Wednesday, September 30, 2015

අහඹු වචන සිද්ධාන්තය

වචන

විසඳුමක් හිතාගන්නම බැරි ගැටළුවක හිරවෙලා ඉන්න වෙලාවක, විසඳුමක් ඕනිමයි කියලා දැනෙද්දී කරන්න තියෙන හොඳම දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. මේක ටිකක් අමුතු සිද්ධාන්තයක්. හැබැයි ගොඩාක් සරලයි. ඒ වගේම ලස්සනයි.

1. න්‍යාය

 

අහඹු වචන සිද්ධාන්තය

 

2.ගැටළුව

පළමුව ඔබේ ගැටළුව කොළයක සටහන් කර ගන්න
මගේ ගැටළුව

ආච්චි අම්මාට බෙහෙත් බොන්නට හෝ බිව්වාද නැද්ද කියා නිතරම අමතක වීම...

 

3.වචනය

දෙවනුව එක්වරම ඔබේ සිතට නැගුණු වචනයක් ඊට යටින් එම කොළයේම සටහන් කර
ගන්න
කොහොමද අපි වචනයක් තෝරාගන්නේ... ඒ සඳහා උපක‍්‍රම කිහිපයකි.
1. වටපිට බැලීමෙන් දකින වචනයක් ඇස ගැටෙන වස්තුවක් හෝ සංසිද්ධියක්
2. අහඹු ලෙස පෙරළාගත් පොතක පිටුවක් මත අහඹු ලෙස ඇඟිල්ල තබා ඒ ආසන්නයේම දක්නට ලැබෙන වචනයක්
3. ඔබ ළඟ සිටින කෙනෙකුගෙන් අසාගත් හෝ ඇසුණු වචනයක්
4. ඔබ විසින් සකස්කර ගන්නා ලද ඔබේ මතකය අවුස්සන හෝ ඔබ සිතේ හැඟීමක් ජනිත කරවන වචන ලැයිස්තුවකින් අහඹු ලෙස තෝරා ගත් වචනයක්
5. ... 

මගේ වචනය 'උදැල්ල'...
මං ඒක තෝරාගත්තේ ඒ වෙලාවේ උදැල්ලක් පොළොවේ වදින හඬ ඇහුණු නිසා.

 

4.සබැඳුම්

තෙවනුව කොළය අනෙක්පස පෙරළා ගැටළුවෙන් මුළුමනින්ම හිත නිදහස් කරගෙන එම වචනය ඔස්සේ පමණක් ඔබේ මතකය මෙහෙයවමින් මතකයට නැගෙන සියළුම දෑ කොළයේ සටහන් කර ගන්න.

මගේ වචනය ‘උදැල්ල’ නිසා

  1. පොළොව (උදැල්ලෙන් කරන ප්‍රධානතම කාර්ය්‍යය පොළව ආශ්‍රීත වැඩ ඒ කියන්නෙ උදැල්ල ගැටෙන්නේ පොළොවත් එක්ක)
  2. යකඩ (උදළු තනා තිබෙන්නේ බොහෝවිට යකඩ වලින්)
  3. අනතුරු (උදැල්ලෙන් වැඩකරද්දී මෙන්ම වැඩක් නොගෙන ඉඳිද්දීත් අනතුරු වෙන්න පුළුවන්)
  4. ආරක්ෂාව (ආරක්ෂාකාරී ලෙස ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි)
  5. කොපුවක් (තලයට ආවරණයක් ලෙස පාවිච්චි නොකරන විට උදැල්ලේ තලයට කොපුවක් පැළදවීමට හැකිනම් අනතුරු අවම කරගන්න පුළුවන්)
  6. ගබඩා කාමරය (උදැල්ල තැබීමට බිමක සුවිශේෂ ස්ථානයක් තිබිය යුතුයි ආරක්ෂාවට හා සොයා ගැනීමේ පහසුවට පහසුවෙන් ගතහැකි හොඳින් මතක තිබෙන ස්ථානයක්)
  7. මළකඩ (උදැල්ලක් මිළදී ගන්නා විට මළ නොබැඳෙන වානේ වර්ගයකින් හදපු ඉක්මණින් නොගෙවෙන එකක් මිලදීගත යුතුයි)


දැන් එම ආශ්‍රිත ඔබේ ගැටළුව හා සම්බන්ධ කරමින් හැකිතාක් එක් එක්
සබැඳුම් වලට අදාළ නව අදහස් මෙසේ පෙළගස්වා ගන්න

  • 1. පොළොව
    මෙයින් බෙහෙත් බහාලනය තැබිය යුතු ස්ථානය තීරණය කළහැකියි. බිමක තිබ්බොත් ඇස ගැටෙන ප්‍රවණතාවය වැඩියි. කැපී පෙනෙනවා ඒ වගේම අතුපතු ගාන හැම වෙලාවකම අවධානයට යොමු වෙනවා. 
  • 5. කොපුව
    උදලු තලේට සුවිශේෂී කොපුවක් තිබිය යුතුවා සේම බෙහෙත් බහාලුමද සුවිශේෂී ආකර්ශනීය අයුරින් නිර්මාණය කළ යුතු බව. දැකපු ගමන් හිත ඇදිලා යන නෙත් ඇදගන්නා යන සුවිශේෂී ආවරණයක් බෙහෙත් බහාලුම ලෙස යොදාගැනීම කළ හැකියි.
  • 6. ගබඩා කාමරය (ඉසව්ව)
    උදැල්ල ආරක්ෂාකාරී අයුරින් හොඳින් මතක්වෙන, පහසුවෙන් ගැනීමට හා තැබීමට හැකි ස්ථිර හා සුවිශේෂී තැනක තැබිය යුතුවා සේම බෙහෙත් බහාලුමත් තැන්තැන්වල ගෙනිහින් දාන්නට බැරි අයුරින් සුරක්ෂිතව එයට හොඳම තැනෙක හොඳින් ඇස ගැටෙන අයුරින් ස්ථානගත කිරීම.

5.ප්‍රතිඵලය

මෙයින් මගේ අවසන් නිගමනය වූයේ ආච්චී නිතර හිඳගන්නා මිටි ආසනය ආසන්නයෙන්ම ආච්චි අම්මා ආසම කරන පාට, හැඩතල සහිත විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද බිම තැබූ පුංචි ලී පෙට්ටියක් තුළ බෙහෙත් ගබඩාකර තැබීම කළ යුතු බවයි. මීට අමතරව බෙහෙත් ගත් බව සළකුණු කළ හැකි ආකාරයේ අලංකාර දර්ශකයක් පැන්සලක්ද සමඟින් බෙහෙත් බහාලුමේ රඳවා තැබීමත් කළ හැකියි. මේ නිසා අප නිවසේ නොසිටියද ඇය නිවස තුළ නිතරම ගැවසෙන ස්ථානයේ තිබෙන මේ අලංකාර බෙහෙත් බහාලුම දකින ඇයට බෙහෙත් ගන්නට මතක වෙනවා සේම බෙහෙත් ගත් බවට සලකුණු කළ හැකි දර්ශකයක් එයටම සවිකර තිබෙන නිසා එවෙලේම එහි සටහන් කිරීමත් පහසුයි. මේ නිසා එකම බෙහෙත් නැවත ගැනීමත් මගහැරෙනවා. අනෙක නිවසට ආපසු පැමිණි විට අපට සොයා බලන්නත් පහසුයි. තවද මෙම දර්ශකය වෙනුවට කොපුව කියන සබැඳුම ඔස්සේම තවත් යමක් කළ හැකියි. ඒ බෙහෙත් වේල් වෙන වෙනම දැමිය හැකි වෙන්කරන ලද කුඩා ලාච්චු සහිත බඳුනක බෙහෙත් දමා තැබීමයි.

සාම්ප්‍රදායික චින්තන රටාවෙන් බැහැරව එකිනෙකට වෙනස් විවිධවූ දිශාවන් ඔස්සේ ගැටළුවක් දෙස බැලීම මඟින් එයට විසඳුම් සොයා යන නිර්මාණාත්මක ක්‍රමවේදයක් තමයි අහඹු වචන සිද්ධාන්තය කියන්නෙ. එකිනෙකට කිසිදු සම්බධතාවයක් නොමැති අදහස් දෙකක් එකිනෙක හා ගැටීම තුළිනුයි මෙහි ප්‍රතිඵල ඇතිවෙන්නෙ

මා කෙතරම් පුනපුනා කීවත් ඔබම ඔබේ ගැටළුවකට පිළියම් සෙවීමට මෙම ක්‍රමය යොදා ගන්නා තුරුම මෙහි ඇති ප්‍රබල තාක්ෂණය හෝ ඉහළ ඵලදායීතාවය ඔබට වටහාගන්නට පුළුවන්කමක් නැතිවාට සැකයක් කිසිදු නැහැ. මක්නිසාදයත් මමත් මුලින්ම එම අවස්ථාව මුහුණදුන් නිසා. නමුත් එක්වරක් උත්සාහ කර බලන්න. මෙය හරිම විනෝදකාමී දෙයක් වෙයි ඔබට…

Thursday, August 27, 2015

අතපසුවට මොහොතයි - පසුතැවුමට දිවියයි

කෙවින් කාටර්ගේ පුලිස්ටර් සම්මාන ලාභී ඡායාරූපය - 1994 

මෙම ඡායාරූපයෙන් කියැවෙන, පෙනෙන හා නොපෙනෙන කතා දැනටමත් ඔබ දන්නවා ඇත. සුඩාන සාගතය විසින් ඉතා දරුණු ලෙස හාමතින් පෙළන ලද හිස තබා අතක් පයක් එසැවීමට තරම්වත් වාරු නොමැති මේ කුඩා දරුවා ගිනි අව්වේ පිච්චෙමින් හෙමිහෙමින් බිම දිගේ ඇදි ඇදී යන්නේ කිලෝමීටරයක දුරින් පිහිටි යාබද එක්සත් ජාතීන්ගේ ආහාර බෙදා දීමේ මධ්‍යස්‌ථානය කරා ළඟා වීමටයි. මෙවන් දර්ශනයක අවසන් ප්‍රතිඵලය හොඳින් අත්දුටු, සත්ත්ව මළකුණු ආහරයට ගැනීම මත යැපෙන ගිජුලිහිණියෙකු රහසින් කුඩා දරුවා පසු පසින් ඇවිදිමින් යන්නේ කිනම් හෝ මොහොතක මස් නැතද මස්කොට ගිලදමන්නට මසින් තොර මේ සිඟිති සිරුරේ අන්තිම පණ බිඳුව ගිළිහෙන තුරුයි. එය මෙහි පෙනෙන කතාවයි. නොපෙනෙන කතාව…

එවක සුඩානයේ සංචාරයේ නිරතව සිටි දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පී කෙවින් කාටර් මෙම දර්ශනය පියවි ඇසින් දැක ඡායාරූපයට නැගූ පුද්ගලයායි. ඒ 1993 මාර්තු මාසයයි.

එම මාසයේම 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පතට විකිණුනු මෙම ඡායාරූපය, වෙනත් බොහෝ පුවත්පත් හරහා ලොවම කම්පා කරමින් ලොව පුරා සීග්‍රයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට පටන් ගැන්මත් සමඟම ඡායාරූප ශිල්පී කෙවින් කාටර් ඇතුළුව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත නිරුත්තර කළ පැනය වූයේ මේ කුඩා දරුවාගේ අවසන් ඉරණම කුමක් වීද යන්නයි. කුඩා දරුවාට ඉන් අනතුරුව සිදුවූ දෙය ඡායාරූපය ගත් සැණින් දරුවා එහෙමම එතැනම දමා ගිය ඡායාරූප ශිල්පී කෙවින් කාටර් ඇතුළුව කිසිවෙකුත් දැන සිටියේ නැත. 

ඔහු එසේ වහාම එතැනින් ඉවත්ව ගියේ සාගතයේ දරුණුබව කියැවෙන එවැනි දර්ශන ඡායාරූපයට නැගීම ඔහුගේ රාජකාරිය වුවද රෝග සම්ප්‍රේෂණය සිදුවිය හැකි නිසා දුර්භීක්‍ෂයෙන් පීඩා විඳි දරුවන් කිසිවිටෙකත් ස්පර්ශ නොකිරීමට ඔහුට උපදෙස් ලැබී තිබීම හේතුවෙනි.

වසරක ඇවෑමෙන් ඡායාරූප ශිල්පී කෙවින් කාටර් මෙම ඡායාරූපය වෙනුවෙන් ලෝ පතළ පුලිස්ටර් සම්මානයෙන් පුද ලද නමුත් ඊට මාස තුනකට පසුව එනම් 1994 ජුලි මස 27 වනදා ඔහුට තම ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ සියදිවිනසා ගැනීම නිසාවෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 33 කි.

මිය යන්නට ප්‍රථම ඔහු විසින් ලියන ලද අවසන් ලිපියේ කොටසකි මේ.

  1. "I'm really, really sorry. The pain of life overrides the joy to the point that joy does not exist... depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners ... I have gone to join Ken(ඊට මාස කිහිපයකට ප්‍රථම ඡායාරූප වාර්තාකරණයේ යෙදී සිටියේදී ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ 31 හැවිරිදි සමගාමියා) if I am that lucky."

ආර්ථික දුෂ්කරතා හමුවේ මොහොතකට හෝ තම හෘද්‍යසාක්ෂිය වලලා ගනිමින් මෙවැනි ඡායාරූප ගැනීමට පෙළඹුණු කෙවින් කාටර්ට සිතෙන්නට ඇත්තේ එවන් මොහොතක් මොහොතක්ම පමණක් වනබව පමණි. ඒත් ඒ මොහොත ඇතැම්විට එම දරුවාගේ ජීවිතයම විය හැකි බවවත් කිසිවිටෙකත් නොසිතෙන්නට ඇත. නමුත් ඔහුගේ හෘද්‍යසාක්ෂිය අවදි වූ පසු ඔහු ඒ මොහොත වෙනුවෙන් තම ජීවිතයෙන්මද වන්දි ගෙවා දැන් අවසන්ය.

