Tuesday, December 18, 2012

පුංචි සුරංගනාවී - විය සුරතල් සිනහවී

ඉසබෙලා නැටලිනි

පුංචි දරුවෝ හරියට පුංචි සුරංගනාවෝ වගෙයි. ලස්සනයි, අහිංසකයි, අව්‍යාජයි… ඒ වගේම ඒ අයගෙන් කාටවත් කිසිම කරදරයක් හිරිහැරයක් නැහැ. ඒ අය කියන කරන දේවල් බලාගෙන ඉන්න ආසයි. අන්න ඒ නිසාමයි ඒ වගේ ලස්ස්න පුංචි සුරංගනාවක් ඉන්න මේ රසවත් වීඩියෝ දසුන ඔබත් එක්ක බෙදාහදාගන්න හිතුවේ.

මේ වීඩියෝවේ පෙනී සිටින පුංචි සුරතල් දුවණිය තුන් හැවිරිදි ‘ඉසබෙලා නැටලිනි’. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා රෝසාහි සිට සුප්‍රසිද්ධ ඇලන් ඩිජෙනරස් වැඩසටහනට ආරාධිතව පැමිණි ඇය විසින් මේ ගායනා කෙරෙනු ලැබෙන්නේ කුඩා දරුවන්ට ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහේ නම් මතකතබා ගැනීමේ පහසුව සඳහා නිර්මිත ගීතයකි.

තුන් හැවිරිදි පුංචි ඉසබෙලා ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහේ නම් අකාරාදී පිළිවෙලින් ලියැවී තිබෙන ගීතය ගයනා කරමින්

Wednesday, December 12, 2012

එක් දවසකි - තුන් දොළසකි

දෙදහස් දොළහ වසරේ දොළොස්වැනි මාසේ දොළොස්වැනිදා

  1. 12 සංඛ්‍යාවකි.
  2. ඔරලෝසුවේ අංක 12 කි, වරුවකට පැය 12 කි.
  3. අවුරුද්දකට මාස 12 කි.
  4. අඩියකට අඟල් 12 කි.
  5. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි.
  6. දුසිමකට අයත්වන්නේ අංග 12 කි.
  7. රාශි හා ලග්න 12 කි.
  8. මැග්නීසියම්වල පරමාණුක ක්‍රමාංකයද කාබන්වල ස්කන්ධ ක්‍රමාංකයද 12 යි.
  9. මොළයේ කපාල ස්නායු ගණන 12 කි.
  10. සඳ මත පා තැබූ පුද්ගලයන් ගණන 12 කි.
  11. සංගීතයේ මූලික ස්වර ගණන 12 කි.
  12. ඉලක්කමක් හෝ සංඛ්‍යාවක් වශයෙන් පිළිවෙලින් දිනය මාසය අවුරුද්ද වශයෙන් පුනරාවර්තන වියහැකි විශාලතම සංඛ්‍යාව 12 යි. අද දිනයද එවැනි සුවිශේෂී දිනයකි 12-12-12 (12/12/12). මෙලෙස දිනය මාසය අවුරුද්ද පුනරාවර්තනය වන දිනයක් නැවත උදාවන්නේ තව අවුරුදු 88 කුත් දවස් 20 කිනි ඒ 2101/01/01 => 01-01-01. එබැවින් මෙවැනි පුනරාවර්තී දිනයක් අපේ ජීවිත කාලය තුළ අත්දැකිය හැකි අවසන් අවස්ථාව මෙය වියහැකි නොවේද ?

Friday, December 7, 2012

අහසට නැගිලා ගිය ඉගිලී - කෝච්චි පුංචා ‘ස්ටැන්ලී’

ජේඩන් සහ ස්ටැන්ලි

මේ පින්තූරයේ ඉන්න පුංචි පුතුගෙ නම ‘ජේඩන්’. ඔහු සිව් හැවිරිදි දරුවෙක්. ඔහු එක්ක ඉන්න සෙල්ලම් කෝච්චි පුංචා ‘ස්ටැන්ලි’. ඔහු ජේඩන්ගෙ හොඳම යහළුවා වුණේ ජේඩන්ට වයස අවුරුදු දෙකේදී ඉඳන් [v]. ඉතින් එදා ඉඳන් මේ දෙන්න කෑවේ බිව්වේ නෑවේ නිදාගත්තේ සෙල්ලමක් පාඩමක් කළේ ඒ විතරද ගමන් බිමන් ගියේත් එකටමයි. ඒත් එක දවසක්, ස්ටන්ලිට අහසට ගිහින් එන්න අගනා අවස්ථාවක් ලබා දෙන්න පුංචි ජේඩනුත් ඔහුගේ පියාත් තීරණය කළා. මෙන්න මේ විදිහට අහසට යන්න ලැබුණු ඒ ගමන නිසා තමයි ඒ පුංචි සෙල්ලම් කෝච්චි පුංචා ස්ටැන්ලි ‘අහසට නැගි සෙල්ලම් කෝච්චි පුංචා’ හැටියට ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වුණේ. ඉතින් මේ තියෙන්නෙ ඔහු අහසට ගිහින් ආපු ලස්සන ගමන ගැන කියැවෙන අපූරු කතාන්දරය.

සෙල්ලම් කෝච්චි පුංචා අහසට ගිය ගමන

බලන්න පුංචි ජේඩන්ගෙ සුරතල් මුහුණෙන් කියැවෙන සතුටක තරම.

ස්ටැන්ලිව හැරුනහම ජේඩන්ගෙ පියා වන රොන් ෆියුගල්සෙත් මේ ගමනට පිටත්කරලා හැරියේ බැලුනයක්, ඉහළ විශදතාවයකින් යුතු (HD) කැමරාවක් සහ ජී පී එස් ග්‍රාහකයක් සහිත පැරණි ජංගම දුරකථනයක් යනාදිය පමණි.

මේ අතර බැලුනය ගුවන්ගත කිරීමෙන් අනතුරුව එය පුපුරා යෑමට ප්‍රථම පොළොවට සැතපුම් දහඅටක් ඉහළ අහසේ පියාසර කරමින් සිටි බවයි පසුව හෙළිවුණේ. තවද බැලුනය පිපිරීමෙන් අනතුරුව නැවත පොළොවට පතිතවුණු කෝච්චි පුංචාව ජේඩන් විසින් නැවත සොයාගනු ලැබුවේ බැලුනය දියත්කළ ස්ථානයෙන් සැතපුම් විසිහතක් පමණ ඈතින් තිරිඟු යායක වැටී සිටියෙදීයි.

විවිධ අවස්ථාවන්හිදී ස්ටැන්ලි කෝච්චි පුංචාගේ මුවඟට නැගෙන සිනහව හා මුහුණේ ප්‍රකාශිත අනෙකුත් හැඟීම් පසු උපායයන් ඇසුරෙන් නිර්මාණය කරනලද ඒවා වන අතර එසේ ඔහුට ජීවමාන බවක් එක්කර දුන් ජේඩන්ගේ පියා එයට හේතුව ලෙස දක්වන්නේ තම පුතුට ස්ටැන්ලිව පෙනෙන ආකාරය බවට‍ ඔහු සිතන විදිය පෙන්වීමට ගත් උත්සාහයක් හැටියටයි. කෙසේනමුත් පුංචි ජේඩන් ලද මෙම අපූරු ආශ්වාදජනක අත්දැකීම නැරඹීමෙන් ඔබටත් විනෝදාස්වාදයක් ලැබෙන්නට ඇති බැව් නම් නොඅනුමානයි.

Friday, November 30, 2012

නිසි කළ නිසි තැන නිදියන්නේ - ගත සවි සිත සවි රැකගන්නේ

නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක තෙවැන්න

සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක්

දිනපතා ශාරීරික ව්‍යායාම්වල නිරතවීම1. ශාරීරික ව්‍යායාම් : දිනපතා ශාරීරික ව්‍යායාම්වල නිරතවීම සුවදායක මෙන්ම පරිපූර්ණවූ නින්දකට මඟපාදයි. දිවා කාලයේදී ව්‍යායාමවලට ලක්කිරීම මඟින් ශරීරය වෙහෙසවන බැවින් මොළය විසින් රාත්‍රියේදී ඉක්මනින්ම නින්දට පෙළඹීමක් ඇති කරයි. තවද ශාරීරික ව්‍යායාම්වලන් සිදුවන ශරීරයේ මාංශපේශී ඉහිල්වීම නිසා දැනෙන සැහැල්ලුව වඩා ඉක්මන්, වඩා සුවදායක නින්දක් ගෙනදෙයි.

කැෆේන් පිළිබඳ සැළකිලිමත්වීම2. කැෆේන් පිළිබඳ සැළකිලිමත්වීම : අප ගන්නා ඇතැම් ආහාරපානවල කැෆේන් විවිධ ප්‍රමාණවලින් අඩංගු වේ. එසේ විවිධ ආහාරපාන මඟින් ශරීරගත වන කැෆේන් ශරීරය තුළ අවම වශයෙන් තුනේ සිට පහ දක්වා කාලයක් ඉතිරිව තිබෙන බැවින් නින්දට පැය අටකටවත් පෙර තේ කෝපි සෝඩා, කෝලා, චොකලට් වැනි කැෆේන් අඩංගු පාන ගැනීම නතරකළයුතුය. කැෆේන් මඟින් නිදිමත ඇතිවීමට හේතුවන ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක අවහිර කරන බැවින් නිදිමත ඇතිවීමට භාදා කරයි. ඇඩෙනොසින් යනු මොළයේ අධි උත්තේජන ඇතිවීම වළක්වන ස්නායුසම්ප්‍රේෂක රසායනික ද්‍රව්‍යයයකි. අවහිරවුණු ප්‍රතිග්‍රාහක ඇඩෙනොසින් වලට ප්‍රතිචාර නොදක්වන නිසා ස්නායු සෛල අධි උත්තේජයනයවීම වැළක්වීමක් සිදුනොවේ. නිදිමත ඇතිවීමට නම් මොළය අධි උත්තේජයනයට ලක්වීම වැළක්වීම සිදුවිය යුතුය.

එකම වෙලාවක් පුරුදු කරගැනීම3. වැදගත්ම නිදි පුරුදු දෙකකි : නින්දට යෑම සඳහා මෙන්ම නින්දෙන් පිබිදීම සඳහාද එකම වෙලාවක් පුරුදු කරගන්න. සති අන්තයේදී පවා මෙම වේලාවන් නඩත්තු කරන්නට වගබලාගන්න. එය නින්දට පිවිසීමටත් නින්දෙන් පිබිදීමටත් පහසුවක් ඇතිකරයි. එමෙන්ම නින්දෙන් පිබිදීම සඳහා හොරා ඇඟවීමක් (එලාමයක්) භාවිත කරන්නේ නම් එහි හඬ ක්‍රමයෙන් වැඩිවන අන්දමට සකස්කිරීම ප්‍රබෝධමත් පිබිදීමකට ඉඩකඩ සලසනු ඇත. මක්නිසාදයත් නින්දෙන් එක්වරම පිබිදීමට සිදුවීම තරමක් තරහ උපදවනසුළු බැවිනි.

කාර්යබහුලකම බාදාවක් කර නොගැනීම4. කාර්යබහුලකම බාදාවක් කර නොගැනීම : නිදිමත ඇතිවන තුරුම දෛනික ක්‍රියාකාරකම්වල නිරතවීම නොකළ යුතුය. නින්දට යාමට පැය කිහිපයකටවත් පෙර දෛනික වැඩ කටයුතු අවසන්කිරීම සහ විවේකයෙන් පසුවීම මඟින්ද සුවපහසු නින්දක් ලැබේ. විශේෂයෙන්ම නින්දට යන්නට සුදානම් වන මොහොත දක්වාම අත්‍යාවශ්‍ය කර්තව්‍යයන් සඳහා කාර්යබහුල නොවන්නා සේම වීඩියෝ ක්‍රීඩාවල යෙදීම, චිත්‍රපට නැරඹීම, කතා පොත් කියවීම වැනි ඔබ ඉතා ආසාකරන ඔබට‍ වින්දනයක් ලබාදෙන දේවල්වල ඇබ්බැහි නොවී සිටීමට වගබලාගන්න.

රාත්‍රී ආහාරය ගැන සැළකිලිමත් වීම5. රාත්‍රී ආහාරය ගැන සැළකිලිමත් වීම : රාත්‍රී ආහාරය පිළිබඳව සැළකිලිමත්වීම මඟින්ද සුවදායක නින්දක් ළඟාකරගත හැක. එනම් රාත්‍රියට ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීම මෙන්ම එය සැහැල්ලු ආහාරයකින් ( පාන්, ආප්ප, ඉඳිආප්ප, රොටී සහ සුප් වැනි ) සමන්විතවීම වඩා සුදුසුයි. ප්‍රධාන ආහාර වේලට පසුව හා අමතරව කෙසෙල් ගෙඩියක්, ගස්ලබු තීරුවක් වැනි පළතුරක් ගැනීමෙන් ජීරණය පහසුවන හා ඉක්මන්වන අතර අඩුමතරමින් නින්දට පැය දෙක තුනකටවත් කලින් රාත්‍රී ආහාරය ගැනීමෙන් ජීරණයට ප්‍රමාණවත් කාලවේලාවක් ලැබේ. එවිට නින්ද අතරතුරදී ආහාර ජීරණ පද්ධතිය විවේකීව තිබෙන බැවින් ජීරණයට ශරීර ශක්තිය වැයවීම අවමවීම මෙන්ම ශරීරය වෙහෙසවීම සිදුනොවේ. මෙයින් නින්ද අතරතුර ශරීරයට අවශ්‍ය කරන විවේකයද නිසිපරිදි ලැබේ.

ප්‍රමාණය ඉක්මවා පානය නොකිරීම6. ප්‍රමාණය ඉක්මවා පානය නොකිරීම : රාත්‍රී නින්දට ආසන්නව (පැය දෙකක් පමණ ඉතිරිව තිබියෙදී) ප්‍රමාණය ඉක්මවා ජලය හෝ වෙනත් පාන වර්ග පානය කිරීමෙන් වැලකීම කළයුතුය. එමඟින් උදරයට අපහසුවක් නොවන අයුරින් ඕනෑම පහසු ඉරියව්වකට නින්දට යාමට පහසුවක් ඇති කරන අතර විටින්විට නින්දෙන් ඇහැරී කැසිකිළි යාමට අවශ්‍යතාවය ඇතිවීම සිදුනොවේ.

නින්දට පෙළඹවීමක් ඇතිකරන අහරක්7. නින්දට පෙළඹවීමක් ඇතිකරන අහරක් : නින්දට පිවිසීමට ආසන්නව විස්කෝතුවක්, පොප්කෝන් හෝ ධාන්‍යමය රසකැවිල්ලක් වැනි කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු සුළු ආහාරයක් ගැනීම මඟින් ශරීරයේ නින්ද හටගන්වන හෝමෝන මට්ටම ඉහළ නැංවීම ඉක්මණින් නින්ද ළඟාවීමට හේතුවේ.

යහපත් නිදි පුරුදු8. යහපත් නිදි පුරුදු : නින්ද රාත්‍රී කාලයේදී නින්ද ලඟාකරගැනීම සඳහා පිළිවෙතක් වශයෙන් කියවීම හා භාවනා කිරීම ඵලදායක වුවද මානසික ඒකාග්‍රතාවය අරමුණු කරගනිමින් භාවනාවෙහි නිරතවන අය විසින් නින්ද ලංවීම පතා භාවනා නොකළ යුතුය. එවැනිඅයට භාවනා කරනවිට නිදිමත ඇතිවීම පුරුද්දට යාම නිසා භාවනාවෙන් නිසි ඵල ලබාගැනීමට නොහැකිව යයි. තවද අධ්‍යාපනය කටයුතුවල නිරත වන කෙනෙක් නම් කිසිවිටෙකත් ඇඳ මත වැතිර පොත් කියැවීමෙන් වැළකිය යුතුයි. ඒ පාඩම් කරන විට නින්ද යෑම පුරුද්දට යාහැකි බැවිනි.

නින්දට පෙර පිරිසිදුවීම9. නින්දට පෙර දත කට මැදීම හා ඇඟපත සේදීම : නින්දට පැයකට පමණ පෙර මද උණුසුම් වතුරෙන් දිය නෑම හෝ ඇඟ සේදීම පුරුද්දක් කරගැනීම වටී. ඉන් ශරීරයට ලැබෙන සිසිලස හා විඩා නිවන සුවය ඉක්මණින් හා පහසුවෙන් නින්ද ළඟාකරදෙයි. නමුත් නින්දට පෙර හිස සහ හිසකෙස් හොඳින් වියලා ගැනීම අනිවාර්යයි. තවද නින්දට පෙර දත් මැද පිරිසිදු වීම නැවුම් බවක් ගෙනදෙන අතරම දත් දිරායාම හා වෙනත් මුඛ රෝග ඇතිවීමෙන් ඔබව ආරක්ෂා කරයි.

සුවපහසු සයනයක වාසිසහගත බව10. සුවපහසු සයනයක වාසිසහගත බව : සුවපහසු කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි හා පොරෝනා භාවිතය ඉක්මනින් නින්ද ළඟාකරදෙන අතර සැනසිලිදායක නින්දක් උරුමකර දෙයි.මේ අතරම නිතර සෝදා පිරිසිදුකරගත් නැවුම් ඇඳ ඇතිරිලි, කොට්ට උර, පොරෝනා භාවිතයද ඉතා වැදගත්කමක් දරයි. එමඟින් ඇඟ කැසීම, සම මත පලු හෝ බිබිලි ඇතිවීම හා වෙනත් සම් රෝග හට ගැනීම වැළකේ.

නිදන ඇඳුමින් අත්වන සුවපහසුව11. නිදන ඇඳුමින් අත්වන සුවපහසුව : නිදි ඇඳුම් ලෙස ඉතාමත් සුවපහසු කපු මිශ්‍ර සිනිදු ඇදෙනසුළු ලිහිල් ඇඳුම් භාවිතයද ඉතා වැදගත්වේ. එමඟින් පහසු ඉරියව්වකින් නින්දට යෑමට පහසුවක් වන අතර නින්ද අතරතුරදීද විවිධ ඉරියව්වලට සකස්වීමටද පහසුවක්වේ. තවද කපු මිශ්‍ර ඇඳුම් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑමට හේතු නොවන නිසා දහඩිය දැමීම අවම වේ. සිනිදු ඇඳුම් නිසා නින්දෙන් දැඟලීම හේතුවෙන් නොදැනුවත්වම සම මත ඇතිවියහැකි සීරීම් තුවාල ඇතිවීම වළකයි.

නින්දට උචිත වටපිටාවක වටිනාකම

12. නින්දට උචිත වටපිටාවක වටිනාකම :
විවිධ ශබ්ද හා ආලෝකය ඔබේ සුවබර නින්දට භාදා ඇති කරන බැවින් නිහඬ, නිස්කලංක, අඳුරු ස්ථානයක් ඔබේ නිදන කාමරය ලෙස තෝරාගන්නට වගබලාගන්න. නැතිනම් තද පැහැති ඝන දොර ජනෙල් රෙදි යොදා කාමරය අඳුරු කරගන්න උත්සාහ කරන්න. එසේත් නොමැතිනම් ඇස් හා කණ් ආවරණ භාවිතයට හුරුවන්න.

නිදන කාමරයේ සිසිලස13. නිදන කාමරයේ සිසිලස : නිදන කාමරය සිසිලසකින් යුතුවීම සුවබර නින්දකට මඟපාදයි. හැකිනම් රාත්‍රී කාලයට නිදන කාමරයේ ජනේල මදක් විවරකර තබන්න. එමඟින් සිහිල් සුළඟ මඟින් ස්වාභාවිකව කාමරයේ සිසිලස රඳවාගන්නට හැකියාව ලැබෙනු ඇත. විදුලි පංකාවක් භාවිත කරන්නේ නම් අවම අගයකට හැකිතාක් දුරින් තබන්න. වතුර පිරි බේසමක් ඒ ඉදිරියෙන් තබන්නත් අමතක කරන්නට එපා. වායුසමන යන්ත්‍රයක් භාවිත කරන්නේ නම් කෙලින්ම සිරුරට නොවදින තැනෙක මද සිසිලසක් ගෙනෙන අගයකට සකස්කර තබන්න. සෙම්රෝග ඇති අය මෙවැනි දේ කිරීමේදී තම ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත් වියයුතුයි.

නිදිමරුවා හෙවත් රූපවාහිනී යන්ත්‍රය14. නිදිමරුවා හෙවත් රූපවාහිනී යන්ත්‍රය : නින්ද සඳහා ඉතාමත් යෝග්‍ය වටපිටාවක් ඇතිකර ගැනීමට හොඳම දේ රූපවාහිනිය නිදන කාමරයෙන් ඉවත් කිරීමයි. එයින් නැගෙන අඩ අඳුරු ආලෝකය ඇසට හා මනසට විඩාවක් ගෙනදෙන අතරම රූපවාහිනිය ඔබව අවදියෙන් ඇදබැඳ තබාගන්නකි. තවද රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබියෙදී නින්ද යෑම සිදුවනවා නම් එයින් එන ආලෝකය හා ශබ්දය නිසා හොඳින් නින්ද යෑම සිදු නොවන අතරම වර්ණ රූපවාහිනී යන්ත්‍රවල ශක්ති පරිභෝජනය ඉහළ බැවින් විදුලි ගාස්තුව ඉහළ යෑමට මෙන්ම රූපවාහිනියේ ආයුකාලය අඩුවීමටද හේතුවේ.

නිදන කාමරයට හිමිතැන දීම15. නිදන කාමරයට හිමිතැන දීම :
නිදන කාමරය හැදෑරීමේ කාමරය නොවන බව මතක තබාගන්න. ලැප්ටොප් යන්ත්‍ර, පාඩම් පොත් නිදන ඇඳට නොගන්න වගබලාගන්න. නිදන කාමරය නින්ද සහ පවුල් ජීවිතයේ යහපැවැත්ම උදෙසා පමණක් යොදාගන්නට වගබලාගන්න.

ඔබටත් ඔබේ සුරතලාටත් සුව නින්දක්16. ඔබටත් ඔබේ සුරතලාටත් සුව නින්දක් : ඔබ කෙතරම් ආදරය කළත් ඔබේ පූස් සුරතලාට හෝ බලු සුරතලාට ඔබේ ඇඳ අසලම වෙනම තැනෙක නිදිය ගැනීමට සලස්වන්න. ලෝම සහිත සුරතල් සතුන් ළඟ තබා ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවියහැකි අතරම ඔවුන් දඟලන ඇහැරෙන වාරයක් ගානේ ඔබේ නින්දට බාදාවක් ඇතිවියහැක. තවද ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයක් වියහැකි අතරම ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිතන්නට යෑමෙන් ඔබටද පහසු ඉරියව්වකට නිදා ගැනීමට ඇති අවස්ථාව ගිලිහී යාම සිදුවේ.

ළදරුවන්ගේ ආරක්ෂාවට17. ළදරුවන්ගේ ආරක්ෂාවට : ළදරුවන්… විශේෂයෙන්ම අළුත උපන් දරුවන් ළඟ තබාගෙන නින්දටයාම භයානක වන්නේ දරුවන්ට අනතුරු සිදුවියහැකි බැවිනි. ඔබට හැකිතාක් සමීප ස්ථානයක තොටිල්ලක් මත දරුවන් නිදිකර තබන්න. ඔබේ සෙලවීම්, හැරීම් පෙරලීම් හා ඉරියව් වෙනස්කිරීම් වලින් දරුවාගේ නින්දට භාදාවක් නොවන අයුරින් නිදා ගැනීමේ හැකියාවද මෙයින් ඔබට‍ අත්වෙනු ඇත. තවද හැරෙන පෙරළෙන වයසේ දරුවෙකුට තොටිල්ලේ ආරක්‍ෂිත වැට ඇඳට වඩා වැඩි ආරක්ෂාවක් සලසයි.

නින්දෙන් ගෙරවීම මගහරවා ගැනීම18. නින්දෙන් ගෙරවීම මගහරවා ගැනීම : උඩුබැලි අතට නොනිදා වම් හෝ දකුණු ඇලයට හැරී නිදිය ගැනීමට පුරුදු වෙන්න. එවිට නින්දෙන් ගෙරවීම ඇති නොවේ. නින්දෙන් ගෙරවීම සිදුවන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම නිසාය. ඇප්නියාව හෙවත් නින්දේදී හුස්ම වැටීම ඇනහිටින මාරාන්තික රෝගී තත්ත්වය නිසාද නින්දෙන් ගෙරවීම සිදුවියහැකි බැවින් නින්දෙන් ගෙරවීම ඇත්නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් පැතීම යහපත් වේ. සාමාන්‍ය තත්ත්වයක් නම් හිස මදක් ඉහළට එසවෙන සේ කොට්ටයක් හිස යටට තබාගෙන ඇලයකට නිදා ගැනීම සුදුසුයි.

නිදාලුවට පිළියම් ගැනීම19. නිදාලුවට පිළියම් ගැනීම : නිද්‍රාලුව යනුවෙන් හැඳින්වෙන්නේ ස්නායු සෛලවල ඇතිවන අසාමාන්‍යතා හේතුවෙන් ස්වභාවික නිදි චක්‍රය නඩත්තු කිරීමට මොළයට ඇති නොහැකියාව නිසා දවල් කාලයේ අස්වාභාවික ලෙස විටින්විට තදින් නිදිමත ඇතිවීමයි. මෙම තත්ත්වය ඇතිවිටදී රාත්‍රී නින්දේ ගුණාත්මකබව පිරිහීමට ලක්වේ. සුවපහසු වටපිටාවක් හෝ ඉරියව්වක සිටින විට සැණෙකින් නින්දට වැටීම සහ මාංශපේශිවල ක්‍රියාකාරී ගුණයට හානිවීමෙන් සිදුවන නින්දට වැටීමේදී හෝ නින්දෙන් පිබිදීමේදී සෙලවීමේ හෝ කතා කිරීමේ අපහසුතා මෙහි රෝගී ලක්ෂණ වන බැවින් එවැනි තත්ත්වයක් ඇත්නම් ඉක්මණින්ම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය.

නින්දෙන් ඇවිදීමට පිළියම් ගැනීම20. නින්දෙන් ඇවිදීමට පිළියම් ගැනීම : නින්දෙන් ඇවිදීම වෙහෙසකර මෙන්ම අනතුරුදායක වන බැවින් ඊට ප්‍රතිකාර ලබා ගැනීම මනා නින්දකට උපකාරීවේ. තදබල උණ වැනි තත්ත්වයක් ඇති විටෙක වැනි විශේෂ අවස්ථාවක නම් නින්දෙන් ඇවිදීම සාමාන්‍ය සංසිද්ධියකි. නමුත් නිතර නිතර නින්දෙන් ඇවිදීම සිදුකරයි නම් එය රෝගී තත්ත්වයක් වනබව මතකතබාගත යුතුය.

ජෛව හෝරා යන්ත්‍රයට අනුගතවීම21. ජෛව හෝරා යන්ත්‍රයට අනුගතවීම : හැකිනම් වේලපහින් එනම් මධ්‍යම රාත්‍රිය එළඹීමත් සමඟම නින්දට යාමට හුරුවීම වැදගත්ය. මෙමඟින් ශරීර උෂ්ණත්ව චක්‍රයට බලපෑමක් නොවන අයුරින් නින්දට යෑමට ඉඩකඩ ලැබේ. එවිට සෙම්රෝග හටගැනීමට ඇති අවදානම මඟහැරී යන අතර වේලපහින් පිබිදීමටද උපකාරී වේ. මෙසේ කිරීම ජෛව හෝරා යන්ත්‍රයට අනුගතවන අයුරින් නින්දට යෑම නම්වේ. මෙහි දැක්වෙන සම්බන්ධතාවය ඔස්සේ ජෛව හෝරා සටහන ඔබට‍ දැකගත හැකියි.

ස්වභාවික නිදි චක්‍රයකට හුරුවීම

22. ස්වභාවික නිදි චක්‍රයකට හුරුවීම :
හැකිතාක්දුරට නිද්‍රා ඖෂධ භාවිතයෙන් වැලකී ස්වභාවික නිදි චක්‍රයකට හුරුවීම වැදගත්වේ. ඔබට ස්වභාවයෙන් නින්ද ළඟා නොවන්නේ නම් කියවීම හෝ භාවනා කිරීම වැනි මනස පිරිසිදු කරන නිදිමත ඇතිකරන ක්‍රියාවක නිරත වන්නට උත්සහ කරන්න.

නින්ද මැදදී ඇහැරුණහොත්23. නින්ද මැදදී ඇහැරුණහොත්... : යම්හෙයකින් නින්ද මැදදී ඇහැරුණහොත් විනාඩි තිහක් වැනි කාලයකදී නැවත නින්දට පිවිසීමට නොහැකි වුවහොත් නින්ද නැවත ඔබ කරා ළඟාවන තෙක් අඩ අඳුරු එළියක් භාවිතයෙන් වඩා වැදගත් නොවන, රසවත් නොවන යමක් කියවන්න. බොහෝවිට නැවත නින්ද ඔබ කරා ළඟාවනු ඇත.

උදෑසන හිරුඑළිය

24. උදෑසන හිරුඑළිය :
උදෑසන හිරුඑළියට නිරාවරණය වන තැනෙක නිදි යහන ස්ථානගත කිරීම මඟින් නින්දෙන් පිබිදීමට තිබෙන අලසකම පහවයන අතර ගතට සිතට නැවුම් ප්‍රබොදමත්බවක් ඇතිකරමින් ස්වභාවිකවම නිදි-අවදි චක්‍රය ක්‍රමවත්ව සම්පූර්ණ කිරීමට මඟපාදයි.

සුළු නින්දක වැදගත්කම25. සුළු නින්දක වැදගත්කම : දිවාකාලයේ කෙටි නින්දක් (මිනිත්තු 20 - 30 අතර කාල වේලාවක්) ලබා ගැනීමේ වැදගත්කම නම් කාර්යක්ෂමතාවය වැඩිවීම, මතක ශක්තිය වැඩිදියුණු වීම, නිර්මාණශීලී අදහස් හටගැනීම, ඥානාන්විත අදහස් උදහස් ඇතිවීම මෙන්ම විඩාව නිවීම යනාදිය වනබැව් විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. සවස එකත් දෙකත් අතර කාල වේලාවක් මේ සඳහා යොදාගැනීම වඩා යෝග්‍ය වන බවද හෙළිවී තිබේ. නමුත් විනාඩි තිහකට වඩා වැඩි නින්දක් ඵලදායී නින්දක් ලෙස සැලකිය නොහැකි බවද පෙන්වාදී තිබේ.

නින්ද ගැන කතා කරනවිට කතා නොකරම බැරි දෙයක් තමයි සිහින. ඉතින් සිහින ගැන සවිස්තරාත්මකව කතා කරන්නට ඉදිරි ලිපියකින් හමුවන තුරු අදට ලිපිය අවසන් කරමින්…

ඔබට‍ සුවදායී දෛනික නින්දක් !


පරිශීලක පිටු
http://en.wikipedia.org/wiki/Sleep
http://science.howstuffworks.com/environmental/life/inside-the-mind/human-brain/sleep.htm/printable
http://health.howstuffworks.com/mental-health/sleep/basics/sleep-pictures.htm
http://www.medicinenet.com/sleep/page2.htm#what_are_the_stages_of_sleep
http://health.howstuffworks.com/mental-health/sleep/basics/10-tips-for-better-sleep.htm

Tuesday, October 30, 2012

ගතසිත සනසන - නින්දට මුල්තැන

නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක දෙවැන්න

නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි

නිදි අවධි චක්‍රවල එකතුව

පුද්ගලයෙකුගේ හිසට විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය යන්ත්‍රයක් සවිකර එම පුද්ගලයාව නින්දට යෑමට සැලැස්වීම මඟින් නින්දේදී එම පුද්ගලයාගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වාර්තාගත කරගත හැක. එවැනි වාර්තා රටා හැදෑරීම මඟින් හඳුනාගෙන ඇති පරිදි එක් දීර්ග නින්දක් තුළ පුද්ගලයෙකු විසින් වරින්වර චක්‍රානුකූලව පසුකරමින් යන පැහැදිලි නිදි අවධි කිහිපයකි.

නිදි අවධි

නිදි අවධි ප්‍රස්තාරය

ප්‍රස්තාරයෙන් දැක්වෙනුයේ පැය අටක දීර්ග නින්දක් තුළ කාලයත් සමඟ එක් එක් නිදි අවධීන්හි ඇතිවීම සහ පැවැත්මයි. එමෙන්ම එම ප්‍රස්තාරයට අනුව පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන නිදි අවධීන් දෙකකි...

  1. වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය
  2. වේගවත් අක්ෂි චලනය සිදුනොවන නිදි අවධිය

වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය

සම්පුර්ණ රාත්‍රී නින්දකදී වේගවත් අක්ෂි චලන අවධිය කාල අන්තර තුනේ සිට පහ දක්වා සිදුවිය හැක. එනම් සෑම පැය එකහමාරකට හෝ දෙකකට වරක් පුද්ගලයෙකු විසින් නින්දෙන් මෙම අවධියේ පසුවෙන අතර එක් අවධියක කාලසීමාව උපරිම මිනිත්තු තිහ දක්වා පැවතිය හැකියි. තවද මෙම අවධධීන්වල එකතුව මුළු නින්දෙන් සියයට විස්සත් විසිපහත් අතර වේ. ළදරුවකුගේ නම් සියයට හතළිහකි.

බාහිර උත්තේජනයකින් තොරව රාත්‍රී නින්දෙන් වරින්වර ඔබ ඉබේ ඇහැරෙන්නේ මෙම අවධියේ පසුවෙන විටදීයි. එමෙන්ම ඔබ විසින් නින්දේදී සිහින දැකීම සිදුවන්නේද මෙම වේගවත් අක්ෂි චලන අවධීන් වලදීයි. තවද මෙම එක් අවධියක කාලසීමාව මිනිත්තු පහේ සිට මිනිත්තු තිහ දක්වා දිගු වියහැකි හැකි බැවින් ඔබ විසින් දකින එක් සිහිනයක් මිනිත්තු තිහක් පමණ දිර්ඝ වීමටද ඉඩකඩ තිබේ. තවද ඔබ එලෙස සිහිනයක් දකිමින් සිටින අතරතුර නින්දෙන් පිබිදුණහොත් ඔබට එම සිහිනය ඉතා පැහැදිලිව විස්තර කිරීමටද හැකියාව ලැබේ. තවද මෙම නිදි අවධියට පිවිසෙන හෝ ඉන් පිටවන අවස්ථාවේදී එකවරම නින්දෙන් ඇහැරුණ හොත්, මා විසින් මීට පෙර පළකරන ලද ‘සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී’ ලිපියෙන් කියැවෙන ‘ඔබ නින්දෙන් පිබිදුණු බව දැනුනත් ඔබේ අත්පා හෝ සිරුර සෙලවිය නොහැකි පරිදි ගල්ගැසී ඇති බවක් දැනීම’ නැමැති බියජනක අත්දැකීමට මුහුණදීමට සිදුවන බව පැහැදිලි කරුණකි. පුද්ගයෙකු වේගවත් අක්ෂි චලන අවධියේ පසුවෙන අවස්ථාව හඳුනාගත හැකි බාහිර ලක්ෂණ කිහිපයකි.

  • ඇසිපිය මතින් ඇස් ඉදිරියට සහ පිටුපසට වේගයෙන් චලනයවීමක් දැකගත හැකිවීම.
  • ඇතැම්විට අත් පා වල මෙන්ම මුහුණේ මාංශ පේශී වල ගැස්මක් දැකගත හැකිවීම.
  • ශරීරයේ මාංශපේශී ඉහිල්වීම.
  • හදවතේ ගැස්ම වේගවත්වීම
  • ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් වන අතර කෙටි හුස්ම ගැනීම් හා හෙලීම් වලින් යුතුවීම.

වේගවත් අක්ෂි චලනය සිදුනොවන නිදි අවධිය

වේගවත් අක්ෂි චලනය සිදුනොවන නින්ද උප ප්‍රධාන නිදි අවධි තුනකින් සමන්විතවේ.

සැහැල්ලු උප නිදි අවධිය
නින්ද යාගෙන එන බව දැනෙන එනම් නිදිමත ගතිය දැනෙන, නින්දත් නොනින්දත් අතර ගෙවෙන අවධිය මෙයයි. මෙම උප අවධිය, අවදියෙන් සිට තද නින්දට පිවිසෙන සංක්‍රාන්ති සමයවේ. මුළු නින්දෙන් සියයට පහක් පමණ මීට අයත්වේ. මෙම කාල සීමාව අතරතුර මාංශපේශී ක්‍රමයෙන් ඉහිල් වෙමින් ඒවායේ ක්‍රියාකාරීත්වය පහත හෙලීම සිදුවේ. අවට සිදුවන දේ පිළිබඳ යාන්තමට දැනීමක් තිබේ. මීට අමතරව වරින්වර දෑත්දෙපාවල ඇතිවෙන ගැස්මක් දැකගත හැකිය. එනම් මා විසින් මීට පෙර පළකරන ලද ‘
සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී’ ලිපියෙන් කියැවෙන ‘ඔබට‍ නින්දයාගෙන එනබව දැනෙනවාත් සමඟම ඔබ නිදාගෙන සිටින ස්ථානයෙන් එක්වරම පහළට ඇදගෙන වැටෙන ස්වභාවයක් දැනී ඔබේ සිරුර ක්ෂණික තිගැස්මකට ලක්වීම’ නැමැති ත්‍රාසජනක සිදුවීම අත්දකින්නට සිදුවන්නේ මෙම අවධිය අතරතුරදීයි.

සැබෑ උප නිදි අවධිය
මුළු නින්දෙන් වැඩිම කාලයක් එනම් සියයට හතලිස් පහත් පනස් පහත් අතර කාලයක් වැයවන්නේ මේ නිදි අවධියටයි. මෙම නිදි අවධියේ පසුවෙන විට පුද්ගලයෙකු ආශ්වාස ප්‍රශ්වාස කරන රටාවේ වේගය අඩුවෙන අතර හදගැස්මේ වේගවත්බවද අඩුවේ. ශරීර උෂ්ණත්වය යම්තරමකට පහත වැටේ. ඇතැම්විට දහදිය දැමීම සිදුවේ.

ගැඹුරු උප නිදි අවධිය
ඇතැම්විට මෙම උප නිදි අවධිය ගැඹුරු හා ඉතා ගැඹුරු යනුවෙන් තවදුරටත් කොටස් දෙකක් ලෙස පැහැදිලිකරන අවස්ථාද තිබේ.මෙම නිදි අවධියේ පසුවෙන අයෙකුගේ ආශ්වාස ප්‍රශ්වාසය සෙමෙන් රටානුකූලව සිදුවේ. දෑත් දෙපා සෙලවීම ඉතා අවම වේ. මෙම අවධිය මුළු නින්දෙන් සියයට විස්සක් පමණ වේ.

නිදි අවධි විශ්ලේෂණය

නියමානුකූලව නම් පැය එක හමාරකට හෝ දෙකකට වරක් චක්‍රානුකූලව එක් එක් නිදි අවධිය නැවත නැවත පසුකිරීම සිදුවේ. එනම් එක් දීර්ග සම්පුර්ණ නින්දක් තුළ මෙවැනි නිදි අවධි චක්‍ර හතරක් පහක් අඩංගුවේ.

මුලින් දැක්වෙන නිදි අවධි ප්‍රස්තාරයට අනුකූලව, නින්දේ පූර්ව භාගයේදී සැහැල්ලු, සැබෑ සහ ගැඹුරු යන උප නිදි අවධිවලින් සමන්විත පළමු නිදි චක්‍රය පළමු වේගවත් අක්ෂි චලන නිදි අවධියෙන් අවසන් වීමත් සමඟම එම උප නිදි අවධිවලින්ම සමන්විත අළුත් නිදි චක්‍රයක් ආරම්භ කරයි. මේ අනුව දීර්ග ගැඹුරු නින්ද නිදි චක්‍ර වලට ඇතුළත්වන්නේ නින්දේ පූර්ව භාගයේදී පමණි. තවද පළමු සැහැල්ලු උප නිදි අවධිය සහ සැබෑ උප නිදි අවධිය එක්ව ගත්කළ එය අඩ නින්ද ලෙසින් සැලකේ. මෙය උපරිම විනාඩි තිහකට වඩා වැඩි නොවේ. මෙවැනි කාල වේලාවක් දිවා කාලයේදී කෙටි නින්දක් ලෙස ලබාගැනීමට යෝග්‍ය වන බැව් සොයාගෙන තිබේ.

නින්දේ අපර භාගයේදී, දීර්ග නින්ද අවසානයේ නින්දෙන් පිබිදෙන තෙක් සැබෑ උප නිදි අවධිය, සැහැල්ලු උප නිදි අවධිය සහ වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය චක්‍රානුකූලව මාරුවෙන් මාරුවට සිදුවේ. වඩා සුවදායී නින්දක් ලබාගැනීමට නම් මෙම වේගවත් අක්ෂි චලන අවධිය සහ එසේ නොවන අවධිය යන දෙකම හොඳින් තිබිය යුතුයි.

මීළඟ ලිපියෙන් මම ඔබට‍ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ ‘සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක්’ පිළිබඳවයි.


පරිශීලක පිටු
http://en.wikipedia.org/wiki/Sleep
http://science.howstuffworks.com/environmental/life/inside-the-mind/human-brain/sleep.htm/printable
http://health.howstuffworks.com/mental-health/sleep/basics/sleep-pictures.htm
http://www.medicinenet.com/sleep/page2.htm#what_are_the_stages_of_sleep
http://health.howstuffworks.com/mental-health/sleep/basics/10-tips-for-better-sleep.htm

Sunday, October 28, 2012

නිදන කළ නිති පමණ දැන - ලැබෙන සුවයද වේය අපමණ

නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක පළමුවැන්න

ජනප්‍රියතම නිදි ඉරියව් කිහිපයක්

නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙනත් යමක් භෞතික ලෝකයේ තවත් නොමැති තරම්ය. ඒ නිසාම නින්ද ගැනත් ඒ හා බැඳුණු අපූර්වතම අත්දැකීමක් වන සිහින ගැනත් කතාබහ කරන්නට අපි බොහෝම කැමතියි. ඉතින් මම මේ ලිපි පෙළෙන් කතා කරන්න හදන්නේ නින්ද සහ සිහින ගැනයි.

එහෙමනම් පළමුව අපි බලමු නින්දට වැටුණු කෙනෙක් හඳුනාගැනීම කරන්නේ කොහොමද කියන එක. වෙනත් විදියකින් කියනවා නම් ‘නින්ද ගියහම අපිව පෙන්නේ කොහොමද, අපේ ශරීරය බාහිර පරිසරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද’ කියන එක.

නිදියන කෙනෙක් පෙන්නුම් කරන බාහිර ලක්ෂණ කිහිපයකි මේ...
  • තිරස් ඇඳක්, පුටුවක් මත හෝ බිම වැතිර සිටීම නැතිනම් සිරස් යමකට හේත්තුවී සිටීම
  • දෑස් පියැවී තිබීම.
  • කතාකළ විට ප්‍රතිචාර නොදැක්වීම, ඝෝෂාකාරී ශබ්දයක් මිස සාමාන්‍ය ශබ්ද නොඇසීම.
  • ආස්වාශ ප්‍රශ්වාසය සෙමෙන් හා රිද්මයානුකූලව සිදුවීම.
  • පේශී මුළුමනින්ම ඉහිල්වීම සහ බලෙන් සිටවූවොත් ඇදගෙන වැටීම.
  • නින්ද අතරතුර ඒ මේ අත පෙරළෙමින්, හැරෙමින් පහසු හා සුවදායි ඉරියව්වකට සිරුර සකස්කර ගැනීම. මෙය අවම වශයෙන් පැයකට වරක්වත් සිදුවේ.
  • තමා අවට පරිසරයේ සිදූවන දේ පිළිබඳව ඇති අවිඥ්ඥානය.
  • පියැවී පවතින ඇසිපිය මතුපිට පෙන්නුම් කරන වේගවත් අක්ෂි චලන හා අත්පාවල ගැස්සෙන ස්වභාවය.
  • ශරීර උෂ්ණත්වය අඩුවීම හා දහදිය දැමීමට ඇති ඉඩකඩ

මෙම බාහිර ලක්ෂණ වලට අමතරව හදවතේ ක්‍රියාකාරීත්වයේ වේගය අවමවීමද සිදුවේ.

තවද නිද්‍රාවට පත්වූ පුද්ගලයෙකු හා සිහි විසඥවූ පුද්ගලයෙකු අතර වෙනස නම් තදින් සෙලවීමක්, ඉහළ ශබ්දයක්, දැඩි ආලෝකයක් වැනි බාහිර උත්තේජකයක් මඟින් නිඳා සිටින කෙනෙකු නින්දෙන් අවදිකළ හැකිවීමයි. ඉතා තදින් නින්දට වැටුණු අයෙකු වුව මෙවැනි උත්තේජකයකින් තිගැස්මක් සහිතව අවදිවෙයි.

නින්ද අවැසි වන්නේ ඇයි…

මීළඟට ‘අපට නින්ද අවැසි වන්නේ ඇයි’ කියන කාරණය නිදිවැරීමෙන් (නොනිදා සිටීමෙන්) හෝ ප්‍රමාණවත් නින්දක් නොමැතිකමින් මුහුණදීමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගැනීමෙන් සහ නින්ද නිසා අත්වන වාසි ගැන විමසා බැලීමෙන් පැහැදිළි කර ගනිමු.

නිදි නැතිකම

නින්ද නැතිවීමේ අවදානම

ඔබ දන්නා පරිදි එක් රැයක් නිදිවර්ජිතව සිටීම මාරාන්තික නොවනු ඇත. නමුත් දිගුකාලයක් එකදිගට නිදිවර්ජිතව සිටීම නම් මාරාන්තික නොවන්නේද නොවේ. දිනක් නිදිවර්ජිතව සිටීමේ අයහපත් ප්‍රතිඵල හොඳින් ප්‍රදර්ශනය වන්නේ පසුදාය. ඒවානම් කිසිවෙකු හෝ කිසිවක් නොරුස්නා ස්වභාවය, ඉතාමත් අලසකමින් යුතුව සාමාන්‍ය වැඩ කටයුතු වල නිරතවීම, ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, ශරීරය සම්පුර්ණයෙන්ම රැහැනකින් වෙළාදමා ඇති අන්දම අයුරින් දැනීම මින් කිහිපයකි. මෙසේ සිදුවන්නේ නොනිදා සිටීමෙන් වෙහෙසට පත්වන ඇඩ්රිනලීන් ග්‍රන්ථිවලට ඇඩ්රිනලීන් නිෂ්පාදනය සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවීම නිසා ශරීරයේ ඇඩ්රිනලීන් හිඟකමක් ඇතිවීමෙනි.

දෙදිනක් එකදිගට නිදිවැරීම මීටත් වඩා භයානක වන්නේ මානසික ඒකාග්‍රතාවය හෙවත් සිතේ සමාධිය එනම් යමකට අවධානය යොමුකර තබාගැනීමේ හැකියාවද නැතිව යෑම නිසාවෙනි.

තෙදිනක් නිදිවැරීමෙන් අනතුරුව එම තැනැත්තා ස්වභාවයේ නොමැති දේ සිතින් මවාගැනීමට පෙළඹෙන අතර සැබෑව හා සිතින් මවාගන්නාලද දේ වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට නොහැකිව විපිළිසරභාවයට පත්වීම සිදුවේ. තවද තවදුරටත් සැබෑව ග්‍රහණය කරගත නොහැකියාවෙන් සිතින් මවාගන්නාලද දේ තුළම ජීවත්වීමට උත්සාහකරන ස්වභාවයක් පෙන්නුම් කරයි.

සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් දිනපතා නිදා ගැනීමට පුරුදුවුණු අයෙකුට වුවද කල්යාමේදී මෙම භයානක ප්‍රතිඵලම අත්විඳීමට සිදුවීමට ඉඩකඩ තිබේ. මේ අනුව නින්ද නැතිවීම අනතුරුදායක වන්නේ ඇයිදැයි කියන කාරණය මනාව පැහැදිලි වේ.

නින්ද නිසා අත්වන වාසි

නින්ද ශරීරයට ආකාර කිහිපයකින් ප්‍රයෝජනවත් වේ. එනම් නින්ද අතරතුර ශරීරය තුළ සිදුවන ඉතාමත් සුවිශේෂී සංසිද්ධීන් දෙකකි. වැඩෙන දරුවන්ගේ ශරීර වර්ධනය උදෙසා බලපාන 'වර්ධක හෝමෝන' වෑහෙන්නේ නින්ද අතරතුරදී වන අතර මිනිස් හා සත්ත්ව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පැවැත්මට වැදගත්වන රසායනික ද්‍රව්‍ය වෑහෙන්නේද නින්ද අතරතුරදීයි. මේ නිසා ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් දරුවන්ගේ වර්ධනය අඩාල වියහැකි අතර පුද්ගලයෙක් පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමද වැඩියි. තවද...

  • නින්ද ශරීරයේ මාංශපේශී හා පටක අළුත්වැඩියාවටත් වයස්ගත හා මැරුණු සෛල වෙනුවට අළුත් සෛල ඇතිවීමටත් අවස්ථාව සලසයි.
  • මොළයට මතකය නිරවුල් කරගැනීමටත් නිසිලෙස මතකය ස්ථාපනය කර ස්ථානගත කරගැනීමටත් අවස්ථාව සලසා දෙයි. අප විසින් සිහින දකින්නේ මෙම ක්‍රියාවලියේ එක් ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
  • සිරුර විවේකීව තැබීමෙන් නින්ද ශරීරයේ ශක්ති පරිභෝජනය අවම කරමින් අපේ දෛනික ආහාර අවශ්‍යතාවය වේල් තුනකට සීමා කරයි.
  • ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම නිසා සිරුරේ දාහයද නිවී ගතට සිසිලක් ලැබේ.

මීළඟට වැදගත්ම කාරණය නිදිමත ඇතිවන්නේ කෙසේද කියන එකයි. මොළයේ සෛල සැමවිටම ශරීරයේ විවිධ කායික මානසික ක්‍රියාකාරීත්වයන් සඳහා එකදිගට වෙහෙසීම සිදුවේ. මෙයින් විඩාවට පත් මොළයේ සෛල විවේකීව හිඳීමට ඇති අවශ්‍යතාවය දන්වමින් මොළයේ ඇඩිනොසීන් මට්ටම වැඩි කිරීම මඟින් නිදිමත ඇතිකරයි. මෙය ශරීරයේ ස්වාරක්ෂාකාරී ගුණය නිසාවෙන් සිදුවන්නකි. එමෙන්ම නිද්‍රාවට පත් කාලය තුළ මොළය නැවත ප්‍රකෘති භාවයට පත්වීම සිදුවේ.

මීළඟට වයසත් සමඟ මිනිසෙකු කොපමණ නින්දක් ලැබියයුතුද යනවග විමසා බලමු.

ඔබේ නින්ද ඔබට‍ ප්‍රමාණවත්ද ?

ඔබේ දෛනික නින්ද ඔබට‍ ප්‍රමාණවත් නොවන බවට වන හෙළිදරවවීම් කිහිපයකි. ඒවානම්… මානසික ආතතිය පාලනය කරගැනීමේ නොහැකියාව, මතක ශක්තිය දුර්වල වීම, ආහාර රුචිය වැඩිවීම, මානසික ඒකාග්‍රතාවය නැතිවීම, සමීපතමයන් සමඟ ගැටුම් ඇතිකරගැනීම යනාදිය. මේවායින් ඉඟිකෙරෙන්නේ නිතිපතා ප්‍රමාණවත් නින්දක් ලැබීමේ අනිවාර්ය අවශ්‍යතාවයයි. එසේනම් ප්‍රමාණවත් නින්දක් යනු කොපමණ කාලයක්ද යන්න විමසා බලනු වටී.

සාමාන්‍ය වැඩිහිටියෙකුට දිනකට අවමවශයෙන් පැය අටක (පැය හතේ සිට නවය දක්වා) දිගු රාත්‍රී නින්දක් එකදිගට ලැබීම අත්‍යාවශ්‍යවේ. පැය අටක් අනිවාර්යය නොවුනද තමන්ට සෑහිමට පත්විය හැකි ප්‍රමාණයේ නින්දක් ලැබීම අත්‍යවශ්‍යයි.

දෛනික නින්ද වයසත් සමඟ ප්‍රමාණාත්මකව අඩුවේ. එනම් අළුත උපන් ළදරුවකු දිනකට පැය විස්සක් පමණ නින්දේ පසුවෙන අතර වයස අවුරුදු හතර පමණ වනවිට දිනකට පැය දොළහක පමණ නින්දක් ප්‍රමාණවත් වේ. වයස අවුරුදු දහය පමණ වනවිට පැය දහයක පමණ නින්දක් හොඳටම ප්‍රමාණවත් බැව් පෙනේ. නමුත් වැඩිහිටියෙකුට නම් පැය අටක නින්දක් අවැසි නමුත් මහළු වයසේ පසුවෙන අයෙකුට බොහෝවිට ලැබියහැකි වන්නේ පැය හය හතක පමණ නින්දකි.

මේ සියළුම කරුණු පිළිබඳව සැළකිලිමත්ව බලන විට නම් පෙනීයන්නේ ප්‍රමාණවත් සුවදායී රාත්‍රී නින්දක් කායික මානසික ප්‍රබෝධය ගෙනදෙන, නැවුම් දවසකට දොරගුළු විවරකර දෙන ස්වාභාවික ඔසුවක් වැනි වන බවයි.

ගතසිත             සනසන
ඔසුවකි            සුවදෙන
වෙහෙසද           දුරලන
නින්දට            මුල්තැන

මීළඟ ලිපියෙන් මම කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ‘නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි’ ගැනයි.


පරිශීලක පිටු
http://en.wikipedia.org/wiki/Sleep
http://science.howstuffworks.com/environmental/life/inside-the-mind/human-brain/sleep.htm/printable
http://health.howstuffworks.com/mental-health/sleep/basics/sleep-pictures.htm
http://www.medicinenet.com/sleep/page2.htm#what_are_the_stages_of_sleep
http://health.howstuffworks.com/mental-health/sleep/basics/10-tips-for-better-sleep.htm

Saturday, October 27, 2012

දයාබර දියණියෙනි

දයාබර දියණියෙනිපසුගිය 2012 – 10 – 11 වන දිනට යෙදුනු ජාත්‍යන්තර මානවිකා දිනය වෙනුවෙනි.

Friday, September 28, 2012

පුංචි බලු පැංචී - කකුළු ගමනට ඇයි තහංචී

මැඩලින් බලු පැටවිය සහ කකුළුවා

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි 'පාව්ලෙස්' නමැති අති සුන්දර කුඩා දූපත් වෙරළ තීරයේදී කැමරාවට නැගුණු දර්ශනයක් තමයි මේ. ඩක්ස්-හුඩ් නමැති බලු වර්ගයට අයත් මේ සුරතල් බලු පැටවියගෙ නම තමයි මැඩලින්. කකුළුවාට නමක් නැතත් එම කකුළුවා අවතාර කකුළුවා නැමැති කකුළු විශේෂයට අයත් එකෙක්. ඔවුනට එම නම් ලැබී තිබෙන්නේ දහවල් නිදාගැනීම හා රාත්‍රියට ක්‍රියාකාරීවීම යන චර්යා රටාව සහ විශේෂයෙන්ම එම සතුන්ට හිමි පඬු පැහැය හේතුවෙන්.

බලු සුරතලුන්ට ආසකරන කරන අයට නම් මේ තියෙන වීඩියෝ දසුන සෑහෙන්න විනෝදාස්වාදයක් ගෙනදේවි. අනෙක් අයටත් යම් ආශ්වාදයක් නොලැබෙනම එකක් නැහැ. ඒ මොකද එම දර්ශන පෙළෙහි ඇති විනෝදාත්මක බවත්, එහි කැමරාකරණයේ තිබෙන සුවිශේෂී බවත් නිසා. නරඹලාම බලන්න එහෙනම්.

මැඩලින් බලු පැටවිය සහ කකුළුවා

සෙල්ලමට හරි කකුළුවට යන ගමන යන්න නොදී පාර අවහිර කරන එකනම් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි තමයි. ඒත් බලු පැටවිය කකුළුවාට හානියක් වෙන දෙයක් කරන්නේ නැති නිසායි මේ වීඩියෝ දසුන ඔබ හා බෙදා ගන්න හිතුවේ.

Wednesday, September 26, 2012

සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී

කළු බුට්ටී

නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙන යමක් භෞතික ලෝකයේ තවත් නැති තරම්. නමුත් ඒ තරම් සුවදායක නින්දකදී වුව අපට අත්දකින්නට සිදුවෙන භයානක මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් එහෙම නැතිවාම නොවෙයි. ඉතින්, ඒවා අතුරින් අප අතර සුලබව දක්නට ලැබෙන අපූරු අත්දැකිම් දෙකක් ගැනයි මේ කියන්න හදන්නේ. මතක්කරලා බලන්න ජිවිතේ කවදාහරි දවසක ඔබත් නින්දෙන් මෙන්න මේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවද කියලා.

1. ඔබට‍ නින්දයාගෙන එනබව දැනෙනවාත් සමඟම ඔබ නිදාගෙන සිටින ස්ථානයෙන් එක්වරම පහළට ඇදගෙන වැටෙන ස්වභාවයක් දැනී ඔබේ සිරුර ක්ෂණික තිගැස්මකට ලක්වීම.

මෙයට හේතුව ශරීරය නින්දට වැටුනද මොළය අවදියෙන් සිටීම ලෙස සැලකේ. එය මෙසේ විස්තර කළ හැකයි. ඔබ නින්දට පිවිසෙන අතරතුර ඔබේ ශරීරය සියළු බාහිර ක්‍රියාකාරකම් වලින් නිදහස්වීම සිදුවේ. මේ නිසා විශේෂයෙන්ම ශරීරයේ මාංශපේශී ඉහිල්වීමත් අත්පා නිසල වීමත් සිදුවේ. ඒ සිරුර විවේකීව තැබීමේ අවශ්‍යතාවය මතයි. නමුත් මෙම මාංශපේශී ඉහිල්වීමත් සමඟම ශරීරය ඉහිල්වීම පිළිබඳ පණිවිඩය ශරීරයෙන් මොළයට යැවීම සිදුවේ. මෙවැනි පණිවිඩ ඇතැම්විට මොළය විසින් වරදවා වටහාගැනෙන්නේ ශරීරය විසින් වැටෙන්නට යන බව ඇඟවීම සඳහා එවන ලද පණිවිඩ ලෙසයි. වහා ක්‍රියාත්මක වන මොළය, ශරීරය වැටෙන්නට නොදී තබා ගැනීමට, ශරීරයේ සමබරතාවය රැකගැනීමට අදාල පණිවිඩ අත්පාවල මාංශපේශී වෙතට යැවීම සිදු කරයි. ඒ සමඟම සිදුවන මාංශපේශී හැකිළීම නිසා දෑත් දෙපා වල ගැස්මක් ඇතිවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ නින්ද මදිකම හෙවත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මොළය විඩාවට පත්වීමයි.

2. ඔබ නින්දෙන් පිබිදුණු බව දැනුනත් ඔබේ අත්පා හෝ සිරුර සෙලවිය නොහැකි පරිදි ගල්ගැසී ඇති බවක් දැනීම

මෙවැනි අවස්ථාවක නම් ඔබ බොහෝ බියට පත්වෙනවා නොඅනුමානයි. 'ආයෙ කවදාවත්ම නැගිට ගන්න බැරිවෙයිද' කියන බියජනක සිතුවිල්ල මොහොතකට හෝ ඔබේ හිතට නැගිලා ඇති. ඔබ හැකි තාක් වෙර යොදා නැගිටගන්නට හෝ දඟලන්නට උත්සාහ කළද නැගිටගන්නට, දඟලන්නට තබා සෙලවෙන්නටවත් බැරිබව දැනෙන්නට ඇති. ඔබ හඬ නගා තදින් කෑගැසුවත් ඔබේ මුවින් කිසිදු හඬක් පිටනොවන බව දැනෙන්නට ඇති. නමුත් තවත් මිනිත්තු කිහිපයකින් නැවත ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නට ඇති.

මෙවැනි තත්ත්වයක් ඇති වන්නට හේතුව මෙසේ පැහැදිලි කළ හැකියි. වෙන් වෙන් වශයෙන් ඔබට නොදැනුණද ඔබේ නින්ද අදියර කිහිපකින් යුක්තවේ. මින් එක් අවධියකි ‘වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධිය (අඩ නින්ද)’. සම්පුර්ණ රාත්‍රී නින්දකදී ‘වේගවත් අක්ෂි චලන නිදි අවධි’ වාර තුනේ සිට පහ දක්වා සිදුවිය හැකියි. එනම් සම්පුර්ණ පැය අටක දිගු නින්දක් තුළ සෑම පැය එකහමාරකට හෝ දෙකකට වරක් නින්දේදී මෙම අවධියෙහි පසුවීම සිදුවේ.

එමෙන්ම අප විසින් නින්දේදී සිහින දැකීම සිදුවන්නේද මෙම වේගවත් අක්ෂි චලන නිදි අවධීන් වලදීයි. එසේ දකින සිහින වලට ප්‍රතිචාර දැක්වීමට යෑම වැළැක්වීම සඳහා මෙම නිදි අවධියේ පසුවෙන කාලය තුළ මොළය විසින් ශරීරය බෙලහීනව තබාගනී. ඒ අප ශරීරයේ ස්වාරක්ෂක ගුණය හේතු කරගෙනයි. ඒ සඳහා මොළයත් ශරීරයත් අතර සම්බන්ධතාවය අවම මට්ට්මක පවත්වාගනී. මේ නිසා මෙම නිදි අවධියට පිවිසෙන හෝ ඉන් පිටවන අවස්ථාවේ එකවරම නින්දෙන් ඇහැරුණ හොත් ඒ වනවිටත් ශරීරය පවතින්නේ බෙලහීන තත්ත්වයේ වන බැවින් අත්පා හෝ සිරුර සෙලවීමට නොහැකිව යයි. නමුත් විනාඩි කිහිපයක් ඇතුලත මොළයත් ශරීරයත් අතර සම්බන්ධතාවය යථා තත්වයට පත්වූ විගසින් නැවත ඔබ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සිදුවෙයි.

මේ සුළු කාල වේලාව තුළ ඔබේ අත්පා සෙලවීමට, කතා කිරීමට හෝ ඇස ඇරීමට නොහැකි වුවත් මුව විවර නොකර ඔබට ශබ්දය පිටකළ හැකි.යි ඒ කෙඳිරිලි හඬකින්. ඇතැම්විට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවුණද මොහොතකින් එයද පහවයයි. තවද එවැනි මොහොතක ඔබට යම් යම් දේ පෙනුණද, ඇසුණද ඒ පෙනෙන හා ඇසෙන හෝ දේ සැබෑ නොවන බවත් ඔබ විසින් වටහාගතයුතුයි.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මෙන්ම රාත්‍රියට නිදි වැරීම, අවේලාවේ නිදා ගැනීම වැනි වැරදි නිදි පුරුදු නිසා ස්වභාවික වේගවත් අක්ෂි චලනය සිදුවන නිදි අවධි රටාවට  බාධා ඇතිවීම නිසා මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබේ.

කළු බුට්ටී පැංචි තවත් කාරණයක්… මේ තියෙන පින්තූර මගේම පූසි පැංචිගෙ පින්තූර. පැංචි කියලා කිව්වට දැන්නම් ඇයට වයස අවුරුදු දෙකකටත් ළඟයි. ඒත් ඔය පින්තූර ගනිද්දී නම් ඇයට වයස මාස හයක් විතර ඇති. ඇය බොහෝවිට නිදාගන්නෙ දෙවැනි පින්තූරයේ ඉන්න විදියට උඩුබැලි අතටයි. නමුත් පළමුවැනි පින්තූරයේ ඉන්න විදියට නිදාගන්න වේලාවලුත් නැතිවාම නොවෙයි.


පරිශීලක පිටු

http://en.wikipedia.org/wiki/Hypnic_jerk
http://en.wikipedia.org/wiki/Sleep_paralysis
http://www.medterms.com/script/main/art.asp?articlekey=9806

Wednesday, September 19, 2012

අපූරු තෑග්ග

ඩැනියෙල්

'ඩැනියෙල්' කියන්නේ සාමාන්‍ය දරුවෙක්. නමුත් නොදන්නා දේ දැනගැනීමට ඔහු සතු කුතුහලයත්, අළුත් අළුත් දේ අත්හදාබැලීමට ඇති උනන්දුවත්, ආත්ම ධෛර්යයත් නිසා ඔහු සුවිශේෂයි. ඒ නිසාම රෝස්-හල්මන් තාක්‍ෂණ ආයතනයේ එක්තරා ව්‍යාපෘතියකට සහය දැක්වීමට ඔහු ඉදිරිපත් වුණා. ව්‍යාපෘතියට ඩැනියෙල් හා සම්බන්ධ වුණේ 'මාර්ක් කාල්හෝන්' සහ 'ජෙකෝබ් ප්‍රයිස්' යන ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුන් දෙදෙනා. ඔවුන්ගේ අරමුණ වුණේ ඩැනියෙල්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වඩා පහසු කරවන 'උපකාරක අතක්' නිපදවීම. මෙහි විශේෂත්වය වුණේ නිපදවන්නට යන උපකාරක අත තමන්ට රිසි පරිදි සැලසුම් කරගැනීමට ඩැනියෙල් ලද අවස්ථාව.

දැන් ඉතින් තවතවත් අළුත් අළුත් දේ සොයාබලන්නට වගේම එදිනෙදා ජීවිතේ සාමාන්‍ය වැඩකටයුතු ඉතා හොඳින් කරගෙනයන්නටත් ඩැනියෙල් ලද මේ 'උපකාරක අත' ඔහුට බොහෝ පහසුවක් වනු ඒකාන්තයි. අන්න ඒ නිසායි මේ උපකාරක අත ඔහුට ලැබුණු අපූරු තෑග්ගක් වෙන්නේ.

Friday, August 31, 2012

පංච හේතු - ඵල න්‍යාය

මමත්, මගේ කාර්යාලයීය මිතුරියත් අතර ඇතිවුණු සංවාද කිහිපයකි මේ.

දිනක්
මම : තව ටිකකින් මම යනවා එළියට ‘සයිට් විසිට්’ එකකට. හදිසි වැඩක් නැත්නම් ඔයත් එන්න.
ඇය : හදිසි වැඩක් නම් නැහැ. ඒත් මගේ හිස කැක්කුමයි. ඔයා යන්න.
මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු එළියට.
ඇය : ම්හ් …. යමු

දින කිහිපයකට පසු
මම : ඔඩිටෝරියම් එකේ ‘කාර්යක්ෂමතාවය හා ඵලදායී
තාවය’ ගැන සම්මන්ත්‍රණයක්... ඕනෑ කෙනෙකුට බලන්න යන්න පුළුවන්… මම යනවා... ඕනෙනම් ඔයත් එන්න.
ඇය : අනේ මම එන්නෙ කොහොමද මගේ හිස කැක්කුමයි ඔයා යන්න.
මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු ඒක බලන්න.
ඇය : ම්හ් …. යමු

තවත් දින කිහිපයකට පසු
මම : අපි අද ‘ලන්ච් අවර්’ එකේ පොත් ප්‍රදර්ශනය බලන්න යමුද? මට අලුත් පොත් ටිකක් ගන්නත් ඕනෙ.
ඇය : අනේ… මටත් එන්න පුළුවන් නම් හොඳයි. ඒත් මට එන්න බැහැ. මගේ හිස කැක්කුමයි ඔයා යන්න.
මම : ඇයි ?..... ඇයි නිතරම ඔයාගේ හිස කකියන්නේ… ? - 1
ඇය : උදේ කෑම මගහැරුණ දවස්වලටයි මට හිසේ කැක්කුම හැදෙනනෙ  අදත් …
මම : ඇයි ඔයාට උදේ කෑම මඟහැරෙන්නේ ?  - 2
ඇය : උදේට කන්න වෙලාවක් නැති නිසායි ඒ… 
මම : ඇයි ඔයාට උදේට කන්න වෙලාවක්  නැත්තේ ? - 3
ඇය : ගොඩක් දවස්වලට මම පරක්කු වෙලයි උදේට නැඟිටින්නේ…
මම : ඇයි ඔයාට පරක්කු වෙලා නැඟිටින්න වෙන්නේ ? - 4
ඇය : මම නිතරම පරක්කුවෙලයි නින්දට යන්නෙ…
මම : ඇයි නිතරම පරක්කුවෙලා නින්දට යන්නෙ ? - 5
ඇය : මම හැමදාම ගොඩාක් රෑ වෙනතුරු TV බලනවා. ඊයෙත් ….

ඔබට වැටහෙනවද මම මේ කතාවෙන් කියන්න උත්සාහ කරන්නේ  මොනවගේ දෙයක්ද කියන එක. එදිනෙදා ජීවිතේදී අප විසින් මුහුණදෙන ගැටළු අතරින් සමහර ගැටළු තියෙනවා තාවකාලික පිළියමක් යෙදීම හරියාකාර විසඳුමක් නොවන අවස්ථා. මෙයත් එවැනි ගැටළුවක්. එනම් නිතර නිතර ඇතිවෙන හිසේ කැක්කුමට පිළියම රූපවාහිනිය නැරඹීම අඩුකිරීම මිස ‘පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම’ නොවනබව. තවද එය තාවකාලික ප්‍රතිකර්මයක්, කෙටිකාලීන විසඳුමක් පමණක්ම වනබව. ඉහත සඳහන් සිදුවීම් දාමයෙන් පෙනී යන්නේ එය නොවේද? . මෙවැනි කල්පවත්නා, කෙතරම් පිළියම් යෙදුවත් නැවත නැවතත් එකම අයුරින් සිදුවෙන ගැටළු වලට මතුපිටින් පිළියම් යොදලා කිසිම ඵලක්‌ නැහැ එවැනි ගැටළු විසඳන්න සුදුසුම ක්‍රමය තමයි ගැටලුවට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව හමුවන හෝ හඳුනාගන්නා තෙක් අසන්නතම නිවැරදි පිළිතුරෙන් ප්‍රශ්නය ගොඩනගමින් පියවරෙන් පියවර ආපස්සට ප්‍රශ්න කරගෙන යාම.

නිදසුන

ගැටළුව - නිතර නිතර හිසේ කැක්කුම ඇතිවීම
ඇයි :- උදෑසන ආහාරය මඟහැරීම නිසා - 1
ඇයි :- ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීම නිසා - 2
ඇයි :- පමාවෙලා අවදිවීම නිසා - 3
ඇයි :- පමාවෙලා නින්දට යාම නිසා - 4
ඇයි :- ඕනෑවට වඩා රුපවාහිනිය නැරඹීම නිසා - 5

හේතු ත්‍රිකෝණය

එවිට ගැටළුවට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව මේ ආකාරයෙන් කූඩු කරගත හැකිවනවා.

මෙම ක්‍රමය පියවර පහකට පමණක් සීමාවීම අනිවාර්ය නොවුනත් මෙය හැඳින්වීමට වඩා සුදුසු ‘පංච හේතු - ඵල න්‍යාය’ කියලයි ඒ මොකද බොහෝවිට පස්වැනි ප්‍රශ්නයට පිළිතුර ලෙස ලැබෙන්නේ ආසන්නතම මෙන්ම හොඳම මූලික හේතුව වන නිසා.
නමුත් ඇතැම්විට ආසන්නතම, හොඳම මූලික හේතුව හතරවැනි ප්‍රශ්නයට පිළිතුර ලෙස ලැබෙන අවස්ථාත් නැතිවාම නොවෙයි. නමුත් හත්වන, අටවන ප්‍රශ්නවලට පසුව අසන ප්‍රශ්න බොළඳ ප්‍රශ්න ලෙස සැලකෙනවා. එමෙන්ම ඒවාට ලැබෙන පිළිතුරු ප්‍රායෝගික නොවන බවද වැටහෙනවා.

පහත දැක්වෙන ප්‍රස්ථාරය මඟින්, විමසන ප්‍රශ්නය සතුවන ස්ථානය අනුව ලැබෙන පිළිතුර සතු ‘නිරවද්‍යතාවය’ නොහොත් ‘හේතුසහගතභාවය’ දළ වශයෙන් ප්‍රමාණාත්මක මිණුමකට අනුව ක්ෂේත්‍රගතකර ඇති ආකාරය පෙන්නුම් කරයි.

ඇයි වක්‍රය
තවද මෙහි ‘ඇයි ?’ කියන පැනයකට පිළිතුරු ලෙස පිළිතුරු කිහිපයක් වුවත් ලැබිය හැකියි. එවිට ඒ එක් එක් පිළිතුර ඔස්සේ වෙන වෙනම ප්‍රශ්න කරමින් හොඳම හේතුව සොයා යා යුතුයි.

ප්‍රශ්න ඵල රුක් සටහන

මේ අනුව, ඕනෑම ඵලයක්‌ හටගන්නේ හේතුවක් ඇතිව බව ඔබට වැටහෙනු නිසැකයි. එනම්…

නිතර නිතර ඇතිවන හිසේ කැක්කුමට හේතුවුණේ  උදෑසන ආහාරය මඟහැරීම
උදෑසන ආහාරය මඟහැරෙන්න හේතුවුණේ ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීම 
ප්‍රමාණවත් කාලවේලාවක් නොතිබීමට හේතුවුණේ පමාවෙලා අවදිවීම 
පමාවෙලා අවදිවීමට හේතුවුණේ පමාවෙලා නින්දට යාම 
පමාවෙලා නින්දට යාමට හේතුවුණේ ඕනෑවට වඩා රුපවාහිනිය නැරඹීම

අන්න ඒ නිසායි මේ සිද්ධාන්තයට ‘පංච හේතු - ඵල න්‍යාය’ කියන නම වඩා සුදුසුයි කියලා හිතුවේ. ඒ වගේම සමහරවිට මේ උදාහරණය එතරම් යෝග්‍ය නොවෙනවා වන්න පුළුවන්. ඒත් මම මෙයින් උත්සාහ කළේ මෙම වටිනා සිද්ධාන්තයේ හරය ඔබට‍ පැහැදිළි කිරීමටත් එම සිද්ධාන්තය ඵලදායී අයුරින් ඕනෑම අවස්ථාවක් සඳහා යොදාගත හැකි බැව් පෙන්වාදීමටත් පමණි.

ගැටලුවකට බලපාන හෝ හේතුවන ප්‍රධානතම හේතුව සොයායන මෙම ක්‍රමවේදය සොයාගන්නා ලද්දේ ජපන් කාර්මික විප්ලවයේ පියා ලෙස ජපන් වැසියන් අතර මහත් ගෞරවයට පාත්‍රවන ‘ටොයෝටා කර්මාන්ත’ සමාගමේ නිර්මාතෘ ‘සකිචි ටොයෝඩා’ විසිනි. වඩා කාර්යක්ෂමතාවයක් ඇතිකිරීම මඟින් ‘ටොයෝටා නිෂ්පාදන ක්‍රියාවලියේ’ අභිවර්ධනය කිරීම උදෙසා මෝටර් සංස්ථාවේ නිෂ්පාදන ක්‍රමවේදයේ නවමු  මඟක් ලෙස මෙම ‘පංච හේතු - ඵල න්‍යාය’ යොදාගැනීම ඔහුගේ අරමුණ විය.

Sunday, July 29, 2012

නර්තනයේ විකසනය ‘නඕ’ගෙන්

naoමෙහි ඉහළින් දක්වා ඇති වීඩියෝවත් පහළින් දක්වා ඇති වීඩියෝවත් එකවර ක්‍රියාත්මක කර බලන්න. පහළින් දැක්වෙන්නේ ඔබ දැනටමත් අනේක වාරයක් නරඹා ඇති ජූඩ්සන් ලෙයිප්ලිගේ සුප්‍රසිද්ධ ‘නර්තනයේ විකසනය’ නම් වීඩියෝව වන අතර ඉහළින් දැක්වෙන්නේ එම නර්තනයම කේතගතකර, අතිශය මිනිස් හැසිරීම්වලින් යුතු ‘නඕ’ රොබෝවරයෙකුව නර්තනයේ යෙදීමට සැලැස්වූ අවස්ථාවට අදාල වීඩියෝවයි.

නවෝගේ ‘නර්තනයේ විකසනය’

වීඩියෝ දෙකම එකවර ක්‍රියාත්මකකර බලන්න.

ජූඩ්සන් ලෙයිප්ලිගේ ‘නර්තනයේ විකසනය’

නඕගේ නර්තනය සියයට සියයක් ජූඩ්සන්ගේ නර්තනයට සමාන නොවුණද කෙතරම් සිත්ගන්නාසුළුද බලන්න.

නඕ රොබෝවරු ගැනත් එම රොබෝවරු නිෂ්පාදනය කරන ඇල්ඩිබරන් රොබෝ නිෂ්පාදන ආයතනය ගැනත් වෙනත් දවසක විස්තර ගෙන එනතුරු…

රොබෝවරුන්ගේ තවත් නර්තන කිහිපයක් පහළින්…

Nao - Thriller Kpop Dancing Robots Nao Robot - Tribute to Michael Jackson 20 Nao Robots Dancing in Synchronized Harmony

Thursday, June 21, 2012

සුපුරුදු දුම්රිය ගමනේ නුපුරුදු අත්දැකීම

කෝපන්හේගන් ෆිල්හාමොනික් වාදක වෘන්දයපසුගිය දිනෙක ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් උමං දුම්රිය මධ්‍යස්ථානය කරා සුපුරුදු පරිදි ළඟාවුණු දුම්රියකි. එහි එක්තරා මැදිරියකට ගොඩවුණු මගීන් පිරිසකට තම ගමන අතරතුරදී මුහුණදෙන්නට සිදුවුණු අපූරු අත්දැකීමකි.

දුම්රිය මැදිරියට ගොඩවුණු මගීන් අත්විඳි අපූරු අත්දැකීම

 

 

 

 

 

 

 

 

 

මේ වැයෙන්නේ නෝර්වීජියානු ජාතික එඩ්වඩ් ග්‍රීග් නැමැති සුප්‍රකට සංගීතවේදියා විසින් රචිත අද්විතීය නිර්මාණයක් ලෙස එදාමෙදාතුර මහත් ජනාදරයටපත් ‘පියර් ගින්ට්’ නැමැති සංගීත සංධ්වනියට අයත් සුමියුරුතම ‘මෝනිං මූඩ්’ වාද්‍ය ඛණ්ඩයයි. මැදිරියට ගොඩවුණු මගීන් පුදුමයටත් රසවින්දනයටත් පත්කරමින් මෙය ඉදිරිපත් කරනලද්දේ කෝපන්හේගන් ෆිල්හාමොනික් වාදක වෘන්දය විසින් වන අතර වීඩියෝවේ අන්තර්ගත සියළුම නාද ඉදිරිපත් කරනලද්දේ හා පටිගත කරනලද්දේ දුම්රිය මැදිරිය තුළදීමයි.

බලන්න, මෙම මහඟු අත්දැකීම සජීවීව විඳගන්න වාසනාව ලද අය එයින් මොනතරම් ප්‍රීති ප්‍රමෝදයට හා රසාස්වාදයට පත්වුණාද යනවග ඒ අයගේ මුහුණුවලින් කියැවෙන අපූරුව. 

Wednesday, June 13, 2012

පස් සුළු ගැටළු විසඳන අයුරු

අද ඔබ වෙත‍ ගෙන එන්නේ ගියවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනලද ‘සිත්ගන්නාසුළු පස් සුළු ගැටළු’ වලට විසඳුම් වන බැවින් එම ලිපිය කියැවීම ඔබට‍ මඟහැරුණි නම් පළමුව එම ලිපිය කියවා මෙම ගැටළු පහ විසඳීමට උත්සහ කිරීම වටී.

1 . තිත් නවයේ ගැටළුව

qa1_thumb55නීති රීති :- සෘජු සරල රේඛා හතරක් පමණක් යොදාගෙන සියළුම තිත් හරහා ගමන්කළ යුතුය. එක රේඛාවක් අවසන්කළ ස්ථානයෙන් ඊළඟ රේඛාව ආරම්භ කල යුතුය. (ඉඟිය :- ඔබ අඳින කිසිදු රේඛාවක් ආරම්භවන හෝ වසන්වන ස්ථානය තිත් නවයෙන් එකක් වීම අනිවාර්යය නොවේ.)

නිවැරදි විසඳුම

aaa1

 

2 . පාද ඡේදන ගැටළුව

qb1_thumb3රූපයේ ඇති සියළුම පාද එක වරක් පමණක් ඡේදනය වන පරිදි තනි නැමි රේඛාවක් එකවර ඇඳිය හැකිද ?

 

 

පිළිතුර :- නොහැක

එයට හේතුව මෙසේ පැහැදිලි කළ හැක. නැමි රේඛාව කොටුවෙන් කොටුවට පිවිසීමේදී එක් කොටුවක සිට තවත් කොටුවකට පිවිසීමට නම් කොටුවකට ඇතුළුවන සෑම අවස්ථාවකම ඉන් පිටවිය යුතුය. එවිට එම කොටුවේ පාද දෙක බැගින් ඡේදනයට ලක්වේ. එමනිසා කොටුවක සියළුම පාද ඡේදනය කිරීමට නම් පාද ඉරත්තේ සංඛ්‍යාවක් තිබිය යුතුය. නමුත් අවස්ථා දෙකකදී පමණක් පාද ඔත්තේ සංඛ්‍යාවක් තිබුණාට ගැටළුවක් ඇති නොවේ. ඒ නැමි රේඛාව ආරම්භ කරන කොටුව හෝ අවසන් කරන කොටුවයි. නමුත් මෙම ගැටළුවේ පාද ඔත්තේ සංඛ්‍යාවක් ඇති කොටු තුනකි. මෙය විසඳිය නොහැකි ගැටළුවක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

a23

 

3. දිශා ගැටළුව

qc1_thumb1ඉදිරියට ඇදෙන බසය ගමන්කරන්නේ වමටද ? දකුණටද ?

 

 

 

 

උත්තරය

රූපයේ බසයේ දොරටු පෙනෙන්නට නැත. එබැවින් මාර්ගයේ වම්පසින් රථවාහන ධාවනයවන රටකදී නම් බසය ධාවනයවන්නේ ඉදිරියට නම් උත්තරය ‘දකුණට’ වියයුතුය. මාර්ගයේ දකුණුපසින් රථවාහන ධාවනයවන රටකදී නම් බසය ධාවනයවන්නේ ඉදිරියට නම් උත්තරය ‘වමට’ වියයුතුය.

 

4. අඹ ගැටළුව

ද්වාර තුනක් පසුකරමින් උයනකට පිවිසි මම උයන අඹ වලින් පිරී තිබෙනු දැක ඉන් ටිකක් අහුලා ගතිමි. ඉන්පසු උයනෙන් පිටව යාමට සිතා මා අන්තිමට පසුකළ ද්වාරය අසලට පැමිණ එහි දොරටුපාලකයාට මා විසින් අහුලාගත් අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහු මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එම ද්වාරයෙන් පිටව ඉතිරි අඹ ටිකත් රැගෙන නැවත ගමන් ඇරඹි මම දෙවන ද්වාරය අසලදී එහි දොරටුපාලකයාටද ඒවනවිට මා සතුව පැවති අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහුද මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එම ද්වාරයෙන්ද පිටව ඉතිරි අඹ ටිකත් රැගෙන නැවතත් ගමන් ඇරඹි මම තෙවන එනම් අවසාන ද්වාරය අසලට පැමිණ එහි දොරටුපාලකයාටද අවසානයට මා සතුව පැවති අඹ වලින් හරි අඩක් දුන්නෙමි. ඔහුද මට අඹ ගෙඩියකින් හරි අඩක් ආපිට ලබාදුනි. එයද රැගෙන එම ද්වාරය හරහා උයනෙන් පිටව යද්දී මා සතුවුයේ ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් පමණක්ම නම් මා විසින් උයනෙන් අහුලාගන්නාලද අඹ සංඛ්‍යාව කොපමණද ?

qd1_thumb32

 

ගණිතමය විසඳුම

aa3

තාර්කිකමය විසඳුම ( සිදුවීම් පෙළ ආපස්සට විමසීම )

උයනෙන් පිටවන විට ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් පමණක් මා සතුවූයේ තෙවන ද්වාරයේ දොරටුපාලකයා මා වෙත ආපිට ලබාදුන් අඹ ගෙඩි භාගයත් සමඟිනි. එනම් ඔහු එම අඹ භාගය දීමට ප්‍රථම මා සතුව තිබී ඇත්තේ අඹ ගෙඩි භාගයක් පමණි. එසේනම් මා විසින් ඔහුට ලබාදී තිබෙන්නේද අඹ ගෙඩි භාගයකි. ඔහුට අඹ ගෙඩි භාගයක් ලබාදීමට නම් අඹ ගෙඩි එකක් මා සතුව තිබිය යුතුය. එනම් මා තෙවන ද්වාරය කරා පැමිණ ඇත්තේ අඹ ගෙඩි එකක් අතැතිවයි. මේ අනුව තෙවන ද්වාරයෙන් සේම දෙවන ද්වරයෙන්ද මා පිටව ඇත්තේ ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් පමණක් අතැතිවයි. තවද සෑම ද්වාරයකදීම් සිදුවන්නේ තෙවන ද්වාරයේදී සිදුවන සිදුවීමට සමානවූවක් නිසා මා විසින් ඕනෑම ද්වාරයක් කරා පැමිණෙන්නේද ඉන් පිටවෙන්නේද ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් අතැතිව බව පැහැදිළිවේ. එමනිසා මා පළමුවන ද්වාරය කරා පැමිණ ඇත්තේද ප්‍රමාණයෙන් එක් අඹ ගෙඩියක් අතැතිවයි. එසේනම් මා විසින් උයනෙන් අහුලාගන්නාලද අඹ ගෙඩි සංඛ්‍යාව එකකි.

 

5. කොටු පුරවන ගැටළුව

q51_thumb2රූපයේ දැක්වෙන පරදි සෑම දිශාවකටම එකතුව 15 වනසේ කොටු නවය පුරවන්න. භාවිත කළයුත්තේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන ඉලක්කම් නවය පමණි. එක් ඉලක්කමක් භාවිත කළහැක්කේ එක් වතාවක් පමණි.

 

 

විසඳුම

ඉලක්කම් වශයෙන් සැළකීමෙන්

පළමුවෙන්ම 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන සංඛ්‍යා තුන බැගින් එකතුවීමෙන් 15 වියහැකි අවස්ථා සියල්ල ලියාගනිමු.

a5p1a5p2a5p3

එක් එක් කොටුව පිහිටි ස්ථානය අනුව සැළකීමෙන්

aaa7

a අකුර වෙනුවට යෙදෙන ඉලක්කම අවස්ථා තුනකදී තවත් ඉලක්කම් දෙකක් සමඟ එකතුවීමෙන් එකතුව ‘15’ ට සමාන වියයුතුය. එමෙන්ම c, g, හා i යන අකුරු වෙනුවට යෙදෙන ඉලක්කම්ද ඊට සමානවම හැසිරේ. එසේනම් එකේ සිට නවය දක්වාවූ ඉලක්කම් අතුරින් අවස්ථා තුනකදී එකතුව 15 වීමට දායකවන ඉලක්කම් මොනවාද ?

2, 4, 6, 8
මේ අනුව a, c, g, හා i යන අකුරු වෙනුවට යෙදිය හැකි ඉලක්කම් මේවා වේ.

එමෙන්ම b අකුර වෙනුවට යෙදෙන ඉලක්කම අවස්ථා දෙකකදී තවත් ඉලක්කම් දෙකක් සමඟ එකතුවීමෙන් එකතුව ‘15’ ට සමාන වියයුතුය. එමෙන්ම d, f හා h යන අකුරු වෙනුවට යෙදෙන ඉලක්කම්ද ඊට සමානවම හැසිරේ. එසේනම් එකේ සිට නවය දක්වාවූ ඉලක්කම් අතුරින් අවස්ථා දෙකෙකදී එකතුව 15 වීමට දායකවන ඉලක්කම් මොනවාද ?

1, 3, 7, 9
මේ අනුව b, d, f හා h යන අකුරු වෙනුවට යෙදිය හැකි ඉලක්කම් මේවා වේ.

තවද e අකුර වෙනුවට යෙදෙන ඉලක්කම අවස්ථා හතරකදී තවත් ඉලක්කම් දෙකක් සමඟ එකතුවීමෙන් එකතුව ‘15’ ට සමාන වියයුතුය. එසේනම් එකේ සිට නවය දක්වාවූ ඉලක්කම් අතුරින් අවස්ථා හතරෙකදී එකතුව 15 වීමට දායකවන ඉලක්කම් මොනවාද ?

5
මේ අනුව e අකුර වෙනුවට යෙදිය හැකි ඉලක්කම මෙය වේ.

එමනිසා මුලින්ම ‘e’ අකුර වෙනුවට ‘5' ඉලක්කම යොදමු.

al5