Tuesday, October 30, 2012

ගතසිත සනසන - නින්දට මුල්තැන

නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක දෙවැන්න

නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි

නිදි අවධි චක්‍රවල එකතුව

පුද්ගලයෙකුගේ හිසට විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය යන්ත්‍රයක් සවිකර එම පුද්ගලයාව නින්දට යෑමට සැලැස්වීම මඟින් නින්දේදී එම පුද්ගලයාගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වාර්තාගත කරගත හැක. එවැනි වාර්තා රටා හැදෑරීම මඟින් හඳුනාගෙන ඇති පරිදි එක් දීර්ග නින්දක් තුළ පුද්ගලයෙකු විසින් වරින්වර චක්‍රානුකූලව පසුකරමින් යන පැහැදිලි නිදි අවධි කිහිපයකි.

නිදි අවධි

නිදි අවධි ප්‍රස්තාරය

ප්‍රස්තාරයෙන් දැක්වෙනුයේ පැය අටක දීර්ග නින්දක් තුළ කාලයත් සමඟ එක් එක් නිදි අවධීන්හි ඇතිවීම සහ පැවැත්මයි. එමෙන්ම එම ප්‍රස්තාරයට අනුව පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන නිදි අවධීන් දෙකකි...

  1. වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය
  2. වේගවත් අක්ෂි චලනය සිදුනොවන නිදි අවධිය

වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය

සම්පුර්ණ රාත්‍රී නින්දකදී වේගවත් අක්ෂි චලන අවධිය කාල අන්තර තුනේ සිට පහ දක්වා සිදුවිය හැක. එනම් සෑම පැය එකහමාරකට හෝ දෙකකට වරක් පුද්ගලයෙකු විසින් නින්දෙන් මෙම අවධියේ පසුවෙන අතර එක් අවධියක කාලසීමාව උපරිම මිනිත්තු තිහ දක්වා පැවතිය හැකියි. තවද මෙම අවධධීන්වල එකතුව මුළු නින්දෙන් සියයට විස්සත් විසිපහත් අතර වේ. ළදරුවකුගේ නම් සියයට හතළිහකි.

බාහිර උත්තේජනයකින් තොරව රාත්‍රී නින්දෙන් වරින්වර ඔබ ඉබේ ඇහැරෙන්නේ මෙම අවධියේ පසුවෙන විටදීයි. එමෙන්ම ඔබ විසින් නින්දේදී සිහින දැකීම සිදුවන්නේද මෙම වේගවත් අක්ෂි චලන අවධීන් වලදීයි. තවද මෙම එක් අවධියක කාලසීමාව මිනිත්තු පහේ සිට මිනිත්තු තිහ දක්වා දිගු වියහැකි හැකි බැවින් ඔබ විසින් දකින එක් සිහිනයක් මිනිත්තු තිහක් පමණ දිර්ඝ වීමටද ඉඩකඩ තිබේ. තවද ඔබ එලෙස සිහිනයක් දකිමින් සිටින අතරතුර නින්දෙන් පිබිදුණහොත් ඔබට එම සිහිනය ඉතා පැහැදිලිව විස්තර කිරීමටද හැකියාව ලැබේ. තවද මෙම නිදි අවධියට පිවිසෙන හෝ ඉන් පිටවන අවස්ථාවේදී එකවරම නින්දෙන් ඇහැරුණ හොත්, මා විසින් මීට පෙර පළකරන ලද ‘සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී’ ලිපියෙන් කියැවෙන ‘ඔබ නින්දෙන් පිබිදුණු බව දැනුනත් ඔබේ අත්පා හෝ සිරුර සෙලවිය නොහැකි පරිදි ගල්ගැසී ඇති බවක් දැනීම’ නැමැති බියජනක අත්දැකීමට මුහුණදීමට සිදුවන බව පැහැදිලි කරුණකි. පුද්ගයෙකු වේගවත් අක්ෂි චලන අවධියේ පසුවෙන අවස්ථාව හඳුනාගත හැකි බාහිර ලක්ෂණ කිහිපයකි.

