Wednesday, July 22, 2015

කන්නටත් බැරිය - නොකා ඉන්නටත් බැරිය

_thumb

යකඩ

ශාකමය හෝ සත්ත්වමය සෑම ජීවී සෛලයක් තුළම අන්තර්ගත වෙමින් ඒවායේ නඩත්තුවට බෙහෙවින් උපකාරී වන සංඝටකයකි යකඩ.

ශරීරයේ තිබෙන යකඩ වල ප්‍රධාන කර්තව්‍යය ශරීරයේ සෑම සෛලයකටම සිය පරිවෘත්තීය (ආස්වාස ප්‍රාස්වාස) ක්‍රියාවනට ඕනෑ කරන ඔක්සිජන් පරිවහනයට හා පරිභෝජනයට දායක වීමයි. මිනිස් ශරීරයේ අන්තර්ගත යකඩ වලින් වැඩිම ප්‍රතිශතයක් (70% ක් පමණ) මේ සඳහා දායක වන අතර ඒවා රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබින් හා මාංශපේශි සෛල වල තිබෙන මයෝග්ලොබින් කියන ප්‍රෝටීන දෙක තුළ ගබඩාව පවතී.

මෙයින් හිමොග්ලොබින් තුළ තිබෙන යකඩ තමයි පෙනහළු වල සිට පටක කරා ඔක්සිජන් රැගෙන යෑම සිදුකරන්නේ

එමෙන්ම මයෝග්ලොබින්වල තිබෙන යකඩ තමයි මෙසේ ගෙන එනු ලබන ඔක්සිජන් භාර ගැනීමත්, ගබඩා කර ගැනීමත්, සෛල කරා ගෙනයෑමත් , අවශ්‍ය අවස්ථා වලදී පරිභෝජනයට මුදාහැරීමත් සිදු කරන්නේ.

මීට අමතරව හදිසි අවස්ථාවකදී අමතර ශරීර ශක්තිය උපදවා ගැනීමටත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයටත් ඇතැම් ප්‍රෝටීන තුළ හා එන්සයිම තුළ තිබෙන 6% ක් වැනි සුළු යකඩ ප්‍රතිශතයක් දායක වන අතර ශරීරයේ අනෙකුත් සියළුම සෛල වල ගබඩා වී තිබෙන්නේ ඉතිරි 25% යි.  

යකඩ ඌනතාවය

අප එදිනෙදා ගන්නා ආහාර වල ප්‍රමාණවත් තරම් යකඩ අන්තර්ගත නොවීමෙන් හා යකඩ අවශෝෂණයට බාධා ඇතිවීමෙන් ශරීරය තුළ යකඩ ඌනතාවයක් හටගත හැකියි. මෙහි තිබෙන භයානකම තත්ත්වය යකඩ ඌනතාවය නිසා රක්තහීනතාව ඇතිවීමේ අවදානමයි.

මොකක්ද මේ රක්තහීනතාවය කියන්නෙ…

----_thumb2රක්තහීනතාවය කියන්නෙ රුධිරයේ රතු රුධිරාණු සෛල මට්ටම හෝ රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබීන් ප්‍රෝටීන මට්ටම පහත වැටීම. වෙනත් විදියකින් කියනවා නම් රුධිරයේ ඔක්සිජන් පරිවහණය අඩාල වීම.

රුධිරයේ රතු රුධිරාණු සෛල නිෂ්පාදනයට යකඩ අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ වගේමයි ශරීරය තුළ යකඩ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේත් මේ රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබීන් කියන ප්‍රෝටීනය තුළ. රුධිරයේ රක්ත වර්ණයට හේතු වන්නේත් මේ යකඩ අන්තර්ගත හිමොග්ලොබීන් ප්‍රෝටීන. පෙනහළු තුළදී ඔක්සිජන් අණු සමඟ බන්ධන සාදා ගනිමින් පෙනහළු වල සිට පටක කරා ඔක්සිජන් ගෙන එනු ලබන්නේ හිමොග්ලොබින් වල තිබෙන යකඩ මඟින්.

මේ නිසා ප්‍රමාණවත් තරම් යකඩ තිබුනොතින් තමයි ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය සිදුවන්නේ. ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය වුණොත් තමයි රතු රුධිරාණු නිෂ්පාදනයට හා ඔක්සිජන් පරිවහනයට ප්‍රමාණවත් තරම් යකඩ ගබඩාකර ගත හැකි තරම් හිමොග්ලොබීන් මට්ටමක් රුධිරයේ පවත්වා ගතහැකි වන්නේ.

කොහොමද අපි රක්තහීනතාවය හඳුනා ගන්නේ...

සුදුමැලි පෙනුම, ඈලිමෑලි කතාබහ, අලස හැසිරීම, ගාටන ගමන… කොටින්ම කිව්වොතින් වෙහෙස මහන්සිය හා තෙහෙට්ටු විලාසයක් පෙන්නුම් කරනවානම් ඒවායෙන් රක්තහීනතාවය හඳුනාගත හැකියි.

මොනවද මේ රක්තහීනතාවයේ ලක්ෂණ...

-_thumb1

ශරීරයේ යකඩ අඩු වුණහම රුධිරයේ රතු රුධිරාණු මට්ටම මෙන්ම යකඩ අඩංගු හිමොග්ලොබීන් මට්ටම පහළ වැටීම සිදුවන නිසා රුධිරයේ රක්ත වර්ණය අඩුවීමත් ඔක්සිජන් පරිවහණය අඩාල වීමත් සිදු වෙනවා.

කොහොමනමුත් ගොටුකොළ, වෙල්අලකොළ නිවිති තම්පලා කංකුං ආදි කොළ එළවඵ ,  පීකුදු, මාඵ, රතුපැහැ මස් වර්ග, සෝයා ටෝෆු, පරිප්පු, උක් පැණි, තල,බෝංචි, මුං ඇට හා රනිල බීජ යනාදිය යකඩ බහුල ආහාර නිතිපතා ඔබේ ආහාරයට එකතුකර ගන්නවා නම් රක්තහීනතාවය ඇතිවීමේ අවදානමක් මතුවන්නේ නැහැ. මේවායෙන් සත්ත්වමය ආහාරවල අඩංගු යකඩ ශාකමය ආහාරවල අඩංගු යකඩ වලට වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකියි. නමුත් යකඩ අඩංගු සත්ත්ව හා ශාක යන ආහාර ජාති දෙකම එකට ගැනීමෙන් ශාකමය අහාර වල තිබෙන යකඩ අවශෝෂණය වැඩිකර ගත හැකියි. එමෙන්ම යකඩ බහුල ආහාර සමඟ විටමින් C අඩංගු ආහාර පාන ගැනීමෙන්ද යකඩ අවශෝෂණය දිරිගැන්වෙයි.

මිනිසාගේ දෛනික යකඩ අවශ්‍යතාවය ග්‍රෑම් 2.5 ක් පමණ වේ. ඒ ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන් පරිවහනය සඳහායි. සිරුර තුළ යකඩ නිෂ්පාදනය සිදුනොවන අතර අවශ්‍යතාවයක් තිබූ පමණින් යකඩ ආහාරයට ගැනීමටද නොහැකියි. එනිසා මෙම අවශ්‍යතාවය සපුරාගත හැකි එකම මාර්ගය යකඩ අඩංගු අහාර පරිභෝජනයට ගැනීමයි.

--_thumb1

මීට අමතරව තවත් යකඩ ග්‍රෑම් 2 ක් පමණ අපේ ශරීරය තුළ ගබඩාව පවතිනවා. අප ගන්නා ආහාරයේ තිබෙන වැඩිපුර යකඩ කොටස ෆේරිටින් සංකිර්ණය ලෙස වැඩි වශයෙන් ඇට මිදුලු, අක්මාව හා ප්ලීහාව ඇතුළුව ශරීරයේ සියළුම සෛල තුළ මෙලෙස ගබඩා කර Vitamin-A_thumb2ගැනෙනවා. මෙසේ ගබඩා කර ගන්නා වැඩිපුර යකඩ අවශ්‍යතාවය පරිදි මුදාහැරීම සිදුවන අතර විටමින් A මේ සඳහා  උපකාරී වේ. මේ අනුව වැඩුණු මිනිසෙකුගේ ශරීරයේ නිරතුරුව යකඩ ග්‍රෑම් 4.5 ක් පමණ පවතී.

තේ, කෝපි හා කාබනික පාන (කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට්, ෆැන්ටා, මිරින්ඩා… ) වැනි කැෆේන් අන්තර්ගත පාන යකඩ අඩංගු ආහාර සමඟ ගැනීමෙන් යකඩ අවශෝෂණය ප්‍රබල ලෙස පහත වැටෙනවා.

දෛනික යකඩ පරිභෝජනය වැදගත් වන්නේ දිනපතා ආකාර කිහිපයකින් යකඩ අපේ ශරීරයෙන් බැහැර වන බැවිනි. ඒ මළ මුත්‍ර හා දහදිය මඟින්, හමේ මැරුණු සෛල ගැලවී යාම මඟින්. මීට අමතරව රුධිර වාහනයක් සිදුවීමෙන් හෝ ලේ දන්දීම හේතුවෙන් විශාල වශයෙන් යකඩ හිඟ වීමක් සිදුවෙනවා. මේ නිසා එසේ බැහැර වන යකඩ අපි පිටතින් ලබා ගත යුතුයි.

එමෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් යකඩ අවශ්‍යයි. ඒ ඔවුන්ගේ ශරීරයෙන් රුධිරය වහනය වීම සිදුවන නිසා. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට අමතර යකඩ ප්‍රමාණයක් අවශ්‍ය වනවා. මව් කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට අවශ්‍ය යකඩ තනිකරම සපුරාලන්නේ මවගේ රුධිරයේ තිබෙන යකඩ මඟින්. දරුවාට දෙන කිරි සමඟ කිරි දෙන මව්වරුන්ගේ ශරීරයේ තිබෙන යකඩ සෑහෙන ප්‍රමාණයක් වැය වෙමින් දරුවාගේ පෝෂණයට උපකාරී වෙනවා.

මේ අනුව එදිනෙදා යහපැවැත්මට නැතුවම බැරි සාධකයක් ලෙස යකඩ හඳුනාගත හැකියි.


පරිශීලක පිටු

  1. https://en.wikipedia.org/wiki/Iron#Biological_role
  2. https://en.wikipedia.org/wiki/Hemoglobin
  3. https://en.wikipedia.org/wiki/Human_iron_metabolism#Body_iron_stores
  4. https://en.wikipedia.org/wiki/Anemia
  5. http://www.ext.colostate.edu/pubs/foodnut/09356.html
  6. http://www.nelsonsnaturalworld.com/en-gb/uk/our-brands/spatone/iron-essentials/role-of-iron-in-the-body

No comments:

Post a Comment