Tuesday, April 30, 2013

පොලිසියටත් ‘ලැම්බෝගිනි’

හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ?

පොලිසියටත් ලැම්බෝගිනිමේ අනුව ඩුබායි පොලිසියේ නිළ වර්ණය වන කොළ සහ සුදු වර්ණයෙන් වර්ණාලේපිත දැකුම්කළු 'ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර්' තරඟ ධාවන මෝටර්රථ පොලිස් මුර සංචාරක සේවා කටයුතු සඳහා නිළ රථ ලෙස භාවිතය දැනටමත් පටන්අරගෙන කියලයි ආරංචිය. මේවායේ භාවිතය විදෙස් සංචාරක නැවතුම්පොළවල් සහිත ප්‍රදේශවලට පමණක් සීමාවන අතර මෙවැනි අතිසුඛෝපභෝගී නවීනතම සුපිරි මෝටර්රථ පොලිස් සේවය සඳහා යොදාගැනීමේ ප්‍රධානතම අරමුණ තම ජේත්තුකාරබව විදහා දැක්වීමෙන් විදේශීය සංචාරකයන් උද්දාමයට පත්කිරීම මිසෙක මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමම නොවන බවයි පොලිසියේත් අදහස.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය තුළදී, ඉතාලියෙහි නිෂ්පාදිත මෙම එක් එක් රථයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂයක් ($400,000.00) පමණ වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර තුන්සිය හතළිස් නවයක් (349km/h) පමණ වෙනවා.

මේ අතර ඩුබායි පොලිස් සේවාව සඳහා යොදාගන්නා සියළුම රථවාහනවල ගුණාත්මකභාවයේ සමස්ථ ඉහළ නැංවීමක් සිදුකර ඇති අතර ඒ අතරින් ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර් අනර්ඝතම මිලදීගැනීම බවයි එරට‍ මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද ලැම්බෝගිනි තරඟ ධාවන මෝටර්රථ පොලිස් සේවය සඳහා යොදාගන්නා පළමුවැනි අවස්ථාව මෙය නොවන අතර මීට පෙර මෙවැනි සුපිරි මෝටර්රථ පොලිස් සේවය සඳහා භාවිත කරන ඉතාලිය, පැනමාව, කටාර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය වැනි රටවල්වල පොලිස් බලඇණි අතරට අළුතින්ම එකතුවී සිටින පොලිස් බලඇණිය ලෙසයි ඩුබායි පොලිස් බලකාය ඉතිහාසයට එකතු වෙන්නේ.

ඩුබායි පොලිස් සේවාව සඳහා ලැම්බෝගිනි තරඟ ධාවන මෝටර්රථවල ආගමනය එරට නිළ පොලිස් ට්විටර් ගිණුම ඔස්සේ පින්තූරයක්ද සහිතව ට්වීටර් පණිවුඩයකින් ජනතාව දැනුවත් කර ඇත්තේ මෙලෙසිනි "Latest #Dubai_Police patrols, now at your service". මේ තිබෙන්නේ එම සම්පුර්ණ ට්වීටර් පණිවුඩයයි.

සෝබනයට මිලාධික භාණ්ඩ මිලදීගැනීම සහ පරිහරණය කලාවක් ලෙසින් සලකන සුපිරි ධනවතුන් වෙසෙන ඩුබායි නගරයේ පොලිසියටත් ලැම්බෝගිනි තිබුණහම මොකද ?

Monday, April 29, 2013

විදුලි හටන

නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න)

විදුලි හටන

(මෙහි දැක්වෙන පින්තූරය මත ක්ලික් කිරීමෙන් එය පැහැදිලිව දැකගත හැකි පිටුවකට පිවිසිය හැක.)

විදුලි බුබුළු ගැන හිතන විට අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට අපේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් තම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ජනකය, ගුවන් විදුලි තරංග, එක්ස් රේ කිරණ, ප්‍රතිදීප්ත පහන්, නියෝන් විදුලි බුබුල, නියෙමු මිසයිල, ඇතුළු තුන්සියයක් පමණ නව සොයා ගැනීම් කලද කිසිදා ප්‍රසිද්ධිය හෝ මුදල් හඹා නොගිය නිහඬව, නිහතමානීව තම ගමන ගිය ලෝකයට අසීමිත බල ශක්ති සැපයුමක් පිළිබඳ නිරතුරුව සිහින දුටු නිකොලා ටෙස්ලා නම්වූ ඒ අසහාය විද්වතා ගැන අප අසා තිබෙන්නේ මොනවාද ?

1870 වසරේ පටන් නිව්යෝර්කය විදුලියෙන් ආලෝකමත්වූ නගරයකි. ඒ සරල ධාරා විද්‍යුතයෙනි. සරල ධාරා විද්‍යුතය විදුලි පහන් දැල්වීමට මෙන්ම විද්‍යුත් චාලක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට තරම් ප්‍රමාණවත් වුවද දිගු දුරක් ගලා යාමට තරම් කාර්යක්ෂම නොවුනි. පිළියම ලෙස යොදා ගත්තේ සැතපුමෙන් සැතපුමට විදුලි බලාගාර ඉදිකිරීමයි. නමුත් ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගනිමින් මාරුවෙන් මාරුවට විභවය අඩු වැඩි කරමින් දුර පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගත හැකිව තිබිණි. මේ බැව් මුළින්ම වටහා ගත්තේ, අද අපට නැතිවම බැරි ප්‍රත්‍යාවර්ථ ධාරාව ලොවට සොයා දුන් අපූර්වතම මිනිසා නිකොලා ටෙස්ලා විසිනි. ඔහු විසින් අළුතෙන් සොයාගන්නා ලද ප්‍රත්‍යාවර්ථ ධාරාව, සරල ධාරාවට වඩා වැඩි ඵලදායිතාවයකින් යුක්ත බැව් අවබෝධ කරගත් ටෙස්ලා, වෙහෙසුනේ ප්‍රත්‍යාවර්ථ ධාරාව උපයෝගී කරගනිමින් ප්‍රයෝජනයට ගත හැකි විද්‍යුත් චාලක යන්ත්‍රයක් නිපදවීමටයි.

කෙසේ නමුත් ටෙස්ලාගේ ආගමනයට පෙර සරල ධාරාව යොදා ගනිමින් නිව්යෝර්ක් නගරය ආලෝකමත් කිරීමට පුරෝගාමී වූයේ අන්කිසිවෙකු නොව සරල ධාරා විද්‍යුත් චාලක යන්ත්‍රයත් තාපදීප්ත විදුලි පහනත් නිපදවීමෙන් ලෝකය විප්ලවීය වෙනසකට ලක් කළ ‘තෝමස් අලවා එඩිසන්’ නම්වූ අද්විතීය විද්‍යාඥයා විසිනි.

