Monday, June 23, 2014

තවත් එක් ගුරු ගීතයක් - අහන්නට අවසර බිඳක්

ගුරු ගීතය
            
       සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
       මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම්

       ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
       නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

       හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා
       කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා
 
       කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ
       ශිල්ප වඩන ඔබ නොමඟ යැවූ  දා මා ඇදුරිඳු වේදෝ
 
       සමාවන්න මට ඇදුරුතුමනි මගෙ සිර කරලමි හැඟුමන්
       පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්
 
       ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
       නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

චිංගීස් තුරේකුවොලිච් අයිත්මාතෝෆ් අතින් ලියැවුණු ‘The First Teacher’ ඇසුරෙන් දැදිගම වී. රුද්‍රිගු ලේඛකයානන් අතින් සිංහලයට පෙරළුණු ‘ගුරු ගීතය’ ඔබ විසින් කියවා ඇති නම් අයි. ඩි. ජයතිස්සයන් අතින් පබැඳුණු තිස්සසිරි පෙරේරා ගේ මනහර සංගීත රචනයෙන් මනා සේ ඔපවත් වුනු මේ සුමිහිරි ගීතය ඔබේ හදවතට සමීප වනු නොඅනුමානයි.
 
දුයිෂෙන් ගුරුතුමා තම සිසුවිය වූ අල්තීනායි කෙරෙහි තම සිත තුළ ඉබේ හටගත් කිසිලෙසකින්වත් අවස්ථාවාදී නොවූ පරම පිවිතුරු ප්‍රේමණීය සිතුවිලි, වචනයෙන් හෝ ස්පර්ශයෙන් ඇති කරගත හැකි පටු ආශ්වාදයකින් යටපත් වන්නට ඉඩ නොදී තම සිත තුළම රැකගත්තෙකි. මෙම ගීතයෙන් කියැවෙන ගුරුවරයා තුළ, දුයිෂෙන් තුළ මෙන් තම සිසුවිය පිළිබඳ හුදු ප්‍රේමණීය හැඟීම් පහළව ඇති බවට‍ ගුරුවරයාගේ පාර්ශ්වයෙන් සඳහනක් නොමැති වුවද මේ දෙදෙනා තුළම ගුරුවරුන් හැටියට තම සිසුවියගේ අනාගතය කෙරෙහි පවතින වගකීම් සහගත ස්වරූපය නම් එක හා සමාන වේ. නමුත් සිසුවියන් දෙදෙනා තුළම මෝදුවන නොඉඳුල් ප්‍රේමණීය සිතුවිලි එක හා සමාන වන අතරම තම ගුරුවරයා තුළද තමා පිළිබඳ දැඩි ප්‍රේමයක් ජනිතව ඇති බව වරදවා සිතන මෙම ගීතයෙහි දැක්වෙන සිසුවිය තම හැඟීම් තාවකාලිකව හෝ සිතෙහි සිරකර ගන්නට තම ගුරුවරයාට පොරොන්දු වුවද අල්තීනායි එසේ සිතුවිලි සිරකර ගත්තියක නොවුවාය.
 
කුඩා කාලයේ මා මේ ගීතය අසා රසවින්දේ මායා දමයන්ති සහ ලක්ෂ්මන් විජේසේකරගේ හඬින්. එම ගීතයේ මුල් පටිගත කිරීම මෙම සබැඳුම http://www.infolanka.com/miyuru_gee/xx/x451.ram ඔස්සේ රසවිඳිය හැකි වුවද එහි තිබෙන ඇතැම් බාහිර ශබ්ද ගීතයේ සැබෑ රසයට මෙන්ම ඔබේ ශ්‍රවණයට භාදා ගෙනදෙන බැවින් පහළින් ඔබට‍ ගෙන එන්නේ පසු කලෙකදී මායා දමයන්තිය සිය සැමියා වික්ටර් විජයන්තයන් සමඟ සජීවීව ඉදිරිපත් කරන එම ගීතයේම වීඩියෝ දසුනයි.


Thursday, June 12, 2014

කම්පාවිය හද - දැකුමෙන් මෙවදන

නාමල් උදාර පියසිරි

මේ ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි.

මේ දිරිමත් පුතුගේ සැබෑ දක්ෂතාවය මෙන්ම සැබෑ වටිනාකම ගැන නොදන්නා කෙනෙකු දැන් ලංකාවේ තබා ලෝකයේද සිටිනු අල්පය. එබැවින් මා මේ ලිපිය ලියන්නේ ඔහු ගැන ඔබට කියන්නට නොවේ. ඔහු ගැන නොදන්නා දේ දැනගැනීමට පහත දැක්වෙන පිවිසුම් සබඳතා ඔබට‍ උපකාරී වනු ඇත.

තඹුත්තේගම නාමල් උදාර පියසිරි නමින් අහසේ තරුවක් ඇමරිකාව නම් කරයි

ගෙදර කුඹුර උකස්‌ කර කුඹුරු වැඩට නව යන්ත්‍රයක්‌ හැදූ කොලු ගැටයා

නමුත් තවදුරටත් නොකියා සිටිය නොහැකි දෙයක් ඔබට කියන්නට සිදුව තිබේ.

තම නව සොයාගැනීමක් හෝ විශේෂිත දක්ෂතාවයක් උදෙසා උපහාරයට ලක්වුණු මෙවැනි ශ්‍රී ලාංකික සම්භවය තිබෙන අනෙකුත් ඕනෑම දරුවෙකුට වඩා මොහුගේ වටිනාකම වැඩි වැඩියෙන් ඔපවත් වී පෙනෙනුයේ ඔහු මේසා මාහැඟි දක්ෂතාවයක් දක්වා තිබෙන්නේ, ශ්‍රී ලාංකික මවුපියන්ට දාව මෙරට තුළදී හෝ පිටරටකදී සියළු කායික මානසික සැප සම්පත් සහිත නිවෙසක ඉපිද සුපිරි අධ්‍යාපනයක් ලබමින් හැදුණු වැඩුණු දරුවෙකු නොවී, මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන සාමාන්‍ය පවුල් පසුබිමක් තුළ බිහිව සාමාන්‍ය වටපිටාවක හැදෙමින් මේ රටේ සාමාන්‍ය අධ්‍යාපනය ලබමින් වීමයි.

නමුත් මා මේ කියන්නට යන්නේ ඒ ගැනද නොවේ. ලොවක් වටිනා පුතෙක් ලද සංවර්ධනය වෙමින් පවතින රටක වෙසෙන ඔබටත් මටත්  සිතන්නට සිදුව තිබෙන වෙනත් යමක් ගැනයි.

එනම්… ඔහුගේ සිතට නැගුණු මේ කියමන අපට පසක්කර දෙන්නේ ‘රටකට ප්‍රමාණාත්මක දියුණුවක් පමණක් ප්‍රමාණවත් වේද ?’යන කාරණය ගැන අප සිතිය යුතුම බැව් නොවේද ???

ජනතා නියෝජිතයිනි, ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරී බලධාරීනි, ඔබ සතු සැබෑ මෙහෙවර ගැන සිතන්නට කාලයයි මේ. සාමාන්‍ය ජනතාව වන අපට බොහෝ දේ සිතිය හා කිව හැකි මුත් අපවද එක්කාසු කොටගෙන බොහෝ දේ මහා පරිමාණයෙන් කළ හැක්කේ ඔබටයි.

කෙසේනමුත්…

පුතේ... නුඹ කිසිදා කළකිරෙන්නට එපා. නුඹව කොහොමටත් අවැසි මේ රටේ නුඹ සම්පතක් බව සිතන, දැනෙන හා හැඟෙන අතලොස්සක් හෝ සිටින නිසා.

නුඹට දිරිදෙන්නට, නුඹේ අවැසිකම් නිඹඳ සපුරාලන්නට ඔවුන් පෙළගැසී සිටිනු ඇත.