  • ඇසිපිය මතින් ඇස් ඉදිරියට සහ පිටුපසට වේගයෙන් චලනයවීමක් දැකගත හැකිවීම.
  • ඇතැම්විට අත් පා වල මෙන්ම මුහුණේ මාංශ පේශී වල ගැස්මක් දැකගත හැකිවීම.
  • ශරීරයේ මාංශපේශී ඉහිල්වීම.
  • හදවතේ ගැස්ම වේගවත්වීම
  • ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් වන අතර කෙටි හුස්ම ගැනීම් හා හෙලීම් වලින් යුතුවීම.

වේගවත් අක්ෂි චලනය සිදුනොවන නිදි අවධිය

වේගවත් අක්ෂි චලනය සිදුනොවන නින්ද උප ප්‍රධාන නිදි අවධි තුනකින් සමන්විතවේ.

සැහැල්ලු උප නිදි අවධිය
නින්ද යාගෙන එන බව දැනෙන එනම් නිදිමත ගතිය දැනෙන, නින්දත් නොනින්දත් අතර ගෙවෙන අවධිය මෙයයි. මෙම උප අවධිය, අවදියෙන් සිට තද නින්දට පිවිසෙන සංක්‍රාන්ති සමයවේ. මුළු නින්දෙන් සියයට පහක් පමණ මීට අයත්වේ. මෙම කාල සීමාව අතරතුර මාංශපේශී ක්‍රමයෙන් ඉහිල් වෙමින් ඒවායේ ක්‍රියාකාරීත්වය පහත හෙලීම සිදුවේ. අවට සිදුවන දේ පිළිබඳ යාන්තමට දැනීමක් තිබේ. මීට අමතරව වරින්වර දෑත්දෙපාවල ඇතිවෙන ගැස්මක් දැකගත හැකිය. එනම් මා විසින් මීට පෙර පළකරන ලද ‘
සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී’ ලිපියෙන් කියැවෙන ‘ඔබට‍ නින්දයාගෙන එනබව දැනෙනවාත් සමඟම ඔබ නිදාගෙන සිටින ස්ථානයෙන් එක්වරම පහළට ඇදගෙන වැටෙන ස්වභාවයක් දැනී ඔබේ සිරුර ක්ෂණික තිගැස්මකට ලක්වීම’ නැමැති ත්‍රාසජනක සිදුවීම අත්දකින්නට සිදුවන්නේ මෙම අවධිය අතරතුරදීයි.

සැබෑ උප නිදි අවධිය
මුළු නින්දෙන් වැඩිම කාලයක් එනම් සියයට හතලිස් පහත් පනස් පහත් අතර කාලයක් වැයවන්නේ මේ නිදි අවධියටයි. මෙම නිදි අවධියේ පසුවෙන විට පුද්ගලයෙකු ආශ්වාස ප්‍රශ්වාස කරන රටාවේ වේගය අඩුවෙන අතර හදගැස්මේ වේගවත්බවද අඩුවේ. ශරීර උෂ්ණත්වය යම්තරමකට පහත වැටේ. ඇතැම්විට දහදිය දැමීම සිදුවේ.

ගැඹුරු උප නිදි අවධිය
ඇතැම්විට මෙම උප නිදි අවධිය ගැඹුරු හා ඉතා ගැඹුරු යනුවෙන් තවදුරටත් කොටස් දෙකක් ලෙස පැහැදිලිකරන අවස්ථාද තිබේ.මෙම නිදි අවධියේ පසුවෙන අයෙකුගේ ආශ්වාස ප්‍රශ්වාසය සෙමෙන් රටානුකූලව සිදුවේ. දෑත් දෙපා සෙලවීම ඉතා අවම වේ. මෙම අවධිය මුළු නින්දෙන් සියයට විස්සක් පමණ වේ.

නිදි අවධි විශ්ලේෂණය

නියමානුකූලව නම් පැය එක හමාරකට හෝ දෙකකට වරක් චක්‍රානුකූලව එක් එක් නිදි අවධිය නැවත නැවත පසුකිරීම සිදුවේ. එනම් එක් දීර්ග සම්පුර්ණ නින්දක් තුළ මෙවැනි නිදි අවධි චක්‍ර හතරක් පහක් අඩංගුවේ.

මුලින් දැක්වෙන නිදි අවධි ප්‍රස්තාරයට අනුකූලව, නින්දේ පූර්ව භාගයේදී සැහැල්ලු, සැබෑ සහ ගැඹුරු යන උප නිදි අවධිවලින් සමන්විත පළමු නිදි චක්‍රය පළමු වේගවත් අක්ෂි චලන නිදි අවධියෙන් අවසන් වීමත් සමඟම එම උප නිදි අවධිවලින්ම සමන්විත අළුත් නිදි චක්‍රයක් ආරම්භ කරයි. මේ අනුව දීර්ග ගැඹුරු නින්ද නිදි චක්‍ර වලට ඇතුළත්වන්නේ නින්දේ පූර්ව භාගයේදී පමණි. තවද පළමු සැහැල්ලු උප නිදි අවධිය සහ සැබෑ උප නිදි අවධිය එක්ව ගත්කළ එය අඩ නින්ද ලෙසින් සැලකේ. මෙය උපරිම විනාඩි තිහකට වඩා වැඩි නොවේ. මෙවැනි කාල වේලාවක් දිවා කාලයේදී කෙටි නින්දක් ලෙස ලබාගැනීමට යෝග්‍ය වන බැව් සොයාගෙන තිබේ.

නින්දේ අපර භාගයේදී, දීර්ග නින්ද අවසානයේ නින්දෙන් පිබිදෙන තෙක් සැබෑ උප නිදි අවධිය, සැහැල්ලු උප නිදි අවධිය සහ වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය චක්‍රානුකූලව මාරුවෙන් මාරුවට සිදුවේ. වඩා සුවදායී නින්දක් ලබාගැනීමට නම් මෙම වේගවත් අක්ෂි චලන අවධිය සහ එසේ නොවන අවධිය යන දෙකම හොඳින් තිබිය යුතුයි.

මීළඟ ලිපියෙන් මම ඔබට‍ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ ‘සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක්’ පිළිබඳවයි.


පරිශීලක පිටු
http://en.wikipedia.org/wiki/Sleep
http://science.howstuffworks.com/environmental/life/inside-the-mind/human-brain/sleep.htm/printable
http://health.howstuffworks.com/mental-health/sleep/basics/sleep-pictures.htm
http://www.medicinenet.com/sleep/page2.htm#what_are_the_stages_of_sleep
http://health.howstuffworks.com/mental-health/sleep/basics/10-tips-for-better-sleep.htm

Sunday, October 28, 2012

නිදන කළ නිති පමණ දැන - ලැබෙන සුවයද වේය අපමණ

නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක පළමුවැන්න

ජනප්‍රියතම නිදි ඉරියව් කිහිපයක්

නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙනත් යමක් භෞතික ලෝකයේ තවත් නොමැති තරම්ය. ඒ නිසාම නින්ද ගැනත් ඒ හා බැඳුණු අපූර්වතම අත්දැකීමක් වන සිහින ගැනත් කතාබහ කරන්නට අපි බොහෝම කැමතියි. ඉතින් මම මේ ලිපි පෙළෙන් කතා කරන්න හදන්නේ නින්ද සහ සිහින ගැනයි.

එහෙමනම් පළමුව අපි බලමු නින්දට වැටුණු කෙනෙක් හඳුනාගැනීම කරන්නේ කොහොමද කියන එක. වෙනත් විදියකින් කියනවා නම් ‘නින්ද ගියහම අපිව පෙන්නේ කොහොමද, අපේ ශරීරය බාහිර පරිසරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද’ කියන එක.

