Friday, April 26, 2013

‘ටූනා’ ඔබයි අප හදවත මෘදු කරන

 
ටූනා

මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි.

“අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ බලු පැටවෙකු ගැන නොවෙයි මම මේ කතාකරන්නේ. ඇත්තෙන්ම ඔහු කෙනෙකුට අරගෙන ඇතිදැඩි කරන්නට හිතෙන විදිහේ බලු පැටවෙක් නොවෙයි. ඒ මොකද බහුතරයකට ඔහුගේ පෙනුම ආකර්ෂණීය ලෙස නොපෙනෙන නිසා.”

“මුව පුරා විහිදුණු යටි හනුව වසාගෙන ඉදිරියට නෙරාගිය උඩ දත් ඇන්ද පෙන්නුම් කරන විසිළු රූපය, හරියටම පෙඟුණු ස්පොන්ජ් එකක් වගේ රැළි ගැසුණු සමින් යුතු නිකට හා බෙල්ල ඔහුට ගෙනදුන්නෙ අවලස්සන පෙනුමක්. ඔහුගේ සැබෑ හිමිකරුවන් ඔහුව මේ විදියට අතහැරලා දාන්න ඇත්තෙ ඔහුගේ මේ අවලස්සන පෙනුම නිසාම වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. මම හිතන්නෙ නැහැ ඔහු තුළ තිබෙන ලස්සන ඔවුනට හරිහැටි හඳුනාගන්න පුළුවන්කම ලැබුණා කියලා. අන්න ඒ නිසායි ඒ අය ඔහුව ප්‍රතික්‍ෂේප කරන්නට ඇත්තෙ. නැත්නම් ඔහුව මෙහෙම ප්‍රතික්‍ෂේප කරන්න වෙන හේතුවක් නැහැනෙ. නමුත් ඔහුගේ වගේම මගේත් වාසනාවට ඔහුව මුදවාගත් කෙනාට හැකියාව ලැබුණා ඔහුගේ සුවිශේෂීබව හඳුනාගන්න. ඒ නිසයි ඇය තීරණය කරලා තියෙන්නෙ කැපකරුවෙකු සොයාදීමෙන් ඔහුව නැවත වතාවක් සාමාන්‍ය ජීවිතයකට යොමුකරන්න.”

“ඔන්‍න‍ ඔය අවස්ථාවේ තමයි මම මේ කතාවට සම්බන්ධ වෙන්නෙ.”

“ෆාමර්ස් වෙළඳපොළේ පැවැත්වුණු මුදාගත් බලු පැටවුන් භාරකාරත්වයට පැවරීමේ වැඩසටහනකදි තමයි මට ඉස්සරවෙලාම මගේ බලු පැටවාව මුණගැහුණේ. ඒ වෙනකොට මගේ අදහස වෙලා තිබුණේ බලු පැටවෙකු හදාවඩා ගැනීම පමණක්ම වුනත් ඊටත්වඩා වඩා වැඩි මොකද්දෝ හේතුවක් නිසා මාව ඔහු දෙසට ආකර්ෂණය කරගන්න බවක් මට දැනෙන්න පටන්ගත්තා. එහෙම සතියක් විතර ටූනා එක්ක කාලය ගතකරද්දී මට නිරායාසයෙන්ම දැනුණා ඔහු ඉතා සුවිශේෂීයි කියන කාරණය. ඉන්පසුවයි මම ඔහුව දිගින් දිගටම හදාවඩාගන්නට තීරණය කළේ. ඔහුගේ බාහිර පෙනුම විතරක් නොවෙයි ඔහු සතු ගතිගුණ මෙන්ම හැසිරීම් රටාවේත් යම් යම් සුවිශේෂී ලක්ෂණ දැකගන්නට හැකිවුණා. ඔහු ඉතාමත් ආදරබර, සිත්ගන්නාසුළු බලු පැටවෙක් වුණා. මම ඔහුට මොනතරම් ආදරය කරන්න පටන්ගත්තාද මගේ හිතේ ඔහු ගැන උපන් ආදරය මොනතරම්ද කියනවානම් මට ඔහුට ඒ ආදරය දැනෙන්න සලස්වන්න උවමනා හැම දෙයක්ම කරන්න ඕනෑ වුණා.”

මට වැටහුණා ඔහු සතුව තිබෙන මිනිසුන්ගේ හද බැඳගැනීමේ හැකියාව. ඒ ඔහුගේ අවලස්සන මුහුණ නිසාම වුවත් මම දැනසිටියා ඒ මුහුණම අවාසනාවන්ත අයුරින් ඔහුව අවමානයට පත්කරන්නටත් හේතුවන බව. ඒ මොකද... ටූනා ගැන එදාමෙදාතුර මට ලැබුණු පොදු ප්‍රතිචාරය වුණේ ඔහු 'විරූපී'ය යන කාරණය. ඔහුව දකින බොහොමයක් දෙනාගෙ හිතට නැගෙන පළමුවැනි සිතුවිල්ල තමයි ඒ. නමුත් ඒ අය බහුතරයක් ඔහුව පෙනුමෙන් මනින්නෙ ඔහුගේ හිතේ තිබෙන ලස්සන ගැන නොදන්නාකම නිසා.”

“බාහිර පෙනුමින් කෙනෙක්ව මනින එක සැමවිටම සාධාරණ නැහැ කියලයි මගේ හැඟීම. ඒ මොකද සමහර වෙලාවට පෙනුම නිසා අවමානයට හා අහේතුකව හිත් රිදවීම්වලට ලක්වෙන හොඳ මිනිසුන් බොහොමයි. මම ඒක දකින්නෙ හරියටම සමාජය විසින් ලස්සන මනින්න යොදාගන්නා මිම්මේ පවතින දුර්වලතා නිසා සිදුවෙන වැරැද්දක් හැටියටයි. ලෝකයාගේ මිණුමින් සුසාධිත හැඩ රුව ඔබට‍ නැතනම් ලෝකයා ඔබව අවලස්සන පුද්ගලයෙකු හැටියටයි සලකන්න පුරුදුවෙලා ඉන්නෙ.”

“ඒ විතරක්ද ලස්සන කියලා ලෝකයා විසින් සම්මත කරගත්ත අතාත්විකමෙන්ම තාවකාලික රාමුවකට කොටුවෙලා ඉඳගෙනයි අපි අනෙක් අය දිහා බලන්න පුරුදුවෙලා තියෙන්නෙ. ඒ විතරද... අපි අපේම දිහා බලන්නෙ පවා... ඒ මදිවාට ඒ ගැන තම වගකීමක් නැති මත පළකරන්නත් අපිට උවමනායි. බලන්න ඒ නිසා සමහර අයගේ හිත් කොයිතරම් වේදනාවට පත්වෙනවාද කියන කාරණය. අපි ඒ ගැන කවදාවත් හිතන්නේ නැහැ නේද ? එයින් ඒ අයට සිදුවෙන ආයෙ හදන්න බැරි වැරැද්ද ගැන හිතෙද්දී පවා මටනම් දැනෙන්නේ ලොකු කණගාටුවක්. වයසින් කොයි තරාතිරමේ ඉන්න කෙනෙක් උනත්‍ එක හා සමානවම මෙයින් පීඩාවට පත්වෙන්න පුළුවන්. ඒ අය හිතන්න පුළුවන් තමන් මේ සාමාන්‍ය සමාජයට නොගැළපෙන, අනවශ්‍ය කොයිතරම්දුරට සාමාන්‍ය සමාජයෙන් ප්‍රතික්ෂේපිත කෙනෙක්, තනිවුණ කෙනෙක් කියලා.”

“අපේ නොසළකාහැරීමෙන් රිදුණු ඒ හදවත් සුවපත් කරන්න මොනවද අපිට කරන්න පුළුවන්. මම උදක්ම කියාසිටිනවා වචන හැසිරවීමේදී සැළකිලිමත් වීමෙන් සහ ක්‍රියාවෙන් පරෙස්සම් වීමෙන් පෙනුමෙන් අවලස්සන කෙනෙකුට ආදරෙන් සලකන්න ඔබත් උත්සාහ කරලා බැලියයුතුයි කියන කාරණය. ඒ වගේම කෙනෙකුට අවමන්කිරීමෙන් නොව ගෞරවකිරීමෙන් ලැබෙන සතුට අතිමහත්.”

“ලෝකය පුරා මිනිසුන් ටූනාට ආදරය කරන ආකාරය මොනවගේද කියන්න මට ඔහුගේ ඉන්ස්ටග්‍රම් ගිණුම දිහා බැලුවහම පැහැදිලිවම පෙනෙනවා. පුරා අවුරුද්දක් තිස්සේ මම දිනකට වරක් ඔහුගේ අළුත් පින්තූරය බැගින් එහි පළකරනවා. පහුගිය කාලය පුරාම ඔහුගේ සුවිශේෂී වෙනස නිසාම ඔහුට දැඩිව ආදරය කරන විශාල පිරිසක් ඔහු වටා එකතුවෙලා සිටින බව පේනවා.”

“ඇත්තටම මට අදහාගන්න බැරිවුණා ටූනා මිනිසුන් අතරට ගිහින් ජනප්‍රිය වෙලා තිබෙන ආකාරය දැකීමෙන්ම. හරියටම කියනවනම් ටූනා මිනිසුන්ගේ හදවත මෘදු කරමින් ඒ තුළින් මිනිසුන් නැවත ප්‍රකෘතියට පත්කරනවා වගෙයි මට දැනෙන්නෙ. ටූනාව දිරිමත් කරමින් තමුන්ව දිරිමත් කරගන්න වෙහෙසෙන අයගේ ඇතැම් ප්‍රතිචාර දැකීමෙන් මගේ හදවත තවතවත් මෘදු වෙනවා වගෙයි.”

“මට පුදුමයි, මම කවමදාවත් හිතුවෙ නැහැ අවලස්සන පෙනුම නිසා මිනිසුන් විසින් ප්‍රතික්‍ෂේප කරලා අත්හැරලා දාපු කුඩා බලු පැටවෙකුට තම විසිළු පෙනුමෙන් සිනහව, ප්‍රීති ප්‍රමෝදය ගෙන එමින් ලෝකයා සිත්සතන්වලට මේ තරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා.”

“නමුත් මම ආයෙමත් මතක්කරන්න කැමතියි ඔහු ඔබ දන්නා සාමාන්‍ය බලු පැටවෙකු නොවන බව.”

- කෝට්නි ඩෑෂර්

මෙම ලිපිය ලියැවුණේ මාස තුනකට පමණ පෙර ‘ඩාර්ලිං’ ඊ-සඟරාවේ පළවුණු ‘Tuna Melts Our Hearts’ ලිපිය ඇසුරෙනි.

මොන හේතුවක් නිසාද මම දන්නෙ නැහැ දුටුමතින් ආදරය හිතෙන මොකද්දෝ වාසනා මහිමයක් හා ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ටූනා සතුව තිබෙන බවයි මගේ පෞද්ගලික හැඟීම. මේ ලිපිය ඇස ගැටිලා මාස කිහිපයක් ගතවුණත් ටූනා ගැන ලිපියක් ලියන්නම ඕනෑ කියලා මට හිතුනෙත් අන්න ඒ නිසාම වෙන්න ඇති.

ඔයාලා කැමතිනම් තවදුරටත් ‘ටූනා’ ගැන අවදියෙන් ඉන්න tunameltsmyheart කියන ඉන්ස්ටග්‍රම් පිටුවෙන් හෝ www.tunameltsmyheart.com කියන වෙබ්අඩවියට පිවිසීමෙන් ඔබට‍ පුළුවනි ඔහුගේ අළුත්ම විස්තර දැනගන්නත් ඒ වගේම ඔහුගේ අළුත් පින්තූර දැකගන්නත්.

ඒවගේම ඔයාල කැමතිනම් ‘ටූනා’ ගැන අදහසක් හෝ ඔබේ අතින් නිර්මාණය වුණු සිතුවමක් අන්තර්ජාලය හරහා බෙදාගන්න #tunameltsmyheart කියන හෑෂ් ඇමුණුම යොදාගන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment