් නැති නිසායි ඒ… 
මම : ඇයි ඔයාට උදේට කන්න වෙලාවක්  නැත්තේ ? - 3
ඇය : ගොඩක් දවස්වලට මම පරක්කු වෙලයි උදේට නැඟිටින්නේ…
මම : ඇයි ඔයාට පරක්කු වෙලා නැඟිටින්න වෙන්නේ ? - 4
ඇය : මම නිතරම පරක්කුවෙලයි නින්දට යන්නෙ…
මම : ඇයි නිතරම පරක්කුවෙලා නින්දට යන්නෙ ? - 5
ඇය : මම හැමදාම ගොඩාක් රෑ වෙනතුරු TV බලනවා. ඊයෙත් ….

ඔබට වැටහෙනවද මම මේ කතාවෙන් කියන්න උත්සාහ කරන්නේ  මොනවගේ දෙයක්ද කියන එක. එදිනෙදා ජීවිතේදී අප විසින් මුහුණදෙන ගැටළු අතරින් සමහර ගැටළු තියෙනවා තාවකාලික පිළියමක් යෙදීම හරියාකාර විසඳුමක් නොවන අවස්ථා. මෙයත් එවැනි ගැටළුවක්. එනම් නිතර නිතර ඇතිවෙන හිසේ කැක්කුමට පිළියම රූපවාහිනිය නැරඹීම අඩුකිරීම මිස ‘පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම’ නොවනබව. තවද එය තාවකාලික ප්‍රතිකර්මයක්, කෙටිකාලීන විසඳුමක් පමණක්ම වනබව. ඉහත සඳහන් සිදුවීම් දාමයෙන් පෙනී යන්නේ එය නොවේද? . මෙවැනි කල්පවත්නා, කෙතරම් පිළියම් යෙදුවත් නැවත නැවතත් එකම අයුරින් සිදුවෙන ගැටළු වලට මතුපිටින් පිළියම් යොදලා කිසිම ඵලක්‌ නැහැ එවැනි ගැටළු විසඳන්න සුදුසුම ක්‍රමය තමයි ගැටලුවට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව හමුවන හෝ හඳුනාගන්නා තෙක් අසන්නතම නිවැරදි පිළිතුරෙන් ප්‍රශ්නය ගොඩනගමින් පියවරෙන් පියවර ආපස්සට ප්‍රශ්න කරගෙන යාම.

නිදසුන

ගැටළුව - නිතර නිතර හිසේ කැක්කුම ඇතිවීම
ඇයි :- උදෑසන ආහාරය මඟහැරීම නිසා - 1
ඇයි :- ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීම නිසා - 2
ඇයි :- පමාවෙලා අවදිවීම නිසා - 3
ඇයි :- පමාවෙලා නින්දට යාම නිසා - 4
ඇයි :- ඕනෑවට වඩා රුපවාහිනිය නැරඹීම නිසා - 5

හේතු ත්‍රිකෝණය

එවිට ගැටළුවට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව මේ ආකාරයෙන් කූඩු කරගත හැකිවනවා.

මෙම ක්‍රමය පියවර පහකට පමණක් සීමාවීම අනිවාර්ය නොවුනත් මෙය හැඳින්වීමට වඩා සුදුසු ‘පංච හේතු - ඵල න්‍යාය’ කියලයි ඒ මොකද බොහෝවිට පස්වැනි ප්‍රශ්නයට පිළිතුර ලෙස ලැබෙන්නේ ආසන්නතම මෙන්ම හොඳම මූලික හේතුව වන නිසා.
නමුත් ඇතැම්විට ආසන්නතම, හොඳම මූලික හේතුව හතරවැනි ප්‍රශ්නයට පිළිතුර ලෙස ලැබෙන අවස්ථාත් නැතිවාම නොවෙයි. නමුත් හත්වන, අටවන ප්‍රශ්නවලට පසුව අසන ප්‍රශ්න බොළඳ ප්‍රශ්න ලෙස සැලකෙනවා. එමෙන්ම ඒවාට ලැබෙන පිළිතුරු ප්‍රායෝගික නොවන බවද වැටහෙනවා.

පහත දැක්වෙන ප්‍රස්ථාරය මඟින්, විමසන ප්‍රශ්නය සතුවන ස්ථානය අනුව ලැබෙන පිළිතුර සතු ‘නිරවද්‍යතාවය’ නොහොත් ‘හේතුසහගතභාවය’ දළ වශයෙන් ප්‍රමාණාත්මක මිණුමකට අනුව ක්ෂේත්‍රගතකර ඇති ආකාරය පෙන්නුම් කරයි.

ඇයි වක්‍රය
තවද මෙහි ‘ඇයි ?’ කියන පැනයකට පිළිතුරු ලෙස පිළිතුරු කිහිපයක් වුවත් ලැබිය හැකියි. එවිට ඒ එක් එක් පිළිතුර ඔස්සේ වෙන වෙනම ප්‍රශ්න කරමින් හොඳම හේතුව සොයා යා යුතුයි.

ප්‍රශ්න ඵල රුක් සටහන

මේ අනුව, ඕනෑම ඵලයක්‌ හටගන්නේ හේතුවක් ඇතිව බව ඔබට වැටහෙනු නිසැකයි. එනම්…

නිතර නිතර ඇතිවන හිසේ කැක්කුමට හේතුවුණේ  උදෑසන ආහාරය මඟහැරීම
උදෑසන ආහාරය මඟහැරෙන්න හේතුවුණේ ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීම 
ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීමට හේතුවුණේ පමාවෙලා අවදිවීම 
පමාවෙලා අවදිවීමට හේතුවුණේ පමාවෙලා නින්දට යාම 
පමාවෙලා නින්දට යාමට හේතුවුණේ ඕනෑවට වඩා රුපවාහිනිය නැරඹීම

අන්න ඒ නිසායි මේ සිද්ධාන්තයට ‘පංච හේතු - ඵල න්‍යාය’ කියන නම වඩා සුදුසුයි කියලා හිතුවේ. ඒ වගේම සමහරවිට මේ උදාහරණය එතරම් යෝග්‍ය නොවෙනවා වන්න පුළුවන්. ඒත් මම මෙයින් උත්සාහ කළේ මෙම වටිනා සිද්ධාන්තයේ හරය ඔබට‍ පැහැදිළි කිරීමටත් එම සිද්ධාන්තය ඵලදායී අයුරින් ඕනෑම අවස්ථාවක් සඳහා යොදාගත හැකි බැව් පෙන්වාදීමටත් පමණි.

ගැටලුවකට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව සොයායන මෙම ක්‍රමවේදය සොයාගන්නා ලද්දේ ජපන් කාර්මික විප්ලවයේ පියා ලෙස ජපන් වැසියන් අතර මහත් ගෞරවයට පාත්‍රවන ‘ටොයෝටා කර්මාන්ත’ සමාගමේ නිර්මාතෘ ‘සකිචි ටොයෝඩා’ විසිනි. වඩා කාර්යක්ෂමතාවයක් ඇතිකිරීම මඟින් ‘ටොයෝටා නිෂ්පාදන ක්‍රියාවලියේ’ අභිවර්ධනය කිරීම උදෙසා මෝටර් සංස්ථාවේ නිෂ්පාදන ක්‍රමවේදයේ නවමු  මඟක් ලෙස මෙම ‘පංච හේතු - ඵල න්‍යාය’ යොදාගැනීම ඔහුගේ අරමුණ විය.