නිදියන කෙනෙක් පෙන්නුම් කරන බාහිර ලක්ෂණ කිහිපයකි මේ...
  • තිරස් ඇඳක්, පුටුවක් මත හෝ බිම වැතිර සිටීම නැතිනම් සිරස් යමකට හේත්තුවී සිටීම
  • දෑස් පියැවී තිබීම.
  • කතාකළ විට ප්‍රතිචාර නොදැක්වීම, ඝෝෂාකාරී ශබ්දයක් මිස සාමාන්‍ය ශබ්ද නොඇසීම.
  • ආස්වාශ ප්‍රශ්වාසය සෙමෙන් හා රිද්මයානුකූලව සිදුවීම.
  • පේශී මුළුමනින්ම ඉහිල්වීම සහ බලෙන් සිටවූවොත් ඇදගෙන වැටීම.
  • නින්ද අතරතුර ඒ මේ අත පෙරළෙමින්, හැරෙමින් පහසු හා සුවදායි ඉරියව්වකට සිරුර සකස්කර ගැනීම. මෙය අවම වශයෙන් පැයකට වරක්වත් සිදුවේ.
  • තමා අවට පරිසරයේ සිදූවන දේ පිළිබඳව ඇති අවිඥ්ඥානය.
  • පියැවී පවතින ඇසිපිය මතුපිට පෙන්නුම් කරන වේගවත් අක්ෂි චලන හා අත්පාවල ගැස්සෙන ස්වභාවය.
  • ශරීර උෂ්ණත්වය අඩුවීම හා දහදිය දැමීමට ඇති ඉඩකඩ

මෙම බාහිර ලක්ෂණ වලට අමතරව හදවතේ ක්‍රියාකාරීත්වයේ වේගය අවමවීමද සිදුවේ.

තවද නිද්‍රාවට පත්වූ පුද්ගලයෙකු හා සිහි විසඥවූ පුද්ගලයෙකු අතර වෙනස නම් තදින් සෙලවීමක්, ඉහළ ශබ්දයක්, දැඩි ආලෝකයක් වැනි බාහිර උත්තේජකයක් මඟින් නිඳා සිටින කෙනෙකු නින්දෙන් අවදිකළ හැකිවීමයි. ඉතා තදින් නින්දට වැටුණු අයෙකු වුව මෙවැනි උත්තේජකයකින් තිගැස්මක් සහිතව අවදිවෙයි.

නින්ද අවැසි වන්නේ ඇයි…

මීළඟට ‘අපට නින්ද අවැසි වන්නේ ඇයි’ කියන කාරණය නිදිවැරීමෙන් (නොනිදා සිටීමෙන්) හෝ ප්‍රමාණවත් නින්දක් නොමැතිකමින් මුහුණදීමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගැනීමෙන් සහ නින්ද නිසා අත්වන වාසි ගැන විමසා බැලීමෙන් පැහැදිළි කර ගනිමු.

නිදි නැතිකම

නින්ද නැතිවීමේ අවදානම

ඔබ දන්නා පරිදි එක් රැයක් නිදිවර්ජිතව සිටීම මාරාන්තික නොවනු ඇත. නමුත් දිගුකාලයක් එකදිගට නිදිවර්ජිතව සිටීම නම් මාරාන්තික නොවන්නේද නොවේ. දිනක් නිදිවර්ජිතව සිටීමේ අයහපත් ප්‍රතිඵල හොඳින් ප්‍රදර්ශනය වන්නේ පසුදාය. ඒවානම් කිසිවෙකු හෝ කිසිවක් නොරුස්නා ස්වභාවය, ඉතාමත් අලසකමින් යුතුව සාමාන්‍ය වැඩ කටයුතු වල නිරතවීම, ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, ශරීරය සම්පුර්ණයෙන්ම රැහැනකින් වෙළාදමා ඇති අන්දම අයුරින් දැනීම මින් කිහිපයකි. මෙසේ සිදුවන්නේ නොනිදා සිටීමෙන් වෙහෙසට පත්වන ඇඩ්රිනලීන් ග්‍රන්ථිවලට ඇඩ්රිනලීන් නිෂ්පාදනය සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවීම නිසා ශරීරයේ ඇඩ්රිනලීන් හිඟකමක් ඇතිවීමෙනි.

දෙදිනක් එකදිගට නිදිවැරීම මීටත් වඩා භයානක වන්නේ මානසික ඒකාග්‍රතාවය හෙවත් සිතේ සමාධිය එනම් යමකට අවධානය යොමුකර තබාගැනීමේ හැකියාවද නැතිව යෑම නිසාවෙනි.

තෙදිනක් නිදිවැරීමෙන් අනතුරුව එම තැනැත්තා ස්වභාවයේ නොමැති දේ සිතින් මවාගැනීමට පෙළඹෙන අතර සැබෑව හා සිතින් මවාගන්නාලද දේ වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට නොහැකිව විපිළිසරභාවයට පත්වීම සිදුවේ. තවද තවදුරටත් සැබෑව ග්‍රහණය කරගත නොහැකියාවෙන් සිතින් මවාගන්නාලද දේ තුළම ජීවත්වීමට උත්සාහකරන ස්වභාවයක් පෙන්නුම් කරයි.

සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් දිනපතා නිදා ගැනීමට පුරුදුවුණු අයෙකුට වුවද කල්යාමේදී මෙම භයානක ප්‍රතිඵලම අත්විඳීමට සිදුවීමට ඉඩකඩ තිබේ. මේ අනුව නින්ද නැතිවීම අනතුරුදායක වන්නේ ඇයිදැයි කියන කාරණය මනාව පැහැදිලි වේ.

නින්ද නිසා අත්වන වාසි

නින්ද ශරීරයට ආකාර කිහිපයකින් ප්‍රයෝජනවත් වේ. එනම් නින්ද අතරතුර ශරීරය තුළ සිදුවන ඉතාමත් සුවිශේෂී සංසිද්ධීන් දෙකකි. වැඩෙන දරුවන්ගේ ශරීර වර්ධනය උදෙසා බලපාන 'වර්ධක හෝමෝන' වෑහෙන්නේ නින්ද අතරතුරදී වන අතර මිනිස් හා සත්ත්ව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පැවැත්මට වැදගත්වන රසායනික ද්‍රව්‍ය වෑහෙන්නේද නින්ද අතරතුරදීයි. මේ නිසා ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් දරුවන්ගේ වර්ධනය අඩාල වියහැකි අතර පුද්ගලයෙක් පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමද වැඩියි. තවද...

  • නින්ද ශරීරයේ මාංශපේශී හා පටක අළුත්වැඩියාවටත් වයස්ගත හා මැරුණු සෛල වෙනුවට අළුත් සෛල ඇතිවීමටත් අවස්ථාව සලසයි.
  • මොළයට මතකය නිරවුල් කරගැනීමටත් නිසිලෙස මතකය ස්ථාපනය කර ස්ථානගත කරගැනීමටත් අවස්ථාව සලසා දෙයි. අප විසින් සිහින දකින්නේ මෙම ක්‍රියාවලියේ එක් ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
  • සිරුර විවේකීව තැබීමෙන් නින්ද ශරීරයේ ශක්ති පරිභෝජනය අවම කරමින් අපේ දෛනික ආහාර අවශ්‍යතාවය වේල් තුනකට සීමා කරයි.
  • ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම නිසා සිරුරේ දාහයද නිවී ගතට සිසිලක් ලැබේ.

මීළඟට වැදගත්ම කාරණය නිදිමත ඇතිවන්නේ කෙසේද කියන එකයි. මොළයේ සෛල සැමවිටම ශරීරයේ විවිධ කායික මානසික ක්‍රියාකාරීත්වයන් සඳහා එකදිගට වෙහෙසීම සිදුවේ. මෙයින් විඩාවට පත් මොළයේ සෛල විවේකීව හිඳීමට ඇති අවශ්‍යතාවය දන්වමින් මොළයේ ඇඩිනොසීන් මට්ටම වැඩි කිරීම මඟින් නිදිමත ඇතිකරයි. මෙය ශරීරයේ ස්වාරක්ෂාකාරී ගුණය නිසාවෙන් සිදුවන්නකි. එමෙන්ම නිද්‍රාවට පත් කාලය තුළ මොළය නැවත ප්‍රකෘති භාවයට පත්වීම සිදුවේ.

මීළඟට වයසත් සමඟ මිනිසෙකු කොපමණ නින්දක් ලැබියයුතුද යනවග විමසා බලමු.

ඔබේ නින්ද ඔබට‍ ප්‍රමාණවත්ද ?

ඔබේ දෛනික නින්ද ඔබට‍ ප්‍රමාණවත් නොවන බවට වන හෙළිදරවවීම් කිහිපයකි. ඒවානම්… මානසික ආතතිය පාලනය කරගැනීමේ නොහැකියාව, මතක ශක්තිය දුර්වල වීම, ආහාර රුචිය වැඩිවීම, මානසික ඒකාග්‍රතාවය නැතිවීම, සමීපතමයන් සමඟ ගැටුම් ඇතිකරගැනීම යනාදිය. මේවායින් ඉඟිකෙරෙන්නේ නිතිපතා ප්‍රමාණවත් නින්දක් ලැබීමේ අනිවාර්ය අවශ්‍යතාවයයි. එසේනම් ප්‍රමාණවත් නින්දක් යනු කොපමණ කාලයක්ද යන්න විමසා බලනු වටී.

සාමාන්‍ය වැඩිහිටියෙකුට දිනකට අවමවශයෙන් පැය අටක (පැය හතේ සිට නවය දක්වා) දිගු රාත්‍රී නින්දක් එකදිගට ලැබීම අත්‍යාවශ්‍යවේ. පැය අටක් අනිවාර්යය නොවුනද තමන්ට සෑහිමට පත්විය හැකි ප්‍රමාණයේ නින්දක් ලැබීම අත්‍යවශ්‍යයි.

දෛනික නින්ද වයසත් සමඟ ප්‍රමාණාත්මකව අඩුවේ. එනම් අළුත උපන් ළදරුවකු දිනකට පැය විස්සක් පමණ නින්දේ පසුවෙන අතර වයස අවුරුදු හතර පමණ වනවිට දිනකට පැය දොළහක පමණ නින්දක් ප්‍රමාණවත් වේ. වයස අවුරුදු දහය පමණ වනවිට පැය දහයක පමණ නින්දක් හොඳටම ප්‍රමාණවත් බැව් පෙනේ. නමුත් වැඩිහිටියෙකුට නම් පැය අටක නින්දක් අවැසි නමුත් මහළු වයසේ පසුවෙන අයෙකුට බොහෝවිට ලැබියහැකි වන්නේ පැය හය හතක පමණ නින්දකි.

මේ සියළුම කරුණු පිළිබඳව සැළකිලිමත්ව බලන විට නම් පෙනීයන්නේ ප්‍රමාණවත් සුවදායී රාත්‍රී නින්දක් කායික මානසික ප්‍රබෝධය ගෙනදෙන, නැවුම් දවසකට දොරගුළු විවරකර දෙන ස්වාභාවික ඔසුවක් වැනි වන බවයි.

ගතසිත             සනසන
ඔසුවකි            සුවදෙන
වෙහෙසද           දුරලන
නින්දට            මුල්තැන

මීළඟ ලිපියෙන් මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ‘නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි’ ගැනයි.


පරිශීලක පිටු
http://en.wikipedia.org/wiki/Sleep
http://science.howstuffworks.com/environmental/life/inside-the-mind/human-brain/sleep.htm/printable
http://health.howstuffworks.com/mental-health/sleep/basics/sleep-pictures.htm
http://www.medicinenet.com/sleep/page2.htm#what_are_the_stages_of_sleep
http://health.howstuffworks.com/mental-health/sleep/basics/10-tips-for-better-sleep.htm

Saturday, October 27, 2012

දයාබර දියණියෙනි

දයාබර දියණියෙනිපසුගිය 2012 – 10 – 11 වන දිනට යෙදුනු ජාත්‍යන්තර මානවිකා දිනය වෙනුවෙනි.