සොයාගත් අළුත විදුලිය මිනිසා මහත් කැළඹීමට පත් කරන්නක් විය. එහෙයින් එසමය තෝමස් අලවා එඩිසන් හට ඉතාමත් සුවිශේෂී තීරණාත්මක යුගයක් විය. ටෙස්ලා එඩිසන් හමුවීමට තීරණය කරන්නේ එඩිසන්ගේ ජිවිතයේ කීර්තිමත්ම කාලය ලෙසින් සැළකෙන මේ අවදියේදීය. ඒ තමාගේ සිත යට කැකෑරෙන ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුත් චාලක යන්ත්‍රය නිපදවීම පිළිබඳ අදහස වටහා ගැනීමක් හෝ නිසි අගය කිරීමක් කල හැකි එකම පුද්ගලයා ඔහු බව සිතමිනි. නමුත් සිදු වන්නේ වෙනෙකකි. ප්‍රත්‍යාවර්ථ ධාරාව එකහෙළාම ප්‍රතික්ෂේප කරන තැනැත්තෙකු වූ එඩිසන් ටෙස්ලාව යොදා ගන්නේ සරල ධාරා උත්පාදන විද්‍යුත් ජනකය හා සරල ධාරා විද්‍යුත් චාලක යන්ත්‍රය නිපදවිමටයි. ඒ එම කර්තව්‍යය සාර්ථකව නිම කළහොත් ඩොලර් පන්දහසක් ලබාදෙන පොරොන්දුව පිටයි. තම දිවියේ මහත්සේ අගය කරන පුද්ගලයාගේ අනුදැනුම ඇතිව වැඩ කිරීමට ලද අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රීතියටත් උද්දාමයටත් පත්වෙන ටෙස්ලා තම චාලක යන්ත්‍රය පිළිබඳ අදහසද යටපත් කරගනිමින් දින කිහිපයක් දිවා රෑ නොබලා වෙහෙසී තම කර්තව්‍යය මනා ලෙස ඉටුකැර එඩිසන් හමුවීමට යන්නේ නිසි අගය කිරීමක් ප්‍රශංසාවක් ලැබීමේ බලාපොරොත්තුවෙන්. එහෙත් එඩිසන් පොරොන්දු වූ ප්‍රසාද දීමනාව ලබාදීම ප්‍රතික්ෂේප  කරන්නේ ඇමෙරිකානුවන්ගේ ගතිසිරිත් ගැන වැටහීමක් නොමැතිකම ගැන ටෙස්ලාව සමච්චලයට පවා ලක්කරමිනි. මහත් සේ කළකිරීමටත් වේදනාවටත් පත්වන ටෙස්ලා එඩිසන්ගේ පර්යේෂණාගාරයෙන් සදහටම නික්ම යන්නේ තම ආත්ම අභිමානය පෙරදැරිවය.

ආයෝජකයන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව නොබෝ කාලයකින් තමාගේම පර්යේෂණාගාරයක් අරඹන ටෙස්ලා කාලයක් තිස්සේ හිතේ හොල්මන් කරමින් උන් ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුත් චාලක යන්ත්‍රය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීම අවස්ථාව සලසා ගන්නේ ඉන්පසුවයි. තවද අදටත් භාවිතයේ පවතින, ප්‍රත්‍යාවර්ථ ධාරාව නිපදවීමටත් බෙදාහැරීමටත් උවමනා කරන සියළුම උපාංග නිපදවන්නේද මෙහිදීයි. එයින් වසර පහක් මතුවට නව නිපැයුම් විසි දෙකක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගන්නා අතර ඒවා දුරකථනය සොයාගැනීමෙන් පසු නිකුත්කරන ලද වටිනාම සොයාගැනීම් අතරවේ.

එවකට වෝල් වීදියේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම මුල්‍ය ආයෝජකයෙකු වූ ජෝර්ජ් වෙස්ටින්ග්හවුස්, ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ථ ධාරාව ආශ්‍රීත නව නිපැයුම් වල වටිනාකම ගැන පැහැදීමෙන් ඔහු සතු ප්‍රත්‍යාවර්ථ ධාරාව ආශ්‍රීත සියළු නව නිපැයුම් වල පේටන්ට් බලපත්‍ර ඩොලර් මිලියනයක් ගෙවා මිලදී ගන්නේ ඒ අසුරෙන් නිපදවන ඕනෑම නිෂ්පාදනයකින් උත්පාදනය කරන සෑම කිලෝවොට් එකක් සඳහාම ඩොලර් දෙකයි පණහක මුදලක් ආපිට ටෙස්ලාට ගෙවීමට පොරොන්දු වෙමින්. ටෙස්ලාට ජිවිතයේ පළමු වතාවට මුදලින් මෙන්ම ප්‍රසිද්ධියෙන්ද පොහොසත් වීමට මග පෑදෙන්නේ මෙලෙසිනි. කිසිදා නොවූ විරූ අයුරින් ඔහු සතු උසස් හැකියාවන්ට නිසි ඇගයීමක්‌ වටිනාකමක් ලැබෙමින් ලෝකයාගේ ඉමහත් ගෞරවයටත් සැළකිල්ලටත් ලක්වන්නේ ඔහුගේ ආත්ම අභිමානය මෙන්ම ප්‍රීතිය තම එදිරිවාදී එඩිසන්ගේ තදබල ඉරිසියාවට බඳුන් වෙමිනි. ප්‍රත්‍යාවර්ථ විදුලියට අකමැති එඩිසන්ගේ මෙම ඉරිසියාව අවසානයේ වයිරයකට පෙරළෙන්නේ ටෙස්ලාගේ නව සොයාගැනීම් දෝෂදර්ශනයට ලක් කිරීමේ ප්‍රයත්නයකට අරාදිමිණි.

ටෙස්ලා කෙරෙහි සෘණාත්මක චින්තනයක් ඇතිකරනුවස් ජනමාධ්‍ය යොදා ගැනීමේ අරමුණෙන් වෙහෙසෙන එඩිසන්ගේ පෞද්ගලික මතය ප්‍රත්‍යාවර්ථ ධාරාව භාවිතය සම්පුර්ණයෙන්ම අත්හළ යුතු බවයි. එයට හේතුව ලෙස ගෙනහැර පාන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාව භාවිතයට නුසුදුසු භයානක දෙයක් බැව් කියමිනි. ඔහු එහි භයානකත්වය ඔප්පුකිරීමට තම සගයන් සමඟ එක්ව වෝල්ට් හයදහස් හයසියයක අධි විභවයකින් යුතු ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවක් යොදාගනිමින් ටොන් තුනක් බරැති ‘ටොප්සි’ නම් ඇතින්න ප්‍රසිද්ධියේ විද්යුත්හනනයට එනම් විදුලිසැර වද්දවා ඛේදනීය ලෙස මරණයට පත්කරයි. තවද කාර්යශුර අශ්වයකු හා සුනඛයන් කිහිපදෙනෙකුද මෙලෙසම මරණයට පත්කරන ලදී. මෙයිනුදු නොනවතින එඩිසන් ප්‍රත්‍යාවර්ථ ධාරාව මිනිසුන් ජීවිතක්ෂයට පමුණුවන දරුණු අපරාධ සඳහා යොදාගත හැකි බැව් ඒත්තුගැන්වීමට හිඳ ගැනීමට සැලැස්වූ මිනිසෙකු එම අසුනටම අගුලුලා සිරකර අධි විභවයකින් යුතු ප්‍රත්‍යාවර්ථ විදුලි ධාරාවක් ශරීරය හරහා ගමන් කරවීමෙන් මරණයට පත් කල හැකි මාරාන්තික උපකරණයක් නිපදවයි. මාරාන්තික විදුලි පුටුව නිපදවෙන්නේ මේ අයුරෙනි.විදුලි සටනේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ ඉන්පසුවයි. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව ආරක්ෂිත බැව් සනාථ කිරීමට ටෙස්ලා ලද මහඟු අවස්ථාවයි.

කිසටෝපර් කොළොම්බස්ගේ ඇමෙරිකානු ආගමනය සිහි කරමින් එයින් වසර හාරසියයකට පසුව පැවැත්වීමට කටයුතු යෙදී තිබුණු ‘කොළොම්බියන්’ ලෝක කලා හා වෙළඳ ප්‍රදර්ශනය විදුලි එළියෙන් ආලෝකමත් වීමට නියමිතව තිබුණු, ලොව ප්‍රථම වෙළඳ පොළ විය. අක්කර හයසියයකට එනම් වර්ග කිලෝමීටර 2.4 ක පමණ සල්පිල් භූමිය ආලෝකමත් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණි. මේ අවස්ථාව හිමි කර ගැනීමට ජෙනරල් ඉලෙක්ට්‍රික් වෙළඳ සමාඟම ඩොලර් මිලියනයකට ආසන්න ඇස්තමේන්තුවක්ද වෙස්ටින්ග්හවුස් සමාඟම ඩොලර් අර්ධ මිලියනයක ඇස්තමේන්තුවක්ද ලංසු තැබූ අතර කොන්ත්‍රාත්තුව ඉබේම වෙස්ටින්ග්හවුස් සමාඟම අතට පත්වුණි. මෙයට පළිගැනීමක් ලෙස වෙස්ටින්ග්හවුස් සමාඟම සහ ටෙස්ලාව අධෛර්ය කරනුවස් ජෙනරල් ඉලෙක්ට්‍රික් වෙළඳ සමාඟම එඩිසන් විසින් නිපදවන ලද කිසිදු විදුලි පහනක් වෙළඳ සල්පිල ආලෝකමත් කිරීමට යොදාගත නොහැකි වනසේ උසාවි නියෝගයක් පනවා ගන්නා ලදී. නමුත් මෙයින් නොපසුබට වෙස්ටින්ග්හවුස් සමාඟම උපක්‍රමශීලීව ටෙස්ලාගේ උදව්වෙන් කඩිනමින් විදුලි පහනක් තැනීමෙන් සිදුවන්නට ගිය කරදරයෙන් ගැලවුණි. මේ වනවිටත් ටෙස්ලා ප්‍රතිදීප්ත පහනුත්, නියෝන් පහනුත් තනා තිබුණි.

උදාවූයේ ටෙස්ලාට තම නව නිපැයුම්වල ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ලොවට පෙන්වීමට සුදුසුම අවස්ථාවයි. ඔහු විසින් තනන ලද විශාල පරිමාණයේ විද්‍යුත් උත්පාදක යන්ත්‍ර මඟින් සල්පිළ් භුමියේ සියළුම ආලෝකකරණ කටයුතු සඳහා අවශ්‍යකරන විදුලි බලය සැපයීමට සිදුව තිබිණි. තවද ඔහුගේ සොයාගැනීම්වලට අනුව ප්‍රත්‍යාවර්ථ ධාරාව විශාල පරිමාණයෙන් උත්පාදනය කළහැකි බැව් ඔප්පු කිරීමටද මෙය ඉතා අනෙඟි අවස්ථාවක් විණි.

සිය දහස් ගණනක් නැරඹුම් කුළුණු සල්පිළ් භුමියේ සිටුවිණි. එවකට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා විසින් විදුලි යතුර හැරියා පමණි. අති දීප්තිමත් ප්‍රතිදීප්ත පහන් හා විවිධ වර්ණයන්ගෙන් යුතු නියෝන් විදුලි පහන් වලින් මුළු සල්පිළ් භුමියම ඒකාලෝක විණි. එදා මෙදාතුර ලෝකයේ පැවති අද්විතීයම ආලෝක ප්‍රදර්ශනය ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුතයෙන් එසේ ආලෝකමත් වුණි. ටෙස්ලාගේ නම කිසිදා නොමැකෙන ලෙසින් චිකාගෝ ඉතිහාසයට එක්වුයේ එලෙසිනි.

එපමණකුදු නොව ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුතය මහජන පරිභෝජනය සඳහා යොදාගත හැකි බවට මතයක්ද මේ සමඟම ඇතිවිණි. තවද ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය භාවිතය භයානක බවට එඩිසන් විසින් ඇතිකර තිබුණු මතය බිඳ හෙළීම සඳහා, ලද අවස්ථාවෙන් මනාලෙස ප්‍රයෝජන ගනුවස් ටෙස්ලා විසින් යොදාගත් ආදර්ශනද ඉතාමත්ම සිත්ගන්නාසුළු ඒවා විය. ඔහු අතින් ‘කොළොම්බස් බිත්තරය’ද නිපදවෙන්නේ මේ වෙනුවෙනි. ප්‍රත්‍යාවර්ථ ධාරා චාලක යන්ත්‍රය මගින් නිර්මාණය කරන ලද කැරකෙන විද්‍යුත් චුම්බක කලාපයක් ඇතිකර මධ්‍යයෙහි තැටියක් මත තඹ බිත්තරයක් උස අතට කැරකෙන්නට සැලැස්වීම එකකි.

අනෙක ඉහළ සංඛ්‍යාතයකින් යුතු ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ඔහුගේ අත දිගේ ශරීරය පුරා ගමන්කරන්නට සැලැස්වීමයි. මොහොතකින් සිරුරෙන් දිදුළන ආලෝකයක් විහිදුවමින් ඔහුව දීප්තියෙන් බැබළුණේ රැස්ව බලාසිටි ජනතාව ප්‍රීතියෙන් උන්මාදයට පත්කරවිමිණි. චිකාගෝහි කොළොම්බියන් වෙළඳපොල සහ ප්‍රදර්ශනය ඇමෙරිකානු චින්තනයේ මහත් පෙරළියක් ඇතිකිරීමට සමත්විණි. තවද එය අනාගත නව නගරයක අසිරිය එක්කරන්නක් විය. එය අලෝකමත්වී තිබුණේ ටෙස්ලාගේ අද්විතීය සොයාගැනීම් හා නව නිපැයුම් වලිනි.
මේ සියළ්ලටම වඩා වැදගත් වන්නේ ටෙස්ලා ළමාවියේ පටන් දුටු සිහිනය සැබෑ කරගැනීමට මඟ මඟපාදමිණි. ඒ කෙසේදයත්…

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ‘කෙල්වින්’ ස්වාමිවරයා එවකට ‘නයඟරා’ දිය ඇළ්ල සතු චාලක ශක්තිය භාවිතයට ගෙන විදුලිය උත්පාදනය කළහැකි මගක් සොයාගැනීමට පත්කර සිටි ජාත්‍යන්තර කොමිසමේ නියමුවා විය. නමුත් ඔහුගේ දැඩි මතය වුයේ ප්‍රත්‍යාවර්ථ ධාරාව භාවිතයෙන් තොරව මෙය සිදුකළ යුතුය යන්නයි. එහෙත් එය චමත්කාරජනක ලෙස වෙනස්වන්නේ කොළොම්බියන් වෙළඳපොල සහ ප්‍රදර්ශනයට සහභාගී වීමත් සමඟයි. ප්‍රත්‍යාවර්ථ ධාරා පද්ධතියේ වටිනාකම සියැසින්ම දකින ඔහු කොන්ත්‍රාත්තුව වෙස්ටින්ග්හවුස් සමාඟමට පැවරීමට එකහෙළාම පියවර ගනී. උදාවුණේ ටෙස්ලාගේ ළමාවියේ සිහිනය සැබෑකරගත හැකි හොඳම අවස්ථාවයි.

නයඟරා දිය ඇළ්ලෙහි සුවිසල් දිය කඳ සතු බලය උකහා ගන්නට යොදාගත්තේ මෙතෙක් තැනුණු විශාලතම විදුලි උත්පාදක යන්ත්‍රයි. ක්‍රියාත්මක කළයුතුව තිබුණේ ප්‍රත්‍යාවර්ථ ධාරාවෙනි. තාක්ෂණික අභියෝගය මහත් පසුබෑමකට ලක්වුයේ යන්ත්‍රය ක්‍රියාත්මක කළයුතු සංඛ්‍යාතය සම්බන්ධයෙන් ටෙස්ලා හා වෙස්ටින්ග්හවුස් ඉංජිනේරුවන් අතර පැවති පරස්පරවිරෝධී මතිමතාන්තරයි. කෙසේනමුත් අවසානයේ පද්ධතිය සකස්කර සවිකිරීම අවසන් වුවද එය ක්‍රියාත්මක කළහැකි එකම පුද්ගලයා බවට නිතැතින්ම පත්වූයේද ටෙස්ලාය. යන්ත්‍රය සැකසීම මුළුමනින්ම ටෙස්ලා විසින් ගණනයි කරන ලද තාක්ෂණික දත්ත වලට අනුකූලව සිදුවිණි. ඉතිරිව තිබුණේ විදුලි යතුර ක්‍රියාත්මක කිරීම පමණි. නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක විණි.

විදුලි ලොව විශිෂ්ඨයන් දෙදෙනෙකු අතර වූ සුප්‍රසිද්ධ ද්වන්ධ සටන නිමාවට පත්වන්නේ එලෙසිනි. විජයග්‍රහණයේ අභිමානය ටෙස්ලා සතු වෙමිනි. අද අපිට නැතිවම බැරි ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුතය මහජන පරිභෝජනයට එක්කරවිමිනි.

ඔබට විදුලි හටන ගැන තවත් විස්තර දැනගන්න ඕනෑනම් මෙන්න මේ යූටියුබ් වීඩියෝව නරඹන්නත් අමතක කරන්න එපා.

nikola-tesla-free-energy

tesla1teslatower1bday3bday5nich2

Friday, April 26, 2013

‘ටූනා’ ඔබයි අප හදවත මෘදු කරන

 
ටූනා

මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි.

“අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ බලු පැටවෙකු ගැන නොවෙයි මම මේ කතාකරන්නේ. ඇත්තෙන්ම ඔහු කෙනෙකුට අරගෙන ඇතිදැඩි කරන්නට හිතෙන විදිහේ බලු පැටවෙක් නොවෙයි. ඒ මොකද බහුතරයකට ඔහුගේ පෙනුම ආකර්ෂණීය ලෙස නොපෙනෙන නිසා.”

“මුව පුරා විහිදුණු යටි හනුව වසාගෙන ඉදිරියට නෙරාගිය උඩ දත් ඇන්ද පෙන්නුම් කරන විසිළු රූපය, හරියටම පෙඟුණු ස්පොන්ජ් එකක් වගේ රැළි ගැසුණු සමින් යුතු නිකට හා බෙල්ල ඔහුට ගෙනදුන්නෙ අවලස්සන පෙනුමක්. ඔහුගේ සැබෑ හිමිකරුවන් ඔහුව මේ විදියට අතහැරලා දාන්න ඇත්තෙ ඔහුගේ මේ අවලස්සන පෙනුම නිසාම වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. මම හිතන්නෙ නැහැ ඔහු තුළ තිබෙන ලස්සන ඔවුනට හරිහැටි හඳුනාගන්න පුළුවන්කම ලැබුණා කියලා. අන්න ඒ නිසායි ඒ අය ඔහුව ප්‍රතික්‍ෂේප කරන්නට ඇත්තෙ. නැත්නම් ඔහුව මෙහෙම ප්‍රතික්‍ෂේප කරන්න වෙන හේතුවක් නැහැනෙ. නමුත් ඔහුගේ වගේම මගේත් වාසනාවට ඔහුව මුදවාගත් කෙනාට හැකියාව ලැබුණා ඔහුගේ සුවිශේෂීබව හඳුනාගන්න. ඒ නිසයි ඇය තීරණය කරලා තියෙන්නෙ කැපකරුවෙකු සොයාදීමෙන් ඔහුව නැවත වතාවක් සාමාන්‍ය ජීවිතයකට යොමුකරන්න.”

“ඔන්‍න‍ ඔය අවස්ථාවේ තමයි මම මේ කතාවට සම්බන්ධ වෙන්නෙ.”

“ෆාමර්ස් වෙළඳපොළේ පැවැත්වුණු මුදාගත් බලු පැටවුන් භාරකාරත්වයට පැවරීමේ වැඩසටහනකදි තමයි මට ඉස්සරවෙලාම මගේ බලු පැටවාව මුණගැහුණේ. ඒ වෙනකොට මගේ අදහස වෙලා තිබුණේ බලු පැටවෙකු හදාවඩා ගැනීම පමණක්ම වුනත් ඊටත්වඩා වඩා වැඩි මොකද්දෝ හේතුවක් නිසා මාව ඔහු දෙසට ආකර්ෂණය කරගන්න බවක් මට දැනෙන්න පටන්ගත්තා. එහෙම සතියක් විතර ටූනා එක්ක කාලය ගතකරද්දී මට නිරායාසයෙන්ම දැනුණා ඔහු ඉතා සුවිශේෂීයි කියන කාරණය. ඉන්පසුවයි මම ඔහුව දිගින් දිගටම හදාවඩාගන්නට තීරණය කළේ. ඔහුගේ බාහිර පෙනුම විතරක් නොවෙයි ඔහු සතු ගතිගුණ මෙන්ම හැසිරීම් රටාවේත් යම් යම් සුවිශේෂී ලක්ෂණ දැකගන්නට හැකිවුණා. ඔහු ඉතාමත් ආදරබර, සිත්ගන්නාසුළු බලු පැටවෙක් වුණා. මම ඔහුට මොනතරම් ආදරය කරන්න පටන්ගත්තාද මගේ හිතේ ඔහු ගැන උපන් ආදරය මොනතරම්ද කියනවානම් මට ඔහුට ඒ ආදරය දැනෙන්න සලස්වන්න උවමනා හැම දෙයක්ම කරන්න ඕනෑ වුණා.”

මට වැටහුණා ඔහු සතුව තිබෙන මිනිසුන්ගේ හද බැඳගැනීමේ හැකියාව. ඒ ඔහුගේ අවලස්සන මුහුණ නිසාම වුවත් මම දැනසිටියා ඒ මුහුණම අවාසනාවන්ත අයුරින් ඔහුව අවමානයට පත්කරන්නටත් හේතුවන බව. ඒ මොකද... ටූනා ගැන එදාමෙදාතුර මට ලැබුණු පොදු ප්‍රතිචාරය වුණේ ඔහු 'විරූපී'ය යන කාරණය. ඔහුව දකින බොහොමයක් දෙනාගෙ හිතට නැගෙන පළමුවැනි සිතුවිල්ල තමයි ඒ. නමුත් ඒ අය බහුතරයක් ඔහුව පෙනුමෙන් මනින්නෙ ඔහුගේ හිතේ තිබෙන ලස්සන ගැන නොදන්නාකම නිසා.”

“බාහිර පෙනුමින් කෙනෙක්ව මනින එක සැමවිටම සාධාරණ නැහැ කියලයි මගේ හැඟීම. ඒ මොකද සමහර වෙලාවට පෙනුම නිසා අවමානයට හා අහේතුකව හිත් රිදවීම්වලට ලක්වෙන හොඳ මිනිසුන් බොහොමයි. මම ඒක දකින්නෙ හරියටම සමාජය විසින් ලස්සන මනින්න යොදාගන්නා මිම්මේ පවතින දුර්වලතා නිසා සිදුවෙන වැරැද්දක් හැටියටයි. ලෝකයාගේ මිණුමින් සුසාධිත හැඩ රුව ඔබට‍ නැතනම් ලෝකයා ඔබව අවලස්සන පුද්ගලයෙකු හැටියටයි සලකන්න පුරුදුවෙලා ඉන්නෙ.”

“ඒ විතරක්ද ලස්සන කියලා ලෝකයා විසින් සම්මත කරගත්ත අතාත්විකමෙන්ම තාවකාලික රාමුවකට කොටුවෙලා ඉඳගෙනයි අපි අනෙක් අය දිහා බලන්න පුරුදුවෙලා තියෙන්නෙ. ඒ විතරද... අපි අපේම දිහා බලන්නෙ පවා... ඒ මදිවාට ඒ ගැන තම වගකීමක් නැති මත පළකරන්නත් අපිට උවමනායි. බලන්න ඒ නිසා සමහර අයගේ හිත් කොයිතරම් වේදනාවට පත්වෙනවාද කියන කාරණය. අපි ඒ ගැන කවදාවත් හිතන්නේ නැහැ නේද ? එයින් ඒ අයට සිදුවෙන ආයෙ හදන්න බැරි වැරැද්ද ගැන හිතෙද්දී පවා මටනම් දැනෙන්නේ ලොකු කණගාටුවක්. වයසින් කොයි තරාතිරමේ ඉන්න කෙනෙක් උනත්‍ එක හා සමානවම මෙයින් පීඩාවට පත්වෙන්න පුළුවන්. ඒ අය හිතන්න පුළුවන් තමන් මේ සාමාන්‍ය සමාජයට නොගැළපෙන, අනවශ්‍ය කොයිතරම්දුරට සාමාන්‍ය සමාජයෙන් ප්‍රතික්ෂේපිත කෙනෙක්, තනිවුණ කෙනෙක් කියලා.”

“අපේ නොසළකාහැරීමෙන් රිදුණු ඒ හදවත් සුවපත් කරන්න මොනවද අපිට කරන්න පුළුවන්. මම උදක්ම කියාසිටිනවා වචන හැසිරවීමේදී සැළකිලිමත් වීමෙන් සහ ක්‍රියාවෙන් පරෙස්සම් වීමෙන් පෙනුමෙන් අවලස්සන කෙනෙකුට ආදරෙන් සලකන්න ඔබත් උත්සාහ කරලා බැලියයුතුයි කියන කාරණය. ඒ වගේම කෙනෙකුට අවමන්කිරීමෙන් නොව ගෞරවකිරීමෙන් ලැබෙන සතුට අතිමහත්.”

“ලෝකය පුරා මිනිසුන් ටූනාට ආදරය කරන ආකාරය මොනවගේද කියන්න මට ඔහුගේ ඉන්ස්ටග්‍රම් ගිණුම දිහා බැලුවහම පැහැදිලිවම පෙනෙනවා. පුරා අවුරුද්දක් තිස්සේ මම දිනකට වරක් ඔහුගේ අළුත් පින්තූරය බැගින් එහි පළකරනවා. පහුගිය කාලය පුරාම ඔහුගේ සුවිශේෂී වෙනස නිසාම ඔහුට දැඩිව ආදරය කරන විශාල පිරිසක් ඔහු වටා එකතුවෙලා සිටින බව පේනවා.”

“ඇත්තටම මට අදහාගන්න බැරිවුණා ටූනා මිනිසුන් අතරට ගිහින් ජනප්‍රිය වෙලා තිබෙන ආකාරය දැකීමෙන්ම. හරියටම කියනවනම් ටූනා මිනිසුන්ගේ හදවත මෘදු කරමින් ඒ තුළින් මිනිසුන් නැවත ප්‍රකෘතියට පත්කරනවා වගෙයි මට දැනෙන්නෙ. ටූනාව දිරිමත් කරමින් තමුන්ව දිරිමත් කරගන්න වෙහෙසෙන අයගේ ඇතැම් ප්‍රතිචාර දැකීමෙන් මගේ හදවත තවතවත් මෘදු වෙනවා වගෙයි.”

“මට පුදුමයි, මම කවමදාවත් හිතුවෙ නැහැ අවලස්සන පෙනුම නිසා මිනිසුන් විසින් ප්‍රතික්‍ෂේප කරලා අත්හැරලා දාපු කුඩා බලු පැටවෙකුට තම විසිළු පෙනුමෙන් සිනහව, ප්‍රීති ප්‍රමෝදය ගෙන එමින් ලෝකයා සිත්සතන්වලට මේ තරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි කියලා.”

“නමුත් මම ආයෙමත් මතක්කරන්න කැමතියි ඔහු ඔබ දන්නා සාමාන්‍ය බලු පැටවෙකු නොවන බව.”

- කෝට්නි ඩෑෂර්

මෙම ලිපිය ලියැවුණේ මාස තුනකට පමණ පෙර ‘ඩාර්ලිං’ ඊ-සඟරාවේ පළවුණු ‘Tuna Melts Our Hearts’ ලිපිය ඇසුරෙනි.

මොන හේතුවක් නිසාද මම දන්නෙ නැහැ දුටුමතින් ආදරය හිතෙන මොකද්දෝ වාසනා මහිමයක් හා ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ටූනා සතුව තිබෙන බවයි මගේ පෞද්ගලික හැඟීම. මේ ලිපිය ඇස ගැටිලා මාස කිහිපයක් ගතවුණත් ටූනා ගැන ලිපියක් ලියන්නම ඕනෑ කියලා මට හිතුනෙත් අන්න ඒ නිසාම වෙන්න ඇති.

ඔයාලා කැමතිනම් තවදුරටත් ‘ටූනා’ ගැන අවදියෙන් ඉන්න tunameltsmyheart කියන ඉන්ස්ටග්‍රම් පිටුවෙන් හෝ www.tunameltsmyheart.com කියන වෙබ්අඩවියට පිවිසීමෙන් ඔබට‍ පුළුවනි ඔහුගේ අළුත්ම විස්තර දැනගන්නත් ඒ වගේම ඔහුගේ අළුත් පින්තූර දැකගන්නත්.

ඒවගේම ඔයාල කැමතිනම් ‘ටූනා’ ගැන අදහසක් හෝ ඔබේ අතින් නිර්මාණය වුණු සිතුවමක් අන්තර්ජාලය හරහා බෙදාගන්න #tunameltsmyheart කියන හෑෂ් ඇමුණුම යොදාගන්නත් අමතක කරන්න එපා.

Sunday, April 21, 2013

පැණි මුගටියාට වගේවගක් නෑ

මිනිස්සු කියන තරමටම නොසැලකිලිමත්කමක් නැති පැණි මුගටියා

කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු  අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි.

මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ සත්‍යය තතු විත්ති කියැවෙන සවිස්තරාත්මක කතාන්දරයයි.

අප්‍රිකාව, නිරිතදිග ආසියාතික හා ඉන්දියානු උප මහාද්වීපීය ප්‍රදේශවලටම ආවේණික මුගටි විශේෂයක් වන පැණි මුගටියන් ක්ෂීරපායී නමුත් මාංශ භක්ෂක සත්ත්ව විශේෂයකි. බිහිසුණු ආරක්ෂක උපක‍්‍රම මෙන්ම සතුරාට පහසුවෙන් ග්‍රහණය කරගත නොහැකි ශාරීරික ලක්ෂණ හේතුවෙන් අවම සතුරන් ප්‍රමාණයක් සිටින, දඩයමෙහි නිපුණතාවය හා කැපවීම නිසා කිසිදු ආහාර හිඟයකට මුහුණදීමට සිදුනොවන, වඳවීයාමේ තර්ජනයට ලක්වන්නට කිසිදු ප්‍රවණතාවයක් නොදක්වන අපූරු සත්ත්වයෙකි මේ.

පෙනුම අතින් ගත්කළ පැණි මුගටියාගේ ප්‍රමාණයෙන් තරමක් දිගු ශරීරය, පැහැදිලි පුළුල් උරහිස් සහ පිට ප්‍රදේශයකින් යුතු අතර ශරීරය පිරිපුන් බවක් උසුලන සුළුයි. සම ඝනව වැඩුණද ලිස්සනසුළු බැවින් යුතුවේ. තවද පුදුමසහගත අන්දමින් සම සතුව ඇති ලිහිල්බව නිසා ශරීරය ඉතා නම්‍යශීලීබවක් දක්වයි. ගෙල අවට ප්‍රදේශයේ සමෙහි ඝනකම මිලිමීටර හයක් පමණ වන අතර එය ස්වභාවයෙන්ම කලහකාරී සතුන් සතු ජෛව විද්‍යාත්මක අනුවර්තනයට අනුව සිදුවූවක්‌ ලෙස සැළකිය හැකියි. හිස කුඩා පැතලි ස්වභාවයකින් යුතු වන අතර කෙටි හොම්බක්ද සහිතයි. කුඩා ඇස් මෙන්ම කණ් පෙතිද සටන්කාමී සතුන්ගේ ආරක්ෂාවට ජෛව විද්‍යාත්මක අනුවර්තනයට අනුව සිදුවූවක්‌ ලෙස සැළකිය හැකියි. කෙටි බාහු යුගලය මෙන්ම දෙපා යුගලය හැඩිදැඩි මෙන්ම ශක්තිමත්බවින් යුතු වනවා සේම කෙළවර තියුණු නියෙන් සන්නාහ සන්නද්ධ වුණු ඇඟිලි පහකින් සමන්විතයි. මෙම නිය පිටුපස ගාත්වලට සාපේක්ෂව සැළකියයුතු මට්ට්මකින් දිගුව ඉදිරිපස ගාත් වල පිහිටා තිබේ. ඒ ගොදුරක් තදින් ග්‍රහණය කරගතහැකි වන ලෙසයි. අතග දක්වා නිරාවරණය වුණු යටිපතුල්වල, ගණව පිහිටි කොට්ට මෙන්ම පාදවල අස්ථි පිහිටීම අනුව විලුඹ බිම ගැටෙන ලෙස පිහිටීම මිහිමත දිගු දුර ඇවිද යන සතුන්ගේ ලක්ෂණ කියාපාන්නකි. කෙටි වලිගය පාදම හැරුණුකොට දිගු ලොමින් වැසී තිබේ. හිස්කබල ඝනසැරේට වැඩුණු අස්ථි ස්ථරයක් ලෙස පිහිටා තිබේ.

පැණි මුගටියා ගැන කතා කරද්දී ඔවුන්ගේ ආහාර ජීරණ පද්ධතිය ගැන කතා නොකරම බැහැ. ඒ මොකද ඔවුන්ගේ ආහාර රටාව ඒ තරමටම පුදුමසහගත වන නිසායි.

ආහාර මාර්ගයේ ආරම්භය වන මුඛයේ පිහිටීම සහ හැසිරීම ගැන කතා කරනවා නම් දන්ත සූත්‍රය 3.1.3.1 / 3.1.3.1 වුවද දත් අක්‍රමවත් වර්ධනයක් මෙන්ම අවිධිමත් පිහිටීමක් පෙන්නුම් කරයි. ඇතැම් දත් අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් කුඩාවට අපිළිවෙළකට විවිධ වැරදි තලවලට පිහිටා තිබෙන අතරම ඇතැම් දත් සම්පුර්ණයෙන්ම වැඩී නැති ගානයි. ප්‍රධාන වශයෙන්ම මෘදු ආහාර මත නොයැපෙන සත්ත්වයෙකු වුවත් අසාමාන්‍ය ලෙස පැණි මුගටියාගේ වම් හක්කේ පමණක් දෙවන අමතර පුරශ් චාර්වක දතක් පිහිටා තිබීමත් හක්කේ දත් විශාල වශයෙන් ගෙවීගිය ස්වභාවයක් ගැනීමත් මාංශ භක්ෂක සත්ත්වයන් සතු දිගු රදනක දත් වෙනුවට සාපෙක්ෂව පැණි මුගටියාගේ රදනක දත් කෙටිවීමත් කිසිසේත්ම අදහාගත නොහැකියි. නමුත් පිටුපසට හැරුණු පුඩු සහිත රළු දිව ගන ආහාර ග්‍රහණය කරගැනීමට මනා උපකාරීත්වයක් දක්වයි. ආහාර මාර්ගය කෙලවර කණපිට පෙරළිය හැකි ගුද මල්ලක් පිහිටා තිබෙන අතර එයින් නික්මෙන ගන්ධය හුස්ම හිරකරවනසුළු බැව් පැවසේ. තවද පැණි මුගටියාගේ ප්‍රියතම ආහාරය වන මීපැණි ලබාගැනීම සඳහා මීවද කැඩීමේදී මෙම ගන්ධය මී මැස්සන් අඩපණ වීමටද කිරීමටද හේතුවේ.

baby-badger

පැණි මුගටි මවක් බොහෝවිට තනිවම ජීවත්වන තැනැත්තියක් නොවෙයි. ඇය නිරන්තරයෙන් ගර්භණී මවක් හෝ පැටවුන් සිටින මවක් හැටියට තම පැටවුන් සමඟ ජීවත්වන්නියකි. ඇය වරකට පැටවුන් දෙදෙනෙකු බිහිකිරීම සාමාන්‍ය සිරිතයි. පැණි මුගටි මවකගේ ගර්භණී සමය මාස හයකට සීමාවන අතර බිහිවුණු පැටවෙකු හදිසි ව්‍යසනයක් හේතුවෙන් මරණයට පත්නොවී සිටියෝතින් ඇය නැවත මවක් වන්නට සුදානම් වන තුරුම පැටවා සිටින්නේ තම මව සමඟයි. මෙම කාල සීමාව බොහෝවිට මාස දහඅටක් පමණ වියහැකියි. තනිව ජීවත්වීමට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය නොමැතිකම නිසා හේතුවෙන් තම මවගේ පිළිසරණ හා රැකවරණය අතහැර නොයන පැටවා මෙම කාලය තුල හැදී වැඩෙන්නේ මව්කිරි උරා බීමෙන්. නැතිනම් මවගේ දඩයමෙන් කොටසක් ආහාරයට ගැනීමෙන්. නමුත් පිටස්තර වැඩිහිටි පිරිමි සතෙක් තම මව සොයා එන බව හැඟීමෙන් හෝ දැනීමෙන් අනතුරුව තනිව ජීවත්වීමට අවශ්‍ය කරන ශක්තිය දැන් තමා සතුව ඇති බවත්, තවදුරටත් තම මව පිළිබඳ අයිතියක් තමාට නොමැති බවත් පළමුවරට සිතන පැටවා ජීවිතකාලයටම තම මව අතහැර යන්නේ තම ජීවිත පැවැත්ම උදෙසා කෙළවරක් නොමැති ජීවන අරගලයට තනිව උරදීමේ අරමුණ පෙරදැරිකොටගෙනයි.

වැඩි වශයෙන් ඒකචාරීව හැසිරෙන පැණි මුගටියන් අභිජනන සමයේදී පමණක් යුගල වශයෙන් දඩයමේ නිරතවීම සිරිතකි. වනයේ හැසිරෙන පැණි මුගටියන්ගේ ආයුකාලය ගැන නිශ්චිත අදහසක් නොමැති වුවද අල්ලාගෙන ඇතිදැඩි කරන සතෙකුගේ ආයුකාලය වසර විසිපහක් පමණ වේ. ඉතා ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් යුතු මෙම සත්ත්වයාට වනයේ සිටිනුයේ සීමිත සතුරන් පිරිසකි. එම හේතුවත් ඇතුළුව පැණි මුගටියා වඳවීයාමේ තර්ජනයට ලක්නොවන්නට බලපාන කැපීපෙනෙන හේතු කිහිපයකි.

  1. සහජයෙන් ඔවුන් සතුව පවතින නිර්භීතබව හා ප්‍රචණ්ඩකාරීබව සහ අත්නොහරින සටන්කාමීබව.
  2. ලිස්සනසුළු ලොම්වලින් වැසුණු රළු මෙන්ම ඝනකමින් වැඩි රබර් වැනි මතුපිට සම නිසා පහසුවෙන් ගොදුරක් බවට පත්නොවීම.
  3. මාරාන්තික, උග්‍ර විෂවර්ගවලට ඔරොත්තුදීමේ ප්‍රබල හැකියාව.
  4. දඩයම් කිරීමට ඇති සහජ දක්ෂතාවය මෙන්ම අප්‍රතිහත ධෛර්යය, කැපවීම මෙන්ම අලසබවින් තොරවීම නිසා ආහාර හිඟයක් නොමැතිකම.
  5. අභිජනනයට ඇති වැඩි නැඹුරුව හා මාස හයක්වැනි කෙටි කාලීන ගර්භණී අවධිය හේතුවෙන් වේගයෙන් බෝවීම නිසා අධික මුගටි ගහනයක් සිටීම.
  6. පැටවුන් අවම වශයෙන් අවුරුදු එක හමාරක්වත් තම මවු සෙවණේ ඇතිදැඩි වන නිසා සිය ආරක්ෂාව තනිවම සලසා ගැනීමට හැකියාව ලැබෙන තෙක් මවගෙන් ලැබෙන රැකවරණය.

දඩයමට මෙන්ම වාසයට පොළොවේ උමං හෑරීමට උපන් හපන් සත්ත්වයෙකු ලෙස පැණි මුගටියා තම වාසස්ථානය ලෙස තනනු ලබන උමඟ තනි ගමන්පථයකින් හා කිසිදු ඇතිරීමකින් තොර කැදැලි කුටීරයකින් සමන්විත වන අතර එය දිගින් සාමාන්‍යයෙන් මීටර එකත් තුනත් අතර අගයක් ගනී. තනිව වාසස්ථාන තනාගැනීමේ හැකියාව ඇතත් ඇතැම්විට අතහරිනලද පාළුවට ගිය බිම් ඌරන් විසින් හාරනලද ගුල් මෙන්ම වේහුඹස් අත්පත්කරගන්නට නැඹුරුවන අවස්ථාද නැතිවාම නොවේ.

අසහාය කාය ශක්තියත්, බිහිසුණු හැසිරීමත් සටන්වැදීමේදී දක්වන සුවිශේෂී නිපුණත්වයත් නිසාවෙන්ම කුප්‍රකට පැණි මුගටියා, දාමරිකත්වයෙන් මෙන්ම අශිෂ්ටත්වයෙන් අග තැන් ගන්නා එකම මාංශ භක්ෂක සත්ත්වයාද වෙයි. ඔවුන් තම ග්‍රහණයට හසුවුණු කිසිදු සත්ත්වයෙකුට දිවිගලවාගෙන ආපසු පලායාමට නම් සුළු ඉඩකඩක්වත් නොතබන්නෝ වෙති. එමෙන්ම ඔහු සතු නිර්භයබව නිසා තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ශක්තියෙන්ද ඉහළ සිංහයන්, ව්‍යාග්‍රයන් වැනි දරුණු විලෝපිකයන්ට වුව පෙරලා පහරදීම මගින් ඔවුන් පලවාහැරීමට වුව මැලිවන්නේ නැහැ.

තවද සර්පයින්ගේ සහ කෘමීන්ගේ විෂ දල මෙන්ම ඉත්තෑ කූරුවලින් ඔවුන්ගේ සම පසාරුවීම සිදුවන්නේ ඉතා අවම ප්‍රමාණයෙන්. මේ නිසා විෂ ශරීරගතවීම අවම වන අතර කොහොමටත් සතුන්ගේ විෂ විදීම්වලට ඔරොත්තුදීමේ හා ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතා ඉහළ අගයක් ගනී. අප්‍රිකාවේ මාරාන්තික උග්‍ර විෂ සහිත කේප්ප නාගයාගේ දෂ්ඨකිරීම්වලට වුව පැය කිහිපයක් සිහිසුන්ව සිටිනවා මිස මරණයට පත්නොවීමම මේ බව විදහාපාන ප්‍රබලම නිදසුනයි.

කලහයෙන්, පොරයෙන් පහසුවෙන් වෙහෙසට පත්නොවන ස්වභාවය නිසා තම සීමාවට අනවසරයෙන් ඇතුළුවන අසුන්, ගවයින්, කේප්ප මීමුන් වැනි ශරීරයෙන් මහත්වූ අභියෝගකාරී සතුන් සමඟ වුව සටනට යන්නට පසුබට වන්නේ නැහැ. මෙලෙස පොරයෙන් තම චිටාහ් පැටවුන්ප්‍රතිවාදියා පහසුවෙන් වෙහෙසට පත්කරන ස්වභාවය නිසාම සිංහයන්, ව්‍යාග්‍රයන් වැනි දරුණු ගණයේ විලෝපිකයන් පවා ඔවුන් හා සටනට පැටලීමට දක්වන්නේ දැඩි අකමැත්තක්. එමනිසා එවැනි සතුන්ගෙන් ආරක්ෂාවවීමට ඇතැම් සත්ත්ව පැටවුන් පරිණාමයෙන් පැණි මුගටියාගේ සමේ පැහැය සහ ස්වරූපය ගැනීම දැකිය හැකියි. උදාහරණයක් හැටියට ලෙස චිටාහ් පැටවුන්ගේ අවපැහැගැන්වුණු වයිරම් රහිත පිට ප්‍රදේශය ගෙනහැර දැක්විය හැකියි.

දඩයමට රැයක් දවාලක් නොමැති කෙතරම් දරුණු දක්‍ෂ දඩයක්කරුවෙකු වුවද පැණි මුගටියාගේ ප්‍රියතම ආහාරය වන්නේ මීපැණිය. ඔවුනට 'පැණි මුගටියා' යන නම ලැබී තිබෙන්නේද මිපැණිවලට දක්වන තද ගිජුකම හේතුවෙනි. මීවද වලට පාර කියන පැණි කුරුල්ලන්ගේ මඟ දිගේ යමින් ඔවුන් මීවද සොයාගනී. මෙයට අමතරව බෙරි හා ළුණුද, අල වර්ග හෝ මුල් වර්ගද ආහාරයට ගැනීම සිදුකරයි. එවැනි අවස්ථාවලදී එවැනි ආහාර සොයාගැනීමට හා ගල් එසැවීම් හෝ ගස්වල අතු බිඳීම් වැනි සුළු උපක‍්‍රම යොදාගැනීම සිදුකරනවා දැකගත හැකියි. මීට අමතරව කෘමි සතුන්, ගෙම්බන්, ඉදිබුවන්, කැස්බෑවන්, මීයන්, කටුස්සන්, ලේනුන්, හාවන්, මුවන්, නරින්, කුකුළන් කුරුල්ලන් වැනි සතුන් මෙන්ම බිත්තරද, ළපටි සිංහ, ව්‍යාග්‍ර හා දිවි පැටවුන්ද ලුහුබැඳ ගොදුරු කරගන්නා බව සඳහන් වේ. ගිජුකමින් මීපැණි අනුභව කරන පැණි මුගටියන්ගේ තවත් ප්‍රියතම ආහාරයක්‌ වන්නේ සර්පයින්ය. මාරාන්තික උග්‍ර විස සහිත දැවැන්ත සර්පයින් විශේෂයෙන්ම කේප්ප නාගයින් වැනි නාග රාජයන් ලුහුබැඳ ගොදුරු කරගන්නා ආකාරය අදහාගත නොහැකි තරම්වේ.

අහල ඇතිනේ නයි මුගටි වෛරය ගැන. මුගටි උරග ඝාතනයට දක්වන්නේ වෙනත් කිසිදු සත්ත්වයෙකු නොදක්වන තරමේ ප්‍රබල හා සුවිශේෂී හැකියාවක්. ඔවුන්ගේ උපක‍්‍රමය වන්නේ සර්පයාගේ හිසට එකවරම පැන තදින් හිස හපාගෙන සර්පයා අඩපණ වන්නට හැර පණපිටින්ම ආහාරයට ගැනීමයි. සැබැවින්ම මෙය ඉතා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සැළකිය හැකියි. ඇතැම්විට ගොදුරක් ගනිමින් සිටින සර්පයෙකුගෙන් පළමුව එම ගොදුර ඩැහැගන්නා ඔහු අනතුරුව සර්පයා ගොදුරු කරගැනීමට තරම් බඩජාරී සත්ත්වයෙකි. පහතින් දැක්වෙන වීඩියෝ දර්ශනයේත් එවැනි දර්ශනයක් අන්තර්ගතයි.

එහෙමනම්... පැණි මුගටියා ගැන මේ විස්තර හොඳටම ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ. මේ ලිපිය ලියන්න මම උපකාරී කරගත්තේ පැණි මුගටියා ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු honey badger විකිපීඩියා පිටුවයි. පැණි මුගටියා ගැන වැඩි විස්තර දැනගන්න ඕනෑ නම් පහතින් දැක්වෙන වීඩියෝවත් නරඹලාම බලන්න. (මෙම වීඩියෝ දසුනෙහි  ඇතැම් තැන්වල සත්ත්ව හිංසාකාරී මෙන්ම පිළිකුල්සහගත දර්ශන අන්තර්ගත වනබැවින් සංවේදී පුද්ගලයන් විසින් නැරඹීම නොකළ යුතුය.)

මෙම වීඩියෝව ඇසුරු කරගනිමින් රැන්ඩෝල් නමැතතා විසින් පසුව හඬකවන ලද ඉතාමත් සිත්ගන්නාසුළු හාස්‍යජනක The Crazy Nastyass Honey Badger වීඩියෝව සීග්‍රයෙන් ලොවපුරා ජනප්‍රිය වීමත් සමඟම පැණි මුගටියාට කිසිදා පෙර නොවූ විරූ ප්‍රසිද්ධියක් අත්වූ අතර ඔහු අන්තර්ජාල මීම් හෙවත් ලාංඡනයක් බවට‍ පත්විය.

පහතින් දැක්වෙනුයේ එම යූටියුබ් වීඩියෝවට පිවිසුමයි. (මෙම වීඩියෝ දසුනෙහි  ඇතැම් තැන්වල සත්ත්ව හිංසාකාරී මෙන්ම පිළිකුල්සහගත දර්ශන අන්තර්ගත වනබැවින් සංවේදී පුද්ගලයන් විසින් නැරඹීම නොකළ යුතුය.)