Friday, September 28, 2012

පුංචි බලු පැංචී - කකුළු ගමනට ඇයි තහංචී

මැඩලින් බලු පැටවිය සහ කකුළුවා

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි 'පාව්ලෙස්' නමැති අති සුන්දර කුඩා දූපත් වෙරළ තීරයේදී කැමරාවට නැගුණු දර්ශනයක් තමයි මේ. ඩක්ස්-හුඩ් නමැති බලු වර්ගයට අයත් මේ සුරතල් බලු පැටවියගෙ නම තමයි මැඩලින්. කකුළුවාට නමක් නැතත් එම කකුළුවා අවතාර කකුළුවා නැමැති කකුළු විශේෂයට අයත් එකෙක්. ඔවුනට එම නම් ලැබී තිබෙන්නේ දහවල් නිදාගැනීම හා රාත්‍රියට ක්‍රියාකාරීවීම යන චර්යා රටාව සහ විශේෂයෙන්ම එම සතුන්ට හිමි පඬු පැහැය හේතුවෙන්.

බලු සුරතලුන්ට ආසකරන කරන අයට නම් මේ තියෙන වීඩියෝ දසුන සෑහෙන්න විනෝදාස්වාදයක් ගෙනදේවි. අනෙක් අයටත් යම් ආශ්වාදයක් නොලැබෙනම එකක් නැහැ. ඒ මොකද එම දර්ශන පෙළෙහි ඇති විනෝදාත්මක බවත්, එහි කැමරාකරණයේ තිබෙන සුවිශේෂී බවත් නිසා. නරඹලාම බලන්න එහෙනම්.

මැඩලින් බලු පැටවිය සහ කකුළුවා

සෙල්ලමට හරි කකුළුවට යන ගමන යන්න නොදී පාර අවහිර කරන එකනම් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි තමයි. ඒත් බලු පැටවිය කකුළුවාට හානියක් වෙන දෙයක් කරන්නේ නැති නිසායි මේ වීඩියෝ දසුන ඔබ හා බෙදා ගන්න හිතුවේ.

Wednesday, September 26, 2012

සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී

කළු බුට්ටී

නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙන යමක් භෞතික ලෝකයේ තවත් නැති තරම්. නමුත් ඒ තරම් සුවදායක නින්දකදී වුව අපට අත්දකින්නට සිදුවෙන භයානක මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් එහෙම නැතිවාම නොවෙයි. ඉතින්, ඒවා අතුරින් අප අතර සුලබව දක්නට ලැබෙන අපූරු අත්දැකිම් දෙකක් ගැනයි මේ කියන්න හදන්නේ. මතක්කරලා බලන්න ජිවිතේ කවදාහරි දවසක ඔබත් නින්දෙන් මෙන්න මේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවද කියලා.

1. ඔබට‍ නින්දයාගෙන එනබව දැනෙනවාත් සමඟම ඔබ නිදාගෙන සිටින ස්ථානයෙන් එක්වරම පහළට ඇදගෙන වැටෙන ස්වභාවයක් දැනී ඔබේ සිරුර ක්ෂණික තිගැස්මකට ලක්වීම.

මෙයට හේතුව ශරීරය නින්දට වැටුනද මොළය අවදියෙන් සිටීම ලෙස සැලකේ. එය මෙසේ විස්තර කළ හැකයි. ඔබ නින්දට පිවිසෙන අතරතුර ඔබේ ශරීරය සියළු බාහිර ක්‍රියාකාරකම් වලින් නිදහස්වීම සිදුවේ. මේ නිසා විශේෂයෙන්ම ශරීරයේ මාංශපේශී ඉහිල්වීමත් අත්පා නිසල වීමත් සිදුවේ. ඒ සිරුර විවේකීව තැබීමේ අවශ්‍යතාවය මතයි. නමුත් මෙම මාංශපේශී ඉහිල්වීමත් සමඟම ශරීරය ඉහිල්වීම පිළිබඳ පණිවිඩය ශරීරයෙන් මොළයට යැවීම සිදුවේ. මෙවැනි පණිවිඩ ඇතැම්විට මොළය විසින් වරදවා වටහාගැනෙන්නේ ශරීරය විසින් වැටෙන්නට යන බව ඇඟවීම සඳහා එවන ලද පණිවිඩ ලෙසයි. වහා ක්‍රියාත්මක වන මොළය, ශරීරය වැටෙන්නට නොදී තබා ගැනීමට, ශරීරයේ සමබරතාවය රැකගැනීමට අදාල පණිවිඩ අත්පාවල මාංශපේශී වෙතට යැවීම සිදු කරයි. ඒ සමඟම සිදුවන මාංශපේශී හැකිළීම නිසා දෑත් දෙපා වල ගැස්මක් ඇතිවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ නින්ද මදිකම හෙවත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මොළය විඩාවට පත්වීමයි.

