Wednesday, August 5, 2015

හෙළිවේය අපරාධ සැඟවුණු - නිසා නොමැකුණු ඇඟිලි සළකුණු

ඇඟිලි සළකුණු

ඇඟිලි සළකුණු

මිනිස් සමෙහි චර්මීය පිටිකා හෙවත් ඇතුල් සම පිට සම තුළට පුඩු ආකාරයෙන් නෙරුම් පවතී. අත්ලෙහි සහ පතුලෙහි සම මත මේවා වැටි (ridges) වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම අත්ලෙන් සහ පතුලෙන් දහදිය නික්මෙන්නේ එම වැටිවල තිබෙන ස්වේද ග්‍රන්ති විවර තුළිනි. අත්ල ස්පර්ශ වන සුමට පෘෂ්ඨ මත ඇඟිලි සළකුණු ලෙස ඉතිරි වන්නේ එසේ නික්මෙන දහදියයි. මේවා අප්‍රකටව හෝ ප්‍රකටව පවතී. තවද පුරුද්දක් ලෙස මිනිසුන් නිතරම මුහුණ සහ හිසකෙස් ස්පර්ශ කරන නිසා මුහුණෙහි, විශේෂයෙන්ම නළලතින් වෑහෙන මේද අම්ල, එම වැටි මත තැවරීමෙන් වඩා තිව්‍ර ලෙසින් පතිතවන ඇඟිලි සළකුණුද වේ. මීට අමතරව කාබන්, තීන්ත, දැලි, තෙල්, ග්‍රීස් හෝ රුධිරය ඇඟිලි සම මත තැවරීම නිසා අත තබන ස්ථානවල එම ද්‍රව්‍ය ඇඟිලි සළකුණු ලෙස තැන්පත් වීමද සිදුවිය හැක. දරුවන්ගේ ඇඟිලි සළකුණු ඉක්මණින් වියැකී යෑම සිදුවේ. මෙයට හේතුව ඔවුන්ගේ සමෙන් මේද අම්ල වහනය නොවීමයි.

ඇඟිලි සළකුණු වැටි රටා 

අත්ලෙහි හා පතුලෙහි හටගන්නා වැටි තරමක්දුරට ආරයෙන් එන ලක්ෂණවලට අනුකූලව තීරණයවන රටාවකට අනුව පිහිටයි. නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍යව පවතී. සර්වසම නිවුන්නුන් දෙපළකගේ වුව ඇඟිලි සළකුණු එකිනෙකට වෙනස්වේ. මෙම රටා උපතට පෙර හටගෙන ප්‍රමාණයෙන් මිස ස්වභාවයෙන් ප්‍රමාණාත්මක වෙනසක් සිදු නොවී ජීවිතකාලය පුරාම පවතියි. මේ හේතුන්‍ නිසා ඇඟිලි සළකුණු පුද්ගලයෙකුගේ අනන්‍යතාව ඔප්පු කිරීමට යොදා ගනියි.

ඇඟිලි සළකුණු වැටිවල මූලික රටා තුනක් හඳුනාගත හැක.

 

1.

කව

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී නැතිනම් මධ්‍යය දෙසට නැවී වක්‍රාකාරව අනෙක් පසින් පිටවයන වැටි)

මෙහි තවත් ප්‍රභේදයකි කුඩාරම් කව

 

කුඩාරම් කව

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී නැතිනම් මධ්‍යය දෙසට මුදුන් වී හෝ ඉලිප්පී වක්‍රාකාරව අනෙක් පසින් පිටවයන වැටි)

කවකුඩාරම් කව
2. පුඩු

(ඇඟිල්ලේ එක් පසෙකින් ඇතුල්වී ඇඟිල්ල මධ්‍යයේදී පුඩුවක් සාදමින් සම්පුර්ණයෙන්ම ආපිට හැරී ඇතුල්වූ පසින්ම පිටවයන වැටි)
පුඩු
3. කැරළි

(ඇඟිල්ලේ මධ්‍ය ලක්ෂ්‍යය වටා සුළි මෙන් වටකුරු හැඩයට කැරළි ගැසෙන වැටි )
කැරළි

වැටිවල හඳුනාගත හැකි ඉතා සියුම් ලක්ෂණ 

වැටිවල හඳුනාගත හැකි සියුම් ලක්ෂණ

  • වැටි අගිසි (වැටියක් අවසන් වන ස්ථානය)
  • වැටි මුදුන් (වැටියක් තුඩුවක් ආකාරයෙන් තිබෙන ස්ථානය)
  • වැටි උල් (වැටියක් උලක්‌ මුදුණත මෙන් හැරවුම් ස්ථානය)
  • වැටි බෙදුම් {(දෙබල - තනි වැටියක් වැටි දෙකකට බෙදෙන ස්ථානය) (තෙබල - වැටි දෙකක් එකිනෙක හරහා යන ස්ථානය)}
  • වැටි කඩ හෝ තිත් (සාමාන්‍ය වැටියකට වඩා සැළකියයුතු මට්ට්මක් දිගින් අඩු වැටි)
  • වැටි දූව (දුපතක් ලෙසින් අනෙකුත් වැටිවලින් වටවුණු වැටි)
  • වැටි විල් (වැටි දෙකක දෙබල කරු එකතුවීමෙන් සෑදෙන හිඩැස්)
  • වැටි වල (වෘත්තාකාරව වැසුණු වැටි)
  • වැටි නෙරුම් (වැටියකින් පිටතට නෙරුණු කොටසක්)
  • පාලම් (වැටි දෙකක් යාකරමින් සෑදුන කුඩා වැටියක්)
  • ඇඟිලි සළකුණුවල භාවිතය 

    ඇඟිලි සළකුණු පුද්ගලයෙකුට අනන්‍ය සාධකයක් වන හෙයින් අනන්‍යතාවය තහවුරු කිරීමටත් අපරාධකරුවන් හඳුනාගැනීමටත් මූලිකවම යොදාගනී.
    අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ඇඟිලි සළකුණු යොදාගැනීමේ ක්‍රියාවලිය 
    සිදුවූ අපරාධයකට අදාළ සැකකරුවන් අතුරින් සැබෑ අපරාධකරුවන් නිවැරදිව හඳුනා ගැනීමේදී එම අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබාගන්නා ඇඟිලි සළකුණු අනිවාර්ය සාධකයක් ලෙස යොදාගැනේ. කෙසේදයත්…
    පළමුව අපරාධයක් සිදුවූ ස්ථානයේ සුමට පෘෂ්ඨ මත තිබෙන පැහැදිලිව පෙනෙන ඇඟිලි සළකුණු ඡායාරූපගත කරගන්නා අතර අප්‍රකට ඇඟිලි සළකුණුද ෆයිබර් කෙඳි (අතීතයේදී නම් අශ්ව හෝ දඬුලේන වලිග කෙඳි) බුරුසුවක් ආධාරයෙන් සාමාන්‍ය පුයර කුඩු ඉසීමෙන් මතුකර ගැනීමෙන් හෝ තිව්‍ර කරගැනීමෙන් පසු ඒවාද ඡායාරූපගත කරගනී. නමුත් මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය අනුව යොදන පුයර වර්ගය වෙනස්වේ. එම ස්ථානයේ තිබෙන කඩදාසි හා රෙදි පරෙස්සමෙන් ඉවත්කරගෙන රසායනාගාරයට ගෙනගොස් රසායනික ප්‍රතිකාරක යොදා ගනිමින් ඒවා මතුපිට පතිතව පවතින ඇඟිලි සළකුණුද මතුකරගෙන ඒවාද ඡායාරූපගත කරගනී. කඩදාසි හෝ රෙදි මත පතිතව පවතින ඇඟිලි සළකුණු වාෂ්පශීලී විශේෂිත රසායනික ප්‍රතිකාරක දියරයක් වරක් හෝ කිහිපවරක් ඉසීමෙන් මතුකර ගැනීම හා තිව්‍ර කරගැනීම සිදුවේ. 

    දෙවනුව විශාලකර බලන අත් කාචයක් යොදාගෙන එම ඇඟිලි සළකුණු වල පිහිටා තිබෙන රේඛා, කැපුම් තුවාල කැළැල්, ගැටිති, ඉන්නන් හා කරගැට වැනි දෑ නිසා ඇතිවන සුදුපැහැති හිඩැස් විශේෂ ලක්ෂණ ලෙස හඳුනා ගනිමින් ඒවා පිළිබඳව සටහන් කර ගනී.

    තෙවනුව පහත රූපයේ පෙනෙන පරිදි සියුම් ලක්ෂණ වැඩි ප්‍රමාණයක් දැකගත හැකි ප්‍රදේශයක් හරහා රේඛාවක් ඇඳ එම රේඛාවෙන් කැපෙන වැටි, එක් දිශාවක් ඔස්සේ පිළිවෙලින් නිරීක්ෂණය කරමින් ඒ අවට පිහිටා තිබෙන විශේෂිත ලක්ෂණ 10ක් - 12ක් පමණ තුඩකින් සලකුණු කර ගනී. මෙම ලක්ෂණ කලාපීය රටවල් කිහිපයක් එකතුවෙන් ඇතිකරගත් පොදු සම්මුතියකට අනුව නම් කරන ලද ඒවාවේ.

    මේ අතරතුර විශේෂිත තීන්ත වර්ගයක් භාවිත කරමින් සැකකරුවන්ගේ දෑත්වල අත්ල මුළුමනින්මද සියළුම ඇඟිලිවල පළමුවන පුරුක වෙනවෙනමද විස්තර පත්‍රිකාවක් මතට ගෙන එයින් පිටපත් ලබාගනී.

    ඉන්පසුව අපරාධය සිදුවූ ස්ථානයෙන් මතුකර ගත් ඇඟිලි සළකුණු හා සමඟ ඒවා සසඳමින් කලින් හඳුනාගත් විශේෂිත ලක්ෂණ නිවැරදිව මතුකර ගැනීමෙන් සැබෑ අපරාධකරු හඳුනා ගන්නට උත්සාහ කරයි.

    වැටි නිරීක්ෂණය

    මා මෙම ලිපියෙන් පැහැදිළි කරන්නට උත්සාහ කළේ ඇඟිලි සළකුණු හා සම්බන්ධ මූලික සිද්ධාන්ත හා ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ යාන්ත‍්‍රණය පමණි. ඒ සඳහා යොදාගන්නා තාක්ෂණික යෙදවුම් හෝ මෙවලම් භාවිතය ගැන සඳහන් කර නොමැත. 

    තවද මෙම ලිපිය ලිවීමට සහාය දුන් මෙහිලා නම් සඳහන් කිරීමට අපහසු අපරාධ විමර්ශන අංශයේ නිලධාරී මහතුන් දෙපළටද මෙයින් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.


    පරිශීලක පිටු

    2 comments:

    1. ඊ ළඟ අපරාධය අහුවෙන්නේ නැතිව කරන්න පුළුවන්.... ඔබට ස්තුතියි :)

      ReplyDelete
      Replies
      1. ඇඟිලි සළකුණු ආධාරයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීම පැරණිතම, සරලතම, මූලිකම ක්‍රමය මිස එකම ක්‍රමය නොවෙයි බණ්ඩා මහත්මයා... :)

        Delete