Tuesday, January 1, 2013

දින තිහේ අභියෝගය

දින තිහේ අභියෝගය

සිරිතක් වශයෙන් හැසිරෙන්නට හෝ විරිතක් වශයෙන් වැළකෙන්නට දින තිහක අභියෝගයකට ඔබ සූදානම්ද ?

කළයුත්තේ නොකඩවා දින තිහක් පුරාවට යමක් කිරීම හෝ නොකිරීමයි.

අපි දැන් බලමු කරන්නට හෝ නොකරන්නට යමක් තෝරාගන්නෙ කොහොමද කියන එක.

ඔබේ අදහස යමක් කරන්නට නම්...

1. විනෝදාස්වාදය ගෙනදෙන අළුත් යමක් කිරීම

මේ සඳහා ඔබ එදිනෙදා යෙදෙන සාමාන්‍ය දෛනික වැඩකටයුතුවලට වලට වඩා වෙනස් නමුත් එම දෛනික වැඩකටයුතුවල නිරතවෙන අතරතුරදීම ඒ සඳහා ගතකරන කාලයෙන්ම ඉතා සුළු කාලවේලාවක් වෙන්කරගෙන ඔබේ සාමාන්‍ය වැඩකටයුතුවලට බාදාවක් නොවන අයුරින් කළහැකි යමක් තෝරාගැනීම සුදුසුයි.

ඒ කියන්නෙ කරන්නට කාලයක් තිස්සේ බොහොම ආසාවෙන් හා බලාපොරොත්තුවෙන් පසුවුණු නමුත් පටන්ගන්නට තරම් තදින් බලපාන හේතුවක් නොතිබුණු නිසාවෙන් හෝ අළුත් යමක් කරන්නට ස්වභාවයෙන්ම සිතේ හටගන්නා කම්මැලිකම නිසාවෙන් තවම කරන්නට නොහැකිවුණු නැතිනම් ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් හෝ ප්‍රමාණවත් කාලවේලාවක් නොලද දෙයක් තෝරාගැනීම වඩා ඵලදායකයි. මුලදී මෙය අභියෝගයක් ලෙස දැනුනත් දින කිහිපයක් ගතවෙද්දී මෙය ඔබේ ප්‍රියතම විනෝදාංශය බවට පත්වෙනු නොඅනුමානයි. අනෙක මේ වෙනුවෙන් එක් දිනකට වැයකළයුතුව ඇති කාලය මොනතරම් සුළු වුවත් එම පුංචි කාලවේලාව ඔබට‍ කවමදාවත් අමතක වෙන එකක් නැහැ. මොකද ඒ පුංචි වෙලාව ගතකරන්නේ මනා සිහියෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් හා විනෝදයෙන් වන නිසා.

නිදසුනක් හැටියට ඔබට‍ ඔබේ දින තිහේ අභියෝගය ලෙස දිනකට විනාඩි 15 බැගින් නොකඩවා දින තිහක් පුරාවට ගිටාරයක් වැයීමට පුරුදු වීම කළ හැකියි. දින තිහක් අවසානයේ ඔබ හොඳ වාද්‍ය ශිල්පියෙකු බවට‍ නම් පත්නොවේවි. නමුත් ඒ වෙනුවෙන් ගත කළ දින තිහ නම් ඔබට අමතක වෙන එකක් නැහැ. ආරම්භය ඉතාමත් අපහසු වුණත් (විශේෂයෙන්ම ගිටාරයේ කම්බි ඇල්ලීම මුල්දින කිහිපයේ ඉතාමත් වේදනාකාරී වන නිසා) ඇතැම්විට ගිටාරය වැයීමට උත්සහ කිරීමේදී එයින් ඔබේ සිතට ගෙනදෙන සතුට නිසා ගිටාරය වැයීම ඔබේ සාමාන්‍ය දිනචරියාවේම අංගයක් බවට‍ පත්වෙන්නට පවා ඉඩකඩ තිබෙනවා. ඇතැම්විට කාලයත් සමඟ ඔබ ඉතා දක්ෂ ලෝපතල වාදන ශිල්පියෙකු බවට‍ පත්වෙන්නට පවා බැරිකමක් නැහැ. තවද…

  • ඔබේ ජංගම දුරකථනයෙන් දිනපතා අහම්බෙන් දකින සිත්ගන්නාසුළු දසුනක් ඡායාරූපයට නැගීම
  • ඡායාරූපකරණය ගැන සුළුවෙන් හැදෑරීම සහ එම සංකල්පවලට අදාල ඡායාරූපයක් ගැනීම.

යනාදියද කළහැකියි  

2. අළුත් හොඳ පුරුද්දක් ඇතිකරගැනීම

ඔබට‍ පුළුවනි ඔබේ ජීවිතයට අළුතින් එකතුකරගත හැකි හොඳ පුරුද්දක් අළුතින්ම පටන්ගෙන දින තිහක් පුරාවට දිගටම පුරුදු පුහුණු කරගෙන යන්න.

උදාහරණයක් ලෙස, ඔබේ දින තිහේ අභියෝගය හැටියට ඔබට පුළුවනි ‘දිනකට අවම වශයෙන් වතුර ලීටර හතරක්වත් පානය කිරීම’ වැනි යහපත් පුරුද්දක් තෝරාගන්න. ඒ මොකද බොහෝ දෙනෙක් ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් අනතුරුව වතුර පානය කිරීම හැරුණුවිට දවස පුරා විටින්විට ජලය පානය කිරීමක් කරන්නෙ නැහැ. නමුත් මනා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගතකිරීමට නම් දිනකට අවම වශයෙන් වතුර ලීටර හතරක්වත් පානය කිරීම කළයුතුයි. පළමුවෙනි දවසේ නම් වතුර ලීටර හතරක්ම පානය කිරීම යම්තරමක් අපහසු බව දැනේවි. එනමුත් ටික දවසකින්ම එය සාමාන්‍ය දෙයක් බවට‍ පත්වේවි. දින තිහ නම් ඔබට‍ නොදැනුවත්වම ගතවෙලා යාවි. නමුත් දිනකට වතුර ලීටර් හතරක් පානය කිරීම නම් නොකරම් බැරි පුරුද්දක් බවට‍ පත්වේවි. බලන්න එහි කොපමණ වටිනාකමක් තිබෙනවාද යන්න. එමෙන්ම යහපත් පුරුද්දක් ඇතිකර ගන්න මේ ක්‍රමය මොනතරම් පහසුවක් ගෙනදෙනවද කියන කාරණය.

පහළින් දැක්වෙනුයේ ඔබට දින තිහේ අභියෝගය ලෙස භාරගත හැකි මෙවැනි යහපත් පුරුදු කිහිපයකි.

  • දිනපතා නෑම පුරුද්දක් කරගෙන නැතිනම් එය අනිවාර්ය දෛනික පුරුද්දක් බවට‍ පත්කරගැනීම
  • නියමිත වේලාවට උදෑසන ආහාරය ගැනීමේ පුරුද්දක් ඇතිකර ගැනීම.
  • ප්‍රධාන ආහාර වේලකට පැය භාගයකට පමණ පෙර වතුර වීදුරුවක් පානය කිරීමට පුරුද්දක් ඇතිකර ගැනීම.
  • දෛනික ආහාර වේලට අනිවාර්යයෙන්ම කොළ වර්ගයක් එක්කර ගැනීම
  • සීනි රහිත හෝ අඩු සීනි කිරි තේ, කිරි කෝපි, තේ හෝ කෝපි පානය
  • දිනකට වරක්වත් අනිවාර්යයෙන්ම කිසියම් පළතුරක් අනුභවය
  • රාත්‍රියට බත් හැන්දක් අඩුවෙන් බෙදාගෙන කෑම
  • නිවසට ආසන්නතම බස නැවතුමට පෙර තිබෙන බස් නැවතුමෙන් බැස පයින් නිවස කරා ඇවිදගෙන යෑම.

ඔබේ අදහස යමක් නොකරන්නට නම්…

නතරකළයුතු බව දැන සිටියත් නතරකර ගැනීමට තරම් දැඩි හේතුසහගත බලපෑමක් මෙතෙක් නොතිබුණු නිසාවෙන් නතරකර ගැනීමට තවම හැකියාවක් නොලැබුණු ඔබේ ජීවිතයට කිසිදු යහපතක් ගෙන නොදෙන ඵලරහිත වැරදි පුරුද්දක් නතර කරගන්නට උපකාරී කරගතහැකි ඉතාමත් හොඳ අවස්ථාවක් බවට දින තිහේ අභියෝගය පත්කරගතහැකියි.

උදාහරණයක් හැටියට කිසිම තේරුමක් නැතිව ටොෆී, චොකලට් වැනි රසකැවිලි කන්න පුරුදු වුන කෙනෙකුට එම පුරුද්ද අතහැර ගැනීමට මෙම ක්‍රමය උපකාරී කරගත හැකියි. තවද ...

  • ටෙලිනාට්‍ය නැරඹීමෙන් වැලකී සිටීම
  • දින තිහක් පුරාවට අනවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමෙන් වැලකී සිටීම
  • දිනපතා මස් මාංශ අනුභවය පුරුද්දක් කරගෙන සිටින අයෙකුට දින තිහක් මස් මාංශ අනුභවයෙන් වැලකී සිටීම … වැනි දේවල් කළ හැකියි.

අනෙක් වැදගත්ම කාරණය දින තිහක කාලයක් මේ සඳහා ප්‍රමාණවත්ද කියන එක. මගේ අදහස නම් එය ඇත්තෙන්ම ප්‍රමාණවත් කාලයක් කියන එකයි. ඒ මොකද අළුත් හොඳ පුරුද්දක් ඇතිකරගන්නට හෝ දැනට තියෙන වැරදි පුරුද්දක් අත්හැරගන්න දින තිහක කාලයක් හොඳටම ප්‍රමාණවත්. දින තිහේ අභියෝගය භාරගත්තහම ඒ බැව් ඔබට‍ම වැටහේවි.

තවද මෙය මාසයකට එක් අභියෝගය බැගින් අවුරුද්දක් පුරාවට අත්හදාබැලීමට පුළුවන් උදාහරණයක් හැටියට

ජනවාරි - සීනි රහිත හෝ අඩු සීනි කිරි තේ, කිරි කෝපි, තේ හෝ කෝපි පානය
පෙබ්‍රවාරි - ටෙලිනාට්‍ය නැරඹීමෙන් වැලකී සිටීම.
මාර්තු - …......

මේ අළුත් අත්දැකීමට දින තිහක් අනිවාර්ය නොවුනත් දින තිහකට ආසන්න  දින ගණනක් බොහොම ප්‍රමාණවත්. අවුරුද්දකට පස්සේ ආයෙම හැරිලා බැලුවහම අළුත් අත්දැකීම් 12 ක්.

අද 2013 ජනවාරි පළමුවැනිදා. මම හිතන්නෙ අද තමයි මේ ලිපිය පළකරන්න හොඳම දවස. මොකද අදින් අළුත් අවුරුද්දක්, අළුත් මාසයක් ආරම්භවෙන නිසා මේක කියවන ඔයාලට පුළුවනි අදම ඔබේ දින තිහේ අභියෝගය භාර අරගන්න.

ඒ කියන්නේ අදින් දින තිහකට පස්සේ එනම් ජනවාරි මාසය අවසානයේ ඔබටම දැකගතහැකියි ඔබ ඔබේ දින තිහේ අභියෝගය ජයගත් අන්දම.

මමත් මගේ දින තිහේ අභියෝගය අදම භාරගන්නයි ඉන්නෙ. ඔබත් අදම ඔබේ දින තිහේ අභියෝගය භාර අරගෙනම බලන්න එහෙනම් එයින් ලැබෙන විනෝදාස්වාදය කොපමණද යන වග.

පහළින් දැක්වෙනුයේ ගූගල් ආයතනයේ වෙබ්ස්පෑම් අංශ ප්‍රධානී ‘මැට් කට්ස්’ මහතා විසින් ටෙඩ් කතාවක් ලෙස ‘දින තිහේ අභියෝගය’ සම්බන්ධයෙන් කරනලද අගනා කෙටි කතාවයි.

‘මැට් කට්ස්’ මහතා විසින් ටෙඩ් කතාවක් ලෙස ‘දින තිහේ අභියෝගය’ ගැන කතා කරමින්…

ඔබේ සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන නැණ නුවණ දියුණුවෙන් දියුණුවට පත්වෙන සුබම සුබ දෙදහස් දහතුන නව වසරක් වේවා !