2. ඔබ නින්දෙන් පිබිදුණු බව දැනුනත් ඔබේ අත්පා හෝ සිරුර සෙලවිය නොහැකි පරිදි ගල්ගැසී ඇති බවක් දැනීම

මෙවැනි අවස්ථාවක නම් ඔබ බොහෝ බියට පත්වෙනවා නොඅනුමානයි. 'ආයෙ කවදාවත්ම නැගිට ගන්න බැරිවෙයිද' කියන බියජනක සිතුවිල්ල මොහොතකට හෝ ඔබේ හිතට නැගිලා ඇති. ඔබ හැකි තාක් වෙර යොදා නැගිටගන්නට හෝ දඟලන්නට උත්සාහ කළද නැගිටගන්නට, දඟලන්නට තබා සෙලවෙන්නටවත් බැරිබව දැනෙන්නට ඇති. ඔබ හඬ නගා තදින් කෑගැසුවත් ඔබේ මුවින් කිසිදු හඬක් පිටනොවන බව දැනෙන්නට ඇති. නමුත් තවත් මිනිත්තු කිහිපයකින් නැවත ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නට ඇති.

මෙවැනි තත්ත්වයක් ඇති වන්නට හේතුව මෙසේ පැහැදිලි කළ හැකියි. වෙන් වෙන් වශයෙන් ඔබට නොදැනුණද ඔබේ නින්ද අදියර කිහිපකින් යුක්තවේ. මින් එක් අවධියකි ‘වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය (අඩ නින්ද)’. සම්පුර්ණ රාත්‍රී නින්දකදී ‘වේගවත් අක්ෂි චලන නිදි අවධි’ වාර තුනේ සිට පහ දක්වා සිදුවිය හැකියි. එනම් සම්පුර්ණ පැය අටක දිගු නින්දක් තුළ සෑම පැය එකහමාරකට හෝ දෙකකට වරක් නින්දේදී මෙම අවධියෙහි පසුවීම සිදුවේ.

එමෙන්ම අප විසින් නින්දේදී සිහින දැකීම සිදුවන්නේද මෙම වේගවත් අක්ෂි චලන නිදි අවධීන් වලදීයි. එසේ දකින සිහින වලට ප්‍රතිචාර දැක්වීමට යෑම වැළැක්වීම සඳහා මෙම නිදි අවධියේ පසුවෙන කාලය තුළ මොළය විසින් ශරීරය බෙලහීනව තබාගනී. ඒ අප ශරීරයේ ස්වාරක්ෂක ගුණය හේතු කරගෙනයි. ඒ සඳහා මොළයත් ශරීරයත් අතර සම්බන්ධතාවය අවම මට්ට්මක පවත්වාගනී. මේ නිසා මෙම නිදි අවධියට පිවිසෙන හෝ ඉන් පිටවන අවස්ථාවේ එකවරම නින්දෙන් ඇහැරුණ හොත් ඒ වනවිටත් ශරීරය පවතින්නේ බෙලහීන තත්ත්වයේ වන බැවින් අත්පා හෝ සිරුර සෙලවීමට නොහැකිව යයි. නමුත් විනාඩි කිහිපයක් ඇතුලත මොළයත් ශරීරයත් අතර සම්බන්ධතාවය යථා තත්වයට පත්වූ විගසින් නැවත ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සිදුවෙයි.