මා මේ ලිපිය ලියුවේ කිසිවෙකුටත් අවමන් කිරීමට අල්පමාත්‍රීයකුදු හැඟීමකින් නොවේ. සැමවිටම මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද ප්‍රමුඛත්වය දියයුත්තේ තම හෘද්‍යසාක්ෂියට බව පසක්කොට දීමටයි. ඔබ එක් කුඩා මොහොතක් තුළදී 'ගන්නා' හෝ 'නොගන්නා' තීරණයක්, නොමැතිනම් ඔබ අතින් සිදුවන පුංචි අතපසුවීමක් වෙනුවෙන් ඉතිරි ජීවිත කාලය පුරාම පසුතැවිතැවී ඉන්නට සිදුවිය හැකියි.

අනෙක් කාරණය කිසිවිටෙකත් ආහාර නාස්ති කරන්නටවත් තව කෙනෙකුට කෑම ටිකක් දෙන්නට මැලිවෙන්නටවත් එපා. බඩගින්න තරම් උහුලන්න බැරි ගින්නක් තවත් අපට නොදැනෙන තරම්. අපේ ජීවිත වල අවශ්‍යතා ගොඩායි. ඒ අවශ්‍යතා ඉටුකරගන්නට ජීවිතයත් මදි. ඒ අපේ අන්තිම හුස්ම පොද ආහාර එක්ක කිසිදු සම්බන්ධයක් තිබෙන බවක් අපට කවමදාවත් දැනිලා නැති නිසා. එහෙත් මේ මොහොත වනවිටත් ජීවිතයේ එකම අවශ්‍යතාවය ආහාර වෙලා තියෙන අනන්තවත් ජීවින් මේ මිහිපිට දැඩි කුසගින්නෙන් වේදනාවෙන් පෙළෙමින් යන්තමින් හෝ කුසට අහර බිඳක් ලැබෙන තුරු, නික්මෙන්නට තතනණ අන්තිම හුස්ම පොද අමාරුවෙන් හරි රැකගන්නට හදනවා.


පරිශීලක පිටු

Wednesday, August 5, 2015

හෙළිවේය අපරාධ සැඟවුණු - නිසා නොමැකුණු ඇඟිලි සළකුණු

ඇඟිලි සළකුණු

ඇඟිලි සළකුණු

මිනිස් සමෙහි චර්මීය පිටිකා හෙවත් ඇතුල් සම පිට සම තුළට පුඩු ආකාරයෙන් නෙරුම් පවතී. අත්ලෙහි සහ පතුලෙහි සම මත මේවා වැටි (ridges) වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම අත්ලෙන් සහ පතුලෙන් දහදිය නික්මෙන්නේ එම වැටිවල තිබෙන ස්වේද ග්‍රන්ති විවර තුළිනි. අත්ල ස්පර්ශ වන සුමට පෘෂ්ඨ මත ඇඟිලි සළකුණු ලෙස ඉතිරි වන්නේ එසේ නික්මෙන දහදියයි. මේවා අප්‍රකටව හෝ ප්‍රකටව පවතී. තවද පුරුද්දක් ලෙස මිනිසුන් නිතරම මුහුණ සහ හිසකෙස් ස්පර්ශ කරන නිසා මුහුණෙහි, විශේෂයෙන්ම නළලතින් වෑහෙන මේද අම්ල, එම වැටි මත තැවරීමෙන් වඩා තිව්‍ර ලෙසින් පතිතවන ඇඟිලි සළකුණුද වේ. මීට අමතරව කාබන්, තීන්ත, දැලි, තෙල්, ග්‍රීස් හෝ රුධිරය ඇඟිලි සම මත තැවරීම නිසා අත තබන ස්ථානවල එම ද්‍රව්‍ය ඇඟිලි සළකුණු ලෙස තැන්පත් වීමද සිදුවිය හැක. දරුවන්ගේ ඇඟිලි සළකුණු ඉක්මණින් වියැකී යෑම සිදුවේ. මෙයට හේතුව ඔවුන්ගේ සමෙන් මේද අම්ල වහනය නොවීමයි.

ඇඟිලි සළකුණු වැටි රටා 

අත්ලෙහි හා පතුලෙහි හටගන්නා වැටි තරමක්දුරට ආරයෙන් එන ලක්ෂණවලට අනුකූලව තීරණයවන රටාවකට අනුව පිහිටයි. නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍යව පවතී. සර්වසම නිවුන්නුන් දෙපළකගේ වුව ඇඟිලි සළකුණු එකිනෙකට වෙනස්වේ. මෙම රටා උපතට පෙර හටගෙන ප්‍රමාණයෙන් මිස ස්වභාවයෙන් ප්‍රමාණාත්මක වෙනසක් සිදු නොවී ජීවිතකාලය පුරාම පවතියි. මේ හේතුන්‍ නිසා ඇඟිලි සළකුණු පුද්ගලයෙකුගේ අනන්‍යතාව ඔප්පු කිරීමට යොදා ගනියි.

ඇඟිලි සළකුණු වැටිවල මූලික රටා තුනක් හඳුනාගත හැක.

 

1.

කව

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී නැතිනම් මධ්‍යය දෙසට නැවී වක්‍රාකාරව අනෙක් පසින් පිටවයන වැටි)

මෙහි තවත් ප්‍රභේදයකි කුඩාරම් කව

 

කුඩාරම් කව

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී නැතිනම් මධ්‍යය දෙසට මුදුන් වී හෝ ඉලිප්පී වක්‍රාකාරව අනෙක් පසින් පිටවයන වැටි)

කවකුඩාරම් කව
2. පුඩු

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී පුඩුවක් සාදමින් සම්පුර්ණයෙන්ම ආපිට හැරී ඇතුල්වූ පසින්ම පිටවයන වැටි)
පුඩු
3. කැරළි

(ඇඟිල්ලේ මධ්‍ය ලක්ෂ්‍යය වටා සුළි මෙන් වටකුරු හැඩයට කැරළි ගැසෙන වැටි )
කැරළි

වැටිවල හඳුනාගත හැකි ඉතා සියුම් ලක්ෂණ 

වැටිවල හඳුනාගත හැකි සියුම් ලක්ෂණ

  • වැටි අගිසි (වැටියක් අවසන් වන ස්ථානය)
  • වැටි මුදුන් (වැටියක් තුඩුවක් ආකාරයෙන් තිබෙන ස්ථානය)
  • වැටි උල් (වැටියක් උලක්‌ මුදුණත මෙන් හැරවුම් ස්ථානය)
  • වැටි බෙදුම් {(දෙබල - තනි වැටියක් වැටි දෙකකට බෙදෙන ස්ථානය) (තෙබල - වැටි දෙකක් එකිනෙක හරහා යන ස්ථානය)}
  • වැටි කඩ හෝ තිත් (සාමාන්‍ය වැටියකට වඩා සැළකියයුතු මට්ට්මක් දිගින් අඩු වැටි)
  • වැටි දූව (දුපතක් ලෙසින් අනෙකුත් වැටිවලින් වටවුණු වැටි)
  • වැටි විල් (වැටි දෙකක දෙබල කරු එකතුවීමෙන් සෑදෙන හිඩැස්)
  • වැටි වල (වෘත්තාකාරව වැසුණු වැටි)
  • වැටි නෙරුම් (වැටියකින් පිටතට නෙරුණු කොටසක්)
  • පාලම් (වැටි දෙකක් යාකරමින් සෑදුන කුඩා වැටියක්)
  • ඇඟිලි සළකුණුවල භාවිතය 

    ඇඟිලි සළකුණු පුද්ගලයෙකුට අනන්‍ය සාධකයක් වන හෙයින් අනන්‍යතාවය තහවුරු කිරීමටත් අපරාධකරුවන් හඳුනාගැනීමටත් මූලිකවම යොදාගනී.
    අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ඇඟිලි සළකුණු යොදාගැනීමේ ක්‍රියාවලිය 
    සිදුවූ අපරාධයකට අදාළ සැකකරුවන් අතුරින් සැබෑ අපරාධකරුවන් නිවැරදිව හඳුනා ගැනීමේදී එම අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබාගන්නා ඇඟිලි සළකුණු අනිවාර්ය සාධකයක් ලෙස යොදාගැනේ. කෙසේදයත්…
    පළමුව අපරාධයක් සිදුවූ ස්ථානයේ සුමට පෘෂ්ඨ මත තිබෙන පැහැදිලිව පෙනෙන ඇඟිලි සළකුණු ඡායාරූපගත කරගන්නා අතර අප්‍රකට ඇඟිලි සළකුණුද ෆයිබර් කෙඳි (අතීතයේදී නම් අශ්ව හෝ දඬුලේන වලිග කෙඳි) බුරුසුවක් ආධාරයෙන් සාමාන්‍ය පුයර කුඩු ඉසීමෙන් මතුකර ගැනීමෙන් හෝ තිව්‍ර කරගැනීමෙන් පසු ඒවාද ඡායාරූපගත කරගනී. නමුත් මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය අනුව යොදන පුයර වර්ගය වෙනස්වේ. එම ස්ථානයේ තිබෙන කඩදාසි හා රෙදි පරෙස්සමෙන් ඉවත්කරගෙන රසායනාගාරයට ගෙනගොස් රසායනික ප්‍රතිකාරක යොදා ගනිමින් ඒවා මතුපිට පතිතව පවතින ඇඟිලි සළකුණුද මතුකරගෙන ඒවාද ඡායාරූපගත කරගනී. කඩදාසි හෝ රෙදි මත පතිතව පවතින ඇඟිලි සළකුණු වාෂ්පශීලී විශේෂිත රසායනික ප්‍රතිකාරක දියරයක් වරක් හෝ කිහිපවරක් ඉසීමෙන් මතුකර ගැනීම හා තිව්‍ර කරගැනීම සිදුවේ. 

    දෙවනුව විශාලකර බලන අත් කාචයක් යොදාගෙන එම ඇඟිලි සළකුණු වල පිහිටා තිබෙන රේඛා, කැපුම් තුවාල කැළැල්, ගැටිති, ඉන්නන් හා කරගැට වැනි දෑ නිසා ඇතිවන සුදුපැහැති හිඩැස් විශේෂ ලක්ෂණ ලෙස හඳුනා ගනිමින් ඒවා පිළිබඳව සටහන් කර ගනී.

    තෙවනුව පහත රූපයේ පෙනෙන පරිදි සියුම් ලක්ෂණ වැඩි ප්‍රමාණයක් දැකගත හැකි ප්‍රදේශයක් හරහා රේඛාවක් ඇඳ එම රේඛාවෙන් කැපෙන වැටි, එක් දිශාවක් ඔස්සේ පිළිවෙලින් නිරීක්ෂණය කරමින් ඒ අවට පිහිටා තිබෙන විශේෂිත ලක්ෂණ 10ක් - 12ක් පමණ තුඩකින් සලකුණු කර ගනී. මෙම ලක්ෂණ කලාපීය රටවල් කිහිපයක් එකතුවෙන් ඇතිකරගත් පොදු සම්මුතියකට අනුව නම් කරන ලද ඒවාවේ.

    මේ අතරතුර විශේෂිත තීන්ත වර්ගයක් භාවිත කරමින් සැකකරුවන්ගේ දෑත්වල අත්ල මුළුමනින්මද සියළුම ඇඟිලිවල පළමුවන පුරුක වෙනවෙනමද විස්තර පත්‍රිකාවක් මතට ගෙන එයින් පිටපත් ලබාගනී.

    ඉන්පසුව අපරාධය සිදුවූ ස්ථානයෙන් මතුකර ගත් ඇඟිලි සළකුණු හා සමඟ ඒවා සසඳමින් කලින් හඳුනාගත් විශේෂිත ලක්ෂණ නිවැරදිව මතුකර ගැනීමෙන් සැබෑ අපරාධකරු හඳුනා ගන්නට උත්සාහ කරයි.

    වැටි නිරීක්ෂණය

    මා මෙම ලිපියෙන් පැහැදිළි කරන්නට උත්සාහ කළේ ඇඟිලි සළකුණු හා සම්බන්ධ මූලික සිද්ධාන්ත හා ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ යාන්ත‍්‍රණය පමණි. ඒ සඳහා යොදාගන්නා තාක්ෂණික යෙදවුම් හෝ මෙවලම් භාවිතය ගැන සඳහන් කර නොමැත. 

    තවද මෙම ලිපිය ලිවීමට සහාය දුන් මෙහිලා නම් සඳහන් කිරීමට අපහසු අපරාධ විමර්ශන අංශයේ නිලධාරී මහතුන් දෙපළටද මෙයින් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.


    පරිශීලක පිටු

    Wednesday, July 29, 2015

    යන්නට එපා… තවම හිත පිරුණේ නැහැ…

    යන්නට එපා… තවම හිත පිරුණේ නැහැ…

    පි:












    ගැ:








    පි:
    ගැ:

    පි:







    ගැ:

    පි:
    ගැ:
    දැන්මම මාව දාලා යන්නට එපා 
    මේ හිත තවම පිරුණේ නැහැ 
    මේ දැන් නේ ආවේ...
    මේ...... දැන්....
    වසන්තය ලෙසින් ඔබ පැතිරෙන අතරේ 
    ඔබේ සුවඳ සුළඟට ටිකක් මුහුවෙන්නට දෙන්න
    මගේ බැල්ම ටිකා…ක් ඔබ දිහාට වැටෙන්නට ඉඩදෙන්න 
    තව ටිකක් හැන්දෑ වුණා වේ 
    මගේ හිත ටිකා…ක් සන්සුන් කරගන්නට ඉඩදෙන්න  
    මට තව ටිකක් ජීවත් වෙන බව දැනෙන්නට හරින්න 
    තව ටිකා..ක් ඔබ නිසා මට දැනෙන මත් බවේ බිඳුවක් තොල ගාන්නට දෙන්න 
    තවම කිසිවක් කියන්නටවත්, අහන්නටවත් ලැබුණේ නැහැනේ 

    තරු දිලෙන්නට වුණා 
    (රැයේ) පහන් දැල්වෙන්නට වුණා
    තවත් නම් මාව වළක්වන්න හදන්නට එපා
    ඉදිරියට පැන මගේ මඟ අහුරන්නට එපා
    දැන් මම නැවතුනෝතින් කවමදාවත් ආපිට යන්නට නම් බැරිවේවි
    ඔව් ඔයා හැමදාමත් මෙහෙම කියාවී
    මගේ හදවත තවම පිරුණේ නැහැ කියලා
    මේක කොහෙන්හරි ඉවරයක් වෙන්න ඕනිනේ 
    ඒත් කොහොමටවත් එහෙම වෙන දෙයක් නම් නොවෙයිනේ 
    දැන්ම නොවෙයි දැන්ම නොවෙයි 
    බැහැ බැහැ දැන් නම් බැහැ

    නොනිමුණු ආසාවන්හී ගිල්වා
    නොසන්සිඳුණු පිපාසයක හෙළා
    හැමදාමත් මාව මේ විදියට මෙහෙම හැර යනකොට කොහොම නම් ආදරයක් ජය ගන්න ද 
    මේ දිවි මඟේ තරුණ සිත්සතන්හි හටගන්නා ආශාවන් හමුවේ අපිට ජයගන්නට තිබෙන අභියෝග බොහොමයි
    තරහා වෙන්න එපා මම කියන ඒවාට, මේ ආදරේ නිසා කියන දේවල්ම මිස මොනම විදිහකින්වත් චෝදනා කරනවා එහෙම නොවෙයි 
    ඔව් ඔයා හැමදාමත් මෙහෙම කියාවී
    මගේ හදවත තවම පිරුණේ නැහැ කියලා
    ඔව් තවම හද පිරුණේ නැහැ තමයි  
    එපා එපා ඔහොම කියන්නට එපා 


    පි:
















    ගැ:









    පි:
    ගැ:



    පි:










    ගැ:

    පි:
    ගැ:

    අභී නා ජා ඕ චෝඩ් කර්
    කේ දිල් අභී භරා නහී...//
    අභී අභී තෝ ආයී හෝ
    අභී අභී තෝ...
    අභී අභී තෝ ආයී හෝ
    බහාර් බන් කේ චායී හෝ
    හවා සරා මැහැක තෝ ලේ
    නසර් සරා බැහැක තෝ ලේ
    යේ ශාම් ඩහල් තෝ ලේ සරා...//
    යේ දිල් සම්භල් තෝ ලේ සරා
    මේන් තෝඩි දේර් ජී තෝ ලූන්
    නශේ කේ ගූන්ට් පී තෝ ලූන්...//
    අභී තෝ කුච් කහා නහී
    අභී තෝ කුච් සුනා නහී
    අභී නා ජා ඕ චෝඩ් කර්
    කේ දිල් අභී භරා නහී


    සිතාරේ ජ්හිල්මිලා උඨේ
    චරාග් ජග්මගා උඨේ
    බස් අබ් නා මුජ්හ්කො තෝක්නා...//
    නා බධ් කේ රාහ් රෝක්නා
    අගර් මේන් රුඛ් ගයී අභී
    තෝ ජා නා පාඋන්ගී කභී
    යෙහී කහෝගේ තුම් සදා
    කේ දිල් අභී නහී භරා
    ජෝ ඛතම් හෝ කිසී ජගාහ්
    යේ ඓසා සිල්සිලා නහී
    අභී නහී... අභී නහී...
    නහී… නහී… නහී… නහී…


    අදූරි ආස්...
    අදූරි ආස් චෝඩ් කේ
    අදූරි ප්‍යාස් චෝඩ් කේ
    ජො රෝස් යූන් හී ජාඔගී
    තෝ කිස් තරාහ් නිබාඔගී
    කේ සින්දගී කී රාහ් මේ
    ජවාන් දිලොන් කී චාහ් මේ
    කයී මකාම් ආයෙගේ
    ජෝ හම් කෝ ආස්මාන්යෙගේ
    බුරා නා මානෝ බාත් කා
    යේ ප්‍යාර් හේ ගිලා නහී
    හාං යෙහී කහෝගේ තුම් සදා
    කේ දිල් අභී භරා නහී
    හාං දිල් අභී භරා නහී
    නහී… නහී… නහී… නහී…

     1961 වසරේ තිරගත වුණු ජායීදේව් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද හම් දෝනෝ (අපි දෙන්නා) චිත්‍රපටයට ඇතුලත් මේ ගීතයට ප්‍රධාන චරිත ලෙස දේව් ආනන්ද් හා සධානා රංගනයෙන් දායක වන අතර ගීතයේ ගායනය මොහොමඩ් රාෆී සහ ආශා භෝස්ලේ විසිනි. පසුකාලීනව 2011 වසරේ තිරගත වුණු මෞසම් (සෘතුව) චිත්‍රපටයටද මේ ගීතයේ කොටසක් ඇතුලත්ව තිබිණි.

    නිවී සැනසුණු නොනවතින රිද්මය මෙන්ම කතා කරන බස් වහරෙන් ඉතා සරල ලෙස ගළපන ලද පද මාලාව නිසා මා මේ ගීතයට බෙහෙවින් ප්‍රිය කරමි. එහෙයින් ඔබ හා රසය බෙදා හදා ගන්නට හින්දි වචනවල සිංහල උච්චාරණය හා අරුතත් සමඟම ගීතය ඔබ හමුවට ගෙන එන්නට අදහස් කළෙමි. මා විසින් මේ ලිපිය ලියන ලද්දේ 2011 වසරේදීයි. ඒ මා මේ ගීතයට සවන්දුන් මුල්ම අවධියේදීයි. වසර හතරකට පසුවත් එහි රසය නොනැසී තිබීමම මේ ලිපිය පළකරන්නට මා දිරිගන්වන ලදී.

    Friday, July 24, 2015

    බත් කනවද? තේ බොනවද? බත් කාලම තේ බොනවද?

    තේ

    ඔබට බත් කාලා තේ එකක් බොන්න හිතුනොත්...

    ගොඩක් දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි බත් කාලා තේ බොන්න හොඳද කියන කාරණය.

    කෙළින්ම පිළිතුරට නොයා අපි බලමු තේ ගැන විස්තර ටිකක්. නැතිනම් උත්තරය දැනගත්ත ගමන් ලිපිය කියවන එකේ තේරුමක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්නේ.

    තේ කියන්නෙ ඉතා ප්‍රණීත රසයකින් යුක්ත එමෙන්ම ශරීර ප්‍රබෝධය ගෙනදෙන ස්වභාවික රසායනික සංඝටක අඩංගු ඉතාම සුවිශේෂී පානයක්. ලෝකේ හොඳම තේ වැවෙන්නේ අපේ රටේ වුණාට තේ කියන්නේ අපේ රටට ආවේණික ශාකයක් නොවන බව, ඔයාල හැමෝම දන්නවානෙ. නැතිනම් දැන් දැන ගත්තානෙ. තේ වගාව අපේ රටට හඳුන්වා දීම ගැන දැනගන්න ඕනි නම් මේ තේ විකි ලිපිය කියවන්න. තේ ගසේ විද්‍යාත්මක නාමය කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis). මේ ගසේ දළු වලින් ප්‍රධාන වශයෙන් තේ වර්ග හතරක් නිපදවා ගැනෙනවා. ඒවා තමයි කළු තේ black tea, ඌලෝන් තේ oolong tea, කොළ තේ green tea සහ සුදු තේ white tea. මේවා වර්ගීකරණය වෙලා තිබෙන්නේ සකස්කිරීමට යොදාගන්නා ක්‍රියාවලිය මෙන්ම භාවිත කරන දල්ලේ මේරු නොමේරූ ස්වභාවය අනුව. මේ අනුව මේ තේ වර්ගවල රසයද ගුණයද එකිනෙකට වෙනස් වනවා.

    තේ දළු

    තේ වල තිබෙන සෞඛ්‍යමය වැදගත්කම ගැන පර්යේෂණ අරම්භ වෙලා තිබෙන්නේ මීට වසර 4700 කට පමණ පෙර සිට, එනම් තේ කොළ තැම්බූ වතුර පානයට ගැනීම ආරම්භවනවාත් සමඟම බවට තේ පුරාවෘත්තයේ සඳහන් වෙනවා. ඒ චීනයේ ෂෙනෝඞ් අධිරාජයා විසින් රචිත ඉතා පැරණි සම්භාව්‍ය කෘතියක (The Divine Farmer's Herb-Root Classic) තේ ගැන කෙරුණු සඳහනක් සමඟින්. එහෙම ආරම්භ වුණු පර්යේෂණ මේ අද දක්වාත් නොකඩවා කෙරීගෙන යනවා.

    පහතින් දැක්වෙන, රුක්මනී දේවිය විසින් ගායනා කරන ලද තේ ගැන කියැවෙන මනහර ගීතය රසවිඳලම අපි ලිපියේ ඉතිරි ටික කියවමු.

    තේ පැන් දින දින වැඩි වැඩියෙන් - බීමෙන් සිරුරට සැප වැඩිවේ… ඒ කොහොමද ඒ ???

    එකින් එක අරගෙන විග්‍රහ කරන්නට අපහසු නමුත් වැදගත් කරුණු දහයක්

    1. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම
    2. අධි රුධිර පීඩනයට එරෙහිව නැගී සිටීම
    3. හෘද රෝග අවම කිරීම
    4. දියවැඩියාව 2 රෝගයට පිළියමක් වීම
    5. ස්නායු ප්‍රබෝධමත් කිරීම
    6. දන්ත සෞඛ්‍යයට හිතකර වීම
    7. කොලෙස්ටරෝල් පාලනය
    8. රුධිර සංසරණය ක්‍රමවත් කිරීම
    9. කැලරි දහනය මඟින් ස්ථුලතාවය මගහැරීම (කොළ තේ)
    10. විජලනය මඟ හැරීම (ඒකනේ පාචනය ඇති විට අඩු කහට තේ ගොඩාක් බොන්න දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරන්නෙ.)

    ආහාර වේලක් අතරතුර හෝ ආහාර වේලකින් පසුව තේ පානය කිරීම හේතුවෙන් අමාශයේ ආමවාතය ඉවත් කරමින් ආහාර ජීරණයට වැඩි ඉඩකඩක් ලබා දෙනවා එමෙන්ම ඛේටය ස්‍රාවයට මඟ සළසමින් ආහාර විකීම, ගිලීම පහසු කරවන අතරම මේනිසා මුඛ කුහරය තුළදී පිෂ්ඨය 30% ක ප්‍රතිශතයක් ජීර්ණයට ලක්කිරීමට උපකාරී වන ඛේටයේ අඩංගු ඇමිලේස් නිසි පරදි ප්‍රයෝජනයට ගැනෙනවා. තවද තේ පානයෙන් ආමාශයික යුෂයේ තිබෙන පෙප්සීන් වැනි එන්සයිම ස්‍රාවය වීම උත්තේජනය කරමින් වඩා සුදුසු මාධ්‍යයක් ඇති කරමින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. තවද බඩේ දාහය නිවන ප්‍රති ඔක්සිකාරක තේ වල අඩංගුව පවතින බැවින් ඇතැම් ජීර්ණ සංකීර්ණතා නැති කිරීමට හේතු වෙනවා.

    මෙන්න මේ හේතූන් නිසා ආහාර වේලක් ගත්තහම තේ ටිකක් බොන එක හොඳයි නමුත් බත් වගේ ප්‍රධාන ආහාර වේලකට පස්සෙ නම් තේ බොන එක අනුමත කරන්න බැහැ. මොකද අපි ප්‍රධාන ආහාර වේලකින් බලාපොරොත්තු වෙන්නෙ කුසගින්න නිවා ගැනීමම නොවන නිසා. ප්‍රධාන ආහාර වේලකින් තමයි ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අපි ලබාගන්නේ. මේවායින් ශරීරයේ පැවැත්මට බලපාන ප්‍රධානතම සංගටකයක් තමයි යකඩ. ඉතින් අපි ගන්නා ආහාරයක යකඩ අඩංගු වෙලත් ඒවා අපේ ආහාර මාර්ගය තුළදී ශරීරයට අවශෝෂණය වීම වළක්වාලන යමක් මේ තේ පානය නිසා සිදුවෙනවා නම්... ඇත්තටම සිදුවෙන්නෙ තේ වල තිබෙන ටැනනින් කියන සංගටකය මඟින් ආහාරයේ තිබෙන යකඩ සමඟ සංකීර්ණ බන්ධන සදා ගැනීම හේතුවෙන් යකඩ අවශෝෂණය වීම වැළැක්වීම . මීට අමතරව කැෆේන්ද පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට බලපෑම් එල්ල කරනවා. කෝපි බිව්වහමත් මේකම වෙනවා. කෝපි නම් බොන්නම හොඳ නෑ. මොකද කෝපි වල තේ වල වගේ තුන්හතර ගුණයක් කැෆේන් අඩංගු වෙනවා.

    මෙහි තිබෙන භයානකම තත්ත්වය තමයි යකඩ ඌනතාවය නිසා රක්තහීනතාව ඇතිවීමේ අවදානම. රක්තහීනතාවය ඇතිවීමට වෙනත් ප්‍රබල හේතු ගණනාවක් තිබිය හැකියි. විශේෂයෙන්ම අප ගන්නා ආහාර වල ප්‍රමාණවත් තරම් යකඩ අන්තර්ගත අඩංගු වෙනවාද කියන කාරණය.

    ඒ කෙසේ නමුත් රක්තහීනතාවය ගැන දැන්ගන්න මා විසින් ගියවර පලකරන ලද කන්නටත් බැරිය නොකා ඉන්නටත් බැරිය ලිපිය කියවන්න.

    මෙන්න මේ කාරණය නිසා ප්‍රධාන ආහාර වේලකට පස්සෙ තේ බොන්න හොඳ නැහැ. ඉඳලා හිටලාවත් බොන්න යන්න එපා. පුරුද්දට යන්න පුළුවන්. උණු වතුර ටිකක් බොන එක නම් ගොඩාක් හොඳයි. ජීර්ණය පහසු වෙන්න. නමුත් වතුර වුණත් ගොඩාක් බොන්න හොඳ නෑ. මොකද ආමාශයික යුෂයේ සාන්ද්‍රණය අඩුවීම නිසා මාධ්‍යයේ ආම්ලිකතාවය අඩුවෙලා ජීරණ අක්‍රමිකතා ඇතිවන නිසා. 

    පමණට වඩා තැම්බුණු තේ කොළ වලින් සදා ගන්නා තේ වල සංගටක ශරීරයට අහිතකරයි. තේ වලට නටන වතුර දාලා ගොඩක් වෙලා තිබෙන්නට හරින්න එපා. ඉක්මණින් පෙරාගෙන පානයට ගන්න. තිබහ තරමටම තේ බොන්නත් එපා එහෙම බොනවා නම් අඩු කහට තේ බොන්න. ඒ වගේම අඩු සීනි තේ කොහොමටත් සෞඛ්‍යාරක්ෂාවට හොඳයි. සීනි නිසා හොඳ රසක් වගේම ප්‍රබෝධමත් බවක් ලැබෙන බව ඇත්ත ඒත් තේ වල ස්වභාවයෙන්ම තිබෙන කැෆේන් මේ ප්‍රබෝධමත් බව ඇති කරනවා.

    තවත් දෙයක්… රෑට නම් තේ බොන්නම එපා. තේ වල තිබෙන කැෆේන් ඔබව රෑ පුරා ඇහැරවා තබාවි. නමුත් ඇහැරගෙන ඉන්න ඕනි නම් බොන්න. (රෑ වැඩ කරන, පාඩම් කරන අය එහෙම)

    තවද බඩ දැවිල්ල තිබෙන අයට නිතර තේ පානය ගැස්ට්‍රයිටීස් වැඩි වීමට හේතුකාරක විය හැකියි.

    තේ බොන එක ශරීරයට හිතකර නම් මොකද්ද තේ බොන්න හොඳම වෙලාව…

    ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරතුර… අඩුම තරමේ ප්‍රධාන ආහාර වේලකට පැයකට වත් පසුව…

    ඒ කියන්නෙ උදේ දහයට සවස තුනට වගේ බඩ හිස් වේගෙන එන වෙලාවට පෝෂ්‍ය පදාර්ථමය වටිනාකමට වඩා රසය වැදගත් වන පොඩී රස කැවිල්ලක් සමඟ හෝ සුළු ආහාරයකට(කෙටි කෑම) පස්සෙ නම් තේ ටිකක් බිව්වට කමක් නැහැ. කැමති නම ඉඟුරු ඉස්ම ටිකක් දෙහි හෝ ලෙමන් බින්දුවක් දෙකක් තේ එකට එකතු කර ගැනීම කළ හැකියි. මෙයින් කෑම අරුචිය, අජීර්ණය හා වමනය සමනය වෙනවා. නැතිනම් එළ කිරි, මෝලට් හෝ චොකලට් කිරි ටිකක් වුණත් එක්කර ගැනීමෙන් රසවත් බව හෝ ගුණදායක බව වැඩි කර ගත හැකියි. කුසගින්නද නිවාගත හැකියි. කොහොමටත් මොනයම් හෝ ආහාර වේලකට පස්සෙ සිසිල් බීමක් පානය කරනවාට වඩා තේ, කෝපි වැනි උණුසුම් පානයක් බොන එක හොඳයි.

    කොහොම නමුත් තේ කියන්නේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව ලෝකයේ ඕනෑම කෙනෙක් වරක් හෝ රසවිඳිමට ඉඩකඩ තිබෙන සුවිශේෂීම පානයක්.


    පරිශීලක පිටු

    1. https://en.wikipedia.org/wiki/Health_effects_of_tea
    2. http://www.thehealthsite.com/photo-gallery/diseases-conditions/6-reasons-i-will-never-give-up-drinking-tea/
    3. http://www.thehealthsite.com/photo-gallery/diet/6-ways-a-cup-of-tea-keeps-you-fit/
    4. http://www.todayszaman.com/health_avoid-tea-after-meals-but-why_186262.html
    5. https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%9A

    Wednesday, July 22, 2015

    කන්නටත් බැරිය - නොකා ඉන්නටත් බැරිය

    _thumb

    යකඩ

    ශාකමය හෝ සත්ත්වමය සෑම ජීවී සෛලයක් තුළම අන්තර්ගත වෙමින් ඒවායේ නඩත්තුවට බෙහෙවින් උපකාරී වන සංඝටකයකි යකඩ.

    ශරීරයේ තිබෙන යකඩ වල ප්‍රධාන කර්තව්‍යය ශරීරයේ සෑම සෛලයකටම සිය පරිවෘත්තීය (ආස්වාස ප්‍රාස්වාස) ක්‍රියාවනට ඕනෑ කරන ඔක්සිජන් පරිවහනයට හා පරිභෝජනයට දායක වීමයි. මිනිස් ශරීරයේ අන්තර්ගත යකඩ වලින් වැඩිම ප්‍රතිශතයක් (70% ක් පමණ) මේ සඳහා දායක වන අතර ඒවා රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබින් හා මාංශපේශි සෛල වල තිබෙන මයෝග්ලොබින් කියන ප්‍රෝටීන දෙක තුළ ගබඩාව පවතී.

    මෙයින් හිමොග්ලොබින් තුළ තිබෙන යකඩ තමයි පෙනහළු වල සිට පටක කරා ඔක්සිජන් රැගෙන යෑම සිදුකරන්නේ

    එමෙන්ම මයෝග්ලොබින්වල තිබෙන යකඩ තමයි මෙසේ ගෙන එනු ලබන ඔක්සිජන් භාර ගැනීමත්, ගබඩා කර ගැනීමත්, සෛල කරා ගෙනයෑමත් , අවශ්‍ය අවස්ථා වලදී පරිභෝජනයට මුදාහැරීමත් සිදු කරන්නේ.

    මීට අමතරව හදිසි අවස්ථාවකදී අමතර ශරීර ශක්තිය උපදවා ගැනීමටත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයටත් ඇතැම් ප්‍රෝටීන තුළ හා එන්සයිම තුළ තිබෙන 6% ක් වැනි සුළු යකඩ ප්‍රතිශතයක් දායක වන අතර ශරීරයේ අනෙකුත් සියළුම සෛල වල ගබඩා වී තිබෙන්නේ ඉතිරි 25% යි.  

    යකඩ ඌනතාවය

    අප එදිනෙදා ගන්නා ආහාර වල ප්‍රමාණවත් තරම් යකඩ අන්තර්ගත නොවීමෙන් හා යකඩ අවශෝෂණයට බාධා ඇතිවීමෙන් ශරීරය තුළ යකඩ ඌනතාවයක් හටගත හැකියි. මෙහි තිබෙන භයානකම තත්ත්වය යකඩ ඌනතාවය නිසා රක්තහීනතාව ඇතිවීමේ අවදානමයි.

    මොකක්ද මේ රක්තහීනතාවය කියන්නෙ…

    ----_thumb2රක්තහීනතාවය කියන්නෙ රුධිරයේ රතු රුධිරාණු සෛල මට්ටම හෝ රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබීන් ප්‍රෝටීන මට්ටම පහත වැටීම. වෙනත් විදියකින් කියනවා නම් රුධිරයේ ඔක්සිජන් පරිවහණය අඩාල වීම.

    රුධිරයේ රතු රුධිරාණු සෛල නිෂ්පාදනයට යකඩ අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ වගේමයි ශරීරය තුළ යකඩ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේත් මේ රතු රුධිරාණු සෛලවල තිබෙන හිමොග්ලොබීන් කියන ප්‍රෝටීනය තුළ. රුධිරයේ රක්ත වර්ණයට හේතු වන්නේත් මේ යකඩ අන්තර්ගත හිමොග්ලොබීන් ප්‍රෝටීන. පෙනහළු තුළදී ඔක්සිජන් අණු සමඟ බන්ධන සාදා ගනිමින් පෙනහළු වල සිට පටක කරා ඔක්සිජන් ගෙන එනු ලබන්නේ හිමොග්ලොබින් වල තිබෙන යකඩ මඟින්.

