Sunday, April 21, 2013

පැණි මුගටියාට වගේවගක් නෑ

මිනිස්සු කියන තරමටම නොසැලකිලිමත්කමක් නැති පැණි මුගටියා

කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු  අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි.

මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ සත්‍යය තතු විත්ති කියැවෙන සවිස්තරාත්මක කතාන්දරයයි.

අප්‍රිකාව, නිරිතදිග ආසියාතික හා ඉන්දියානු උප මහාද්වීපීය ප්‍රදේශවලටම ආවේණික මුගටි විශේෂයක් වන පැණි මුගටියන් ක්ෂීරපායී නමුත් මාංශ භක්ෂක සත්ත්ව විශේෂයකි. බිහිසුණු ආරක්ෂක උපක‍්‍රම මෙන්ම සතුරාට පහසුවෙන් ග්‍රහණය කරගත නොහැකි ශාරීරික ලක්ෂණ හේතුවෙන් අවම සතුරන් ප්‍රමාණයක් සිටින, දඩයමෙහි නිපුණතාවය හා කැපවීම නිසා කිසිදු ආහාර හිඟයකට මුහුණදීමට සිදුනොවන, වඳවීයාමේ තර්ජනයට ලක්වන්නට කිසිදු ප්‍රවණතාවයක් නොදක්වන අපූරු සත්ත්වයෙකි මේ.

පෙනුම අතින් ගත්කළ පැණි මුගටියාගේ ප්‍රමාණයෙන් තරමක් දිගු ශරීරය, පැහැදිලි පුළුල් උරහිස් සහ පිට ප්‍රදේශයකින් යුතු අතර ශරීරය පිරිපුන් බවක් උසුලන සුළුයි. සම ඝනව වැඩුණද ලිස්සනසුළු බැවින් යුතුවේ. තවද පුදුමසහගත අන්දමින් සම සතුව ඇති ලිහිල්බව නිසා ශරීරය ඉතා නම්‍යශීලීබවක් දක්වයි. ගෙල අවට ප්‍රදේශයේ සමෙහි ඝනකම මිලිමීටර හයක් පමණ වන අතර එය ස්වභාවයෙන්ම කලහකාරී සතුන් සතු ජෛව විද්‍යාත්මක අනුවර්තනයට අනුව සිදුවූවක්‌ ලෙස සැළකිය හැකියි. හිස කුඩා පැතලි ස්වභාවයකින් යුතු වන අතර කෙටි හොම්බක්ද සහිතයි. කුඩා ඇස් මෙන්ම කණ් පෙතිද සටන්කාමී සතුන්ගේ ආරක්ෂාවට ජෛව විද්‍යාත්මක අනුවර්තනයට අනුව සිදුවූවක්‌ ලෙස සැළකිය හැකියි. කෙටි බාහු යුගලය මෙන්ම දෙපා යුගලය හැඩිදැඩි මෙන්ම ශක්තිමත්බවින් යුතු වනවා සේම කෙළවර තියුණු නියෙන් සන්නාහ සන්නද්ධ වුණු ඇඟිලි පහකින් සමන්විතයි. මෙම නිය පිටුපස ගාත්වලට සාපේක්ෂව සැළකියයුතු මට්ට්මකින් දිගුව ඉදිරිපස ගාත් වල පිහිටා තිබේ. ඒ ගොදුරක් තදින් ග්‍රහණය කරගතහැකි වන ලෙසයි. අතග දක්වා නිරාවරණය වුණු යටිපතුල්වල, ගණව පිහිටි කොට්ට මෙන්ම පාදවල අස්ථි පිහිටීම අනුව විලුඹ බිම ගැටෙන ලෙස පිහිටීම මිහිමත දිගු දුර ඇවිද යන සතුන්ගේ ලක්ෂණ කියාපාන්නකි. කෙටි වලිගය පාදම හැරුණුකොට දිගු ලොමින් වැසී තිබේ. හිස්කබල ඝනසැරේට වැඩුණු අස්ථි ස්ථරයක් ලෙස පිහිටා තිබේ.

පැණි මුගටියා ගැන කතා කරද්දී ඔවුන්ගේ ආහාර ජීරණ පද්ධතිය ගැන කතා නොකරම බැහැ. ඒ මොකද ඔවුන්ගේ ආහාර රටාව ඒ තරමටම පුදුමසහගත වන නිසායි.

ආහාර මාර්ගයේ ආරම්භය වන මුඛයේ පිහිටීම සහ හැසිරීම ගැන කතා කරනවා නම් දන්ත සූත්‍රය 3.1.3.1 / 3.1.3.1 වුවද දත් අක්‍රමවත් වර්ධනයක් මෙන්ම අවිධිමත් පිහිටීමක් පෙන්නුම් කරයි. ඇතැම් දත් අසාමාන්‍ය ලෙස ප්‍රමාණයෙන් කුඩාවට අපිළිවෙළකට විවිධ වැරදි තලවලට පිහිටා තිබෙන අතරම ඇතැම් දත් සම්පුර්ණයෙන්ම වැඩී නැති ගානයි. ප්‍රධාන වශයෙන්ම මෘදු ආහාර මත නොයැපෙන සත්ත්වයෙකු වුවත් අසාමාන්‍ය ලෙස පැණි මුගටියාගේ වම් හක්කේ පමණක් දෙවන අමතර පුරශ් චාර්වක දතක් පිහිටා තිබීමත් හක්කේ දත් විශාල වශයෙන් ගෙවීගිය ස්වභාවයක් ගැනීමත් මාංශ භක්ෂක සත්ත්වයන් සතු දිගු රදනක දත් වෙනුවට සාපෙක්ෂව පැණි මුගටියාගේ රදනක දත් කෙටිවීමත් කිසිසේත්ම අදහාගත නොහැකියි. නමුත් පිටුපසට හැරුණු පුඩු සහිත රළු දිව ගන ආහාර ග්‍රහණය කරගැනීමට මනා උපකාරීත්වයක් දක්වයි. ආහාර මාර්ගය කෙලවර කණපිට පෙරළිය හැකි ගුද මල්ලක් පිහිටා තිබෙන අතර එයින් නික්මෙන ගන්ධය හුස්ම හිරකරවනසුළු බැව් පැවසේ. තවද පැණි මුගටියාගේ ප්‍රියතම ආහාරය වන මීපැණි ලබාගැනීම සඳහා මීවද කැඩීමේදී මෙම ගන්ධය මී මැස්සන් අඩපණ වීමටද කිරීමටද හේතුවේ.

baby-badger

පැණි මුගටි මවක් බොහෝවිට තනිවම ජීවත්වන තැනැත්තියක් නොවෙයි. ඇය නිරන්තරයෙන් ගර්භණී මවක් හෝ පැටවුන් සිටින මවක් හැටියට තම පැටවුන් සමඟ ජීවත්වන්නියකි. ඇය වරකට පැටවුන් දෙදෙනෙකු බිහිකිරීම සාමාන්‍ය සිරිතයි. පැණි මුගටි මවකගේ ගර්භණී සමය මාස හයකට සීමාවන අතර බිහිවුණු පැටවෙකු හදිසි ව්‍යසනයක් හේතුවෙන් මරණයට පත්නොවී සිටියෝතින් ඇය නැවත මවක් වන්නට සුදානම් වන තුරුම පැටවා සිටින්නේ තම මව සමඟයි. මෙම කාල සීමාව බොහෝවිට මාස දහඅටක් පමණ වියහැකියි. තනිව ජීවත්වීමට අවශ්‍ය කරන කායික මානසික ශක්තිය නොමැතිකම නිසා හේතුවෙන් තම මවගේ පිළිසරණ හා රැකවරණය අතහැර නොයන පැටවා මෙම කාලය තුල හැදී වැඩෙන්නේ මව්කිරි උරා බීමෙන්. නැතිනම් මවගේ දඩයමෙන් කොටසක් ආහාරයට ගැනීමෙන්. නමුත් පිටස්තර වැඩිහිටි පිරිමි සතෙක් තම මව සොයා එන බව හැඟීමෙන් හෝ දැනීමෙන් අනතුරුව තනිව ජීවත්වීමට අවශ්‍ය කරන ශක්තිය දැන් තමා සතුව ඇති බවත්, තවදුරටත් තම මව පිළිබඳ අයිතියක් තමාට නොමැති බවත් පළමුවරට සිතන පැටවා ජීවිතකාලයටම තම මව අතහැර යන්නේ තම ජීවිත පැවැත්ම උදෙසා කෙළවරක් නොමැති ජීවන අරගලයට තනිව උරදීමේ අරමුණ පෙරදැරිකොටගෙනයි.

වැඩි වශයෙන් ඒකචාරීව හැසිරෙන පැණි මුගටියන් අභිජනන සමයේදී පමණක් යුගල වශයෙන් දඩයමේ නිරතවීම සිරිතකි. වනයේ හැසිරෙන පැණි මුගටියන්ගේ ආයුකාලය ගැන නිශ්චිත අදහසක් නොමැති වුවද අල්ලාගෙන ඇතිදැඩි කරන සතෙකුගේ ආයුකාලය වසර විසිපහක් පමණ වේ. ඉතා ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලින් යුතු මෙම සත්ත්වයාට වනයේ සිටිනුයේ සීමිත සතුරන් පිරිසකි. එම හේතුවත් ඇතුළුව පැණි මුගටියා වඳවීයාමේ තර්ජනයට ලක්නොවන්නට බලපාන කැපීපෙනෙන හේතු කිහිපයකි.

  1. සහජයෙන් ඔවුන් සතුව පවතින නිර්භීතබව හා ප්‍රචණ්ඩකාරීබව සහ අත්නොහරින සටන්කාමීබව.
  2. ලිස්සනසුළු ලොම්වලින් වැසුණු රළු මෙන්ම ඝනකමින් වැඩි රබර් වැනි මතුපිට සම නිසා පහසුවෙන් ගොදුරක් බවට පත්නොවීම.
  3. මාරාන්තික, උග්‍ර විෂවර්ගවලට ඔරොත්තුදීමේ ප්‍රබල හැකියාව.
  4. දඩයම් කිරීමට ඇති සහජ දක්ෂතාවය මෙන්ම අප්‍රතිහත ධෛර්යය, කැපවීම මෙන්ම අලසබවින් තොරවීම නිසා ආහාර හිඟයක් නොමැතිකම.
  5. අභිජනනයට ඇති වැඩි නැඹුරුව හා මාස හයක්වැනි කෙටි කාලීන ගර්භණී අවධිය හේතුවෙන් වේගයෙන් බෝවීම නිසා අධික මුගටි ගහනයක් සිටීම.
  6. පැටවුන් අවම වශයෙන් අවුරුදු එක හමාරක්වත් තම මවු සෙවණේ ඇතිදැඩි වන නිසා සිය ආරක්ෂාව තනිවම සලසා ගැනීමට හැකියාව ලැබෙන තෙක් මවගෙන් ලැබෙන රