Sunday, February 5, 2012

තණ්හාවෙන් විනාශයට

ලෝකයේ සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමෙරිකාව මුල්‍ය අර්බුධයකට ලක් කළ මෑත කාලීන සිදුවීමක් ගැන මනාව පැහැදිලි කරන අපූරු වීඩියෝ දසුනක් තමයි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ.

2008 වසරේ මුල් භාගයේ ලොවට හෙළි වුණු මෙම මුල්‍ය අර්බුධයට මූලික වශයෙන්ම වගකිවයුතු පාර්ශවය සමන්විත වුයේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ආයෝජන බැංකු කිහිපයකින් වුවත් මෙහි අහිතකර බලපෑමෙන් පසුබෑමට ලක්වූයේ මුළු මහත් ලෝකයේම ආර්ථිකය වීම කණගාටුවට කාරණයකි.

තණ්හාව සැමවිටම විනාසයට මඟ පාදයි. මේ එයට හොඳම නිදසුනකි.

Wednesday, February 1, 2012

අපේ දෙයක් නොවුනත්…

ස්විට්සර්ලන්තයේ ලුගානෝ නගරයේ බාටා  ප්‍රදර්ශනාගාරය සහ අළෙවි සැල

 බාටා පාවහන් වෙළඳ දැන්වීමක ‘අපේ දෙයක්’ කියල කවදාවත් කොහේවත් සඳහන් නොවුනත් අපි බාටා සපත්තු, සෙරෙප්පු මිළදී ගන්නේ නම් අපේම දෙයක් කියලා හිතාගෙනයි. ඒ තරමටම බාටා පාවහන් අපිට හුරු පුරුදුයි.

කොහොමද මෙහෙම වෙලා තියෙන්නේ? වෙළඳ නාමයක් ලෙසින් පමණක් නොව ශාඛා ජාලයක් ලෙසින්ද ලොව පුරා ව්‍යාප්ත වීමේදී ඒ ඒ රටට අවේණික අයුරින් හැඩගැසීමට දක්වන ලද නම්‍යශීලී ස්වභාවය බාටා පාවහන් ලොව පුරා වැසියන්ගේ ජනජීවිතයට ඉතා පහසුවෙන් පිවිසීමට හේතු වන්නට ඇති. ඒ වගේම රටක පාවහන් අවශ්‍යතාවයේ ස්වභාවය හඳුනාගෙන ඒ අනුව පාවහන් සැළසුම් නිර්මාණය කිරීමටත්, ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් පාවහන් නිපදවීමටත්, රටේ සාමාන්‍ය මිළ ගණන් යටතේ අළෙවි කිරීමටත් පෙළඹීම මගින් ඔවුනට තම පැවැත්ම හා ජනප්‍රියත්වය රැකගැනීමට හැකියාව ලැබෙන්නට ඇති.

පහත දැක්වෙන ලෝක සිතියමේ රතු පැහැයෙන් පෙන්නුම් කරනුයේ බාටා පාවහන් ලොව පුරා ව්‍යාප්තව පවතින ප්‍රදේශ වේ.

බාටා පාවහන් ලොව පුරා ව්‍යාප්තව පවතින ආකාරය

ඇත්තටම බාටා වෙළද ආයතනය කොයි රටේ එකක්ද? බාටා ආයතනය බිහිවුණේ පාරම්පරික සම්කාර්මිකයන් වූ තෝමස්,ආනා සහ ඇන්ටෝනින් බාටා නමැති සොයුරු සොයුරියන් තිදෙන අතින්, 1894 වසරේ චෙකොස්ලෝවැකියාවේ ස්ලින් කියන නගරයේදීයි.1993 දී චෙකොස්ලෝවැකියාව සාමකාමී අයුරින් චෙක් රිපබ්ලික් හා ස්ලෝවැකියාව ලෙස බෙදී වෙන්වූ අතර ස්ලින් නගරය පිහිටා ඇත්තේ වර්තමාන චෙක් රිපබ්ලික් දේශය තුලයි. ආයතනය ඇරඹී ඉතාමත් කෙටි කාලයකින් ආනා සහ ඇන්ටෝනින් බාටා ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වී ගිය බැවින්, 1932 ගුවන් අනතුරක් හේතුවෙන් මිය යන තෙක්ම ව්‍යාපාරය පවත්වා ගෙන යන ලද්දේ තෝමස් බාටා විසිනි. සමාජ විඤ්ඤාණය ඇති පුද්ගලයෙකු ලෙස තෝමස් බාටා තම සේවක සේවිකාවන්ට ඉතා කාරුණිකව සැළකූ අතර ඔවුන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා කර්මාන්තශාලා අවට නිවාස,සෞඛ්‍යය,අධ්‍යාපන පහසුකම් මෙන්ම සෞන්දර්ය නිකේතන වලින්ද සමන්විත ගම්මාන ඉදිකළ බව නොරහසක්. ‘එකමුතුව වැඩ කරමු, තනිව ජිවත් වෙමු’ යන ප්‍රසිද්ධ කියමන ඔහු විසින් කියන ලද්දක්. ඔහුගේ මරණයෙන් පසු ඇන්ටෝනින් බාටා ‘බාටා’ පාවහන් ලොව පුරා ව්‍යාප්ත කිරීමට මහත් වෙහෙසක් ගත් නමුත් දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ‘බාටා’ ව්‍යාපාරය නැවත ගොඩගනු ලැබෙන්නේ තෝමස් පුත් තෝමස් ජේ. බාටා අතිණුයි.

චෙක් රිපබ්ලික් දේශයේ ස්ලින් නුවර නව බාටා  ප්‍රදර්ශනාගාරය1939 දී තම පවුල සමඟ කැනඩාවට සංක්‍රමණය වන තෝමස් ජේ. බාටා 1940 දී ඔරින්ටෝ නගරයේ තවමත් ඔහු නමින් පවතින බාටාවා (මෙය තෝමස් බාටා විසින් හඳුන්වා දෙන ලද ‘බාටා ගම්මාන’ සංකල්පයට අනුව පිහිටුවන ලද ගම්මානයකි) හීදී තම නව කර්මන්තශාලාවත්,ඉංජිනේරු වැඩබිමත්, ප්‍රදර්ශනාගාරයත් අරඹණු ලබනවා. එමෙන්ම දෙවන ලෝක යුද සමයේ අඩපණ වී ගිය යුරෝපිය සහ ආසියාතික ව්‍යාපාර කටයුතුද නව මුහුණුවරක් යටතේ නැවත ගොඩනැගීම සිදුවෙනවා. මේ හේතුවෙන් කිසිදා නොවූ විරූ අද්විතීය සාර්ථකත්වයක් අත්පත් කර ගන්නා බාටා ආයතනය වසරකට මිලියන තුන්සීයක පමණ පාවහන් යුගල අළෙවියෙකින් සහ අසූ දහසක සේවා නියුක්තියකින් යුතුව පාවහන් ලෝකයේ ප්‍රමුඛයන් බවට පත්වෙනවා.

ටොරොන්ටෝහි බාටා පාවහන් කෞතුකාගාරය මේ අතර මේ හැම කටයුත්තකදීම සහයට සිටින ඔහුගේ බිරිඳ සොන්ජා අයි. බාටා 1979 දී ‘බාටා පාවහන් කෞතුකාගාර පදනම ආරම්භ කරනු ලබන්නේ ජාත්‍යන්තර පාවහන් අධ්‍යන මධ්‍යස්ථානයක් ඇති කිරීමේ සහ 1940 වසරේ සිට තම ස්වාමියා සමඟ කෙරුණු ලොව වටා සංචාර වලදී එකතු කර ගන්නා ලද විවිධ වර්ගයේ සාම්ප්‍රදායික පාවහන් වලට ඉඩකඩ ඇති වාසස්ථානයක් ලබා දීමේ අරමුණෙන්. මේ මෙසේ ආරම්භ කරන ලද බාටා පාවහන් කෞතුකාගාරය 1995 සිට මේ දක්වා ටොරොන්ටෝහි ඉතාමත් ආකර්ෂණීය ගොඩනැගිල්ලක දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන නැවතුමක් ලෙස ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනවා.

1964 දී කැනඩාවේම ටොරොන්ටෝ නගරයට ගෙන යන ප්‍රධාන කාර්යාලය 1965 දී ඔන්ටාරියෝහි නොර්ත් යෝර්ක් වල පිහිටි අති නවීන ගොඩනැගිල්ලකට ගෙන යනු ලැබෙනවා. නමුත් දැනට මෙහි සියළු විධායක කටයුතු පවත්වාගෙන යනු ලැබන්නේ ස්විස්ටර්ලන්තයේ ලොසන්නේ නගරයේ පිහිටි බාටා ප්‍රධාන කාර්යාලය මගිනුයි. ඒ 2002 වසරේ සිට මෙහි පාලන කටයුතු තෝමස් බාටා මුණුපුරු තෝමස් ජී. බාටා අතට පත්වීමත් සමඟයි. වසර 118 ක් තිස්සේ පරම්පරා තුනක් යටතේ පාලනය වුණු බාටා ආයතනය තම වෙළඳ උපායන්ගේ අසහාය ශක්තිය පෙන්නුම් කරමින් පාවහන් ලෝකයේ කිරුළු දරමින් එදා මෙදා තුර ලෝ වැසියන්ට කරන සේවය නම් අති මහත්. 

එක්තරා යුගයක ‘සෙරෙප්පු කුට්ටම’ යන්නට ‘බාටා දෙක’ යනුවෙන් භාවිත කරන්නට තරම් බාටා පාවහන් අපේ ජන ජිවිතයට සමීපවෙලා තිබුණු නිසායි මේ ටික ලියන්න හිතුවේ.

බාටා පාවහන් ගැන වැඩි විස්තර ඕනේ නම් මෙතැනින් බලාගන්න.