මේ සුළු කාල වේලාව තුළ ඔබේ අත්පා සෙලවීමට, කතා කිරීමට හෝ ඇස ඇරීමට නොහැකි වුවත් මුව විවර නොකර ඔබට ශබ්දය පිටකළ හැකි.යි ඒ කෙඳිරිලි හඬකින්. ඇතැම්විට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුණද මොහොතකින් එයද පහවයයි. තවද එවැනි මොහොතක ඔබට යම් යම් දේ පෙනුණද, ඇසුණද ඒ පෙනෙන හා ඇසෙන හෝ දේ සැබෑ නොවන බවත් ඔබ විසින් වටහාගතයුතුයි.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මෙන්ම රාත්‍රියට නිදි වැරීම, අවේලාවේ නිදා ගැනීම වැනි වැරදි නිදි පුරුදු නිසා ස්වභාවික වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධි රටාවට  බාධා ඇතිවීම නිසා මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබේ.

කළු බුට්ටී පැංචි තවත් කාරණයක්… මේ තියෙන පින්තූර මගේම පූසි පැංචිගෙ පින්තූර. පැංචි කියලා කිව්වට දැන්නම් ඇයට වයස අවුරුදු දෙකකටත් ළඟයි. ඒත් ඔය පින්තූර ගනිද්දී නම් ඇයට වයස මාස හයක් විතර ඇති. ඇය බොහෝවිට නිදාගන්නෙ දෙවැනි පින්තූරයේ ඉන්න විදියට උඩුබැලි අතටයි. නමුත් පළමුවැනි පින්තූරයේ ඉන්න විදියට නිදාගන්න වේලාවලුත් නැතිවාම නොවෙයි.


පරිශීලක පිටු

http://en.wikipedia.org/wiki/Hypnic_jerk
http://en.wikipedia.org/wiki/Sleep_paralysis
http://www.medterms.com/script/main/art.asp?articlekey=9806

Wednesday, September 19, 2012

අපූරු තෑග්ග

ඩැනියෙල්

'ඩැනියෙල්' කියන්නේ සාමාන්‍ය දරුවෙක්. නමුත් නොදන්නා දේ දැනගැනීමට ඔහු සතු කුතුහලයත්, අළුත් අළුත් දේ අත්හදාබැලීමට ඇති උනන්දුවත්, ආත්ම ධෛර්යයත් නිසා ඔහු සුවිශේෂයි. ඒ නිසාම රෝස්-හල්මන් තාක්‍ෂණ ආයතනයේ එක්තරා ව්‍යාපෘතියකට සහය දැක්වීමට ඔහු ඉදිරිපත් වුණා. ව්‍යාපෘතියට ඩැනියෙල් හා සම්බන්ධ වුණේ 'මාර්ක් කාල්හෝන්' සහ 'ජෙකෝබ් ප්‍රයිස්' යන ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුන් දෙදෙනා. ඔවුන්ගේ අරමුණ වුණේ ඩැනියෙල්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වඩා පහසු කරවන 'උපකාරක අතක්' නිපදවීම. මෙහි විශේෂත්වය වුණේ නිපදවන්නට යන උපකාරක අත තමන්ට රිසි පරිදි සැලසුම් කරගැනීමට ඩැනියෙල් ලද අවස්ථාව.

දැන් ඉතින් තවතවත් අළුත් අළුත් දේ සොයාබලන්නට වගේම එදිනෙදා ජීවිතේ සාමාන්‍ය වැඩකටයුතු ඉතා හොඳින් කරගෙනයන්නටත් ඩැනියෙල් ලද මේ 'උපකාරක අත' ඔහුට බොහෝ පහසුවක් වනු ඒකාන්තයි. අන්න ඒ නිසායි මේ උපකාරක අත ඔහුට ලැබුණු අපූරු තෑග්ගක් වෙන්නේ.