    මේ නිසා ප්‍රමාණවත් තරම් යකඩ තිබුනොතින් තමයි ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය සිදුවන්නේ. ප්‍රමාණවත් තරම් රතු රුධිරාණු නිෂ්පාදනය වුණොත් තමයි රතු රුධිරාණු නිෂ්පාදනයට හා ඔක්සිජන් පරිවහනයට ප්‍රමාණවත් තරම් යකඩ ගබඩාකර ගත හැකි තරම් හිමොග්ලොබීන් මට්ටමක් රුධිරයේ පවත්වා ගතහැකි වන්නේ.

    කොහොමද අපි රක්තහීනතාවය හඳුනා ගන්නේ...

    සුදුමැලි පෙනුම, ඈලිමෑලි කතාබහ, අලස හැසිරීම, ගාටන ගමන… කොටින්ම කිව්වොතින් වෙහෙස මහන්සිය හා තෙහෙට්ටු විලාසයක් පෙන්නුම් කරනවානම් ඒවායෙන් රක්තහීනතාවය හඳුනාගත හැකියි.

    මොනවද මේ රක්තහීනතාවයේ ලක්ෂණ...

    -_thumb1

    ශරීරයේ යකඩ අඩු වුණහම රුධිරයේ රතු රුධිරාණු මට්ටම මෙන්ම යකඩ අඩංගු හිමොග්ලොබීන් මට්ටම පහළ වැටීම සිදුවන නිසා රුධිරයේ රක්ත වර්ණය අඩුවීමත් ඔක්සිජන් පරිවහණය අඩාල වීමත් සිදු වෙනවා.

    කොහොමනමුත් ගොටුකොළ, වෙල්අලකොළ නිවිති තම්පලා කංකුං ආදි කොළ එළවඵ ,  පීකුදු, මාඵ, රතුපැහැ මස් වර්ග, සෝයා ටෝෆු, පරිප්පු, උක් පැණි, තල,බෝංචි, මුං ඇට හා රනිල බීජ යනාදිය යකඩ බහුල ආහාර නිතිපතා ඔබේ ආහාරයට එකතුකර ගන්නවා නම් රක්තහීනතාවය ඇතිවීමේ අවදානමක් මතුවන්නේ නැහැ. මේවායෙන් සත්ත්වමය ආහාරවල අඩංගු යකඩ ශාකමය ආහාරවල අඩංගු යකඩ වලට වඩා පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත හැකියි. නමුත් යකඩ අඩංගු සත්ත්ව හා ශාක යන ආහාර ජාති දෙකම එකට ගැනීමෙන් ශාකමය අහාර වල තිබෙන යකඩ අවශෝෂණය වැඩිකර ගත හැකියි. එමෙන්ම යකඩ බහුල ආහාර සමඟ විටමින් C අඩංගු ආහාර පාන ගැනීමෙන්ද යකඩ අවශෝෂණය දිරිගැන්වෙයි.

    මිනිසාගේ දෛනික යකඩ අවශ්‍යතාවය ග්‍රෑම් 2.5 ක් පමණ වේ. ඒ ප්‍රධාන වශයෙන්ම ඔක්සිජන් පරිවහනය සඳහායි. සිරුර තුළ යකඩ නිෂ්පාදනය සිදුනොවන අතර අවශ්‍යතාවයක් තිබූ පමණින් යකඩ ආහාරයට ගැනීමටද නොහැකියි. එනිසා මෙම අවශ්‍යතාවය සපුරාගත හැකි එකම මාර්ගය යකඩ අඩංගු අහාර පරිභෝජනයට ගැනීමයි.

    --_thumb1

    මීට අමතරව තවත් යකඩ ග්‍රෑම් 2 ක් පමණ අපේ ශරීරය තුළ ගබඩාව පවතිනවා. අප ගන්නා ආහාරයේ තිබෙන වැඩිපුර යකඩ කොටස ෆේරිටින් සංකිර්ණය ලෙස වැඩි වශයෙන් ඇට මිදුලු, අක්මාව හා ප්ලීහාව ඇතුළුව ශරීරයේ සියළුම සෛල තුළ මෙලෙස ගබඩා කර Vitamin-A_thumb2ගැනෙනවා. මෙසේ ගබඩා කර ගන්නා වැඩිපුර යකඩ අවශ්‍යතාවය පරිදි මුදාහැරීම සිදුවන අතර විටමින් A මේ සඳහා  උපකාරී වේ. මේ අනුව වැඩුණු මිනිසෙකුගේ ශරීරයේ නිරතුරුව යකඩ ග්‍රෑම් 4.5 ක් පමණ පවතී.

    තේ, කෝපි හා කාබනික පාන (කොකාකෝලා, පෙප්සි, ස්ප්‍රයිට්, ෆැන්ටා, මිරින්ඩා… ) වැනි කැෆේන් අන්තර්ගත පාන යකඩ අඩංගු ආහාර සමඟ ගැනීමෙන් යකඩ අවශෝෂණය ප්‍රබල ලෙස පහත වැටෙනවා.

    දෛනික යකඩ පරිභෝජනය වැදගත් වන්නේ දිනපතා ආකාර කිහිපයකින් යකඩ අපේ ශරීරයෙන් බැහැර වන බැවිනි. ඒ මළ මුත්‍ර හා දහදිය මඟින්, හමේ මැරුණු සෛල ගැලවී යාම මඟින්. මීට අමතරව රුධිර වාහනයක් සිදුවීමෙන් හෝ ලේ දන්දීම හේතුවෙන් විශාල වශයෙන් යකඩ හිඟ වීමක් සිදුවෙනවා. මේ නිසා එසේ බැහැර වන යකඩ අපි පිටතින් ලබා ගත යුතුයි.

    එමෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් යකඩ අවශ්‍යයි. ඒ ඔවුන්ගේ ශරීරයෙන් රුධිරය වහනය වීම සිදුවන නිසා. විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට අමතර යකඩ ප්‍රමාණයක් අවශ්‍ය වනවා. මව් කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට අවශ්‍ය යකඩ තනිකරම සපුරාලන්නේ මවගේ රුධිරයේ තිබෙන යකඩ මඟින්. දරුවාට දෙන කිරි සමඟ කිරි දෙන මව්වරුන්ගේ ශරීරයේ තිබෙන යකඩ සෑහෙන ප්‍රමාණයක් වැය වෙමින් දරුවාගේ පෝෂණයට උපකාරී වෙනවා.

    මේ අනුව එදිනෙදා යහපැවැත්මට නැතුවම බැරි සාධකයක් ලෙස යකඩ හඳුනාගත හැකියි.


    පරිශීලක පිටු

    1. https://en.wikipedia.org/wiki/Iron#Biological_role
    2. https://en.wikipedia.org/wiki/Hemoglobin
    3. https://en.wikipedia.org/wiki/Human_iron_metabolism#Body_iron_stores
    4. https://en.wikipedia.org/wiki/Anemia
    5. http://www.ext.colostate.edu/pubs/foodnut/09356.html
    6. http://www.nelsonsnaturalworld.com/en-gb/uk/our-brands/spatone/iron-essentials/role-of-iron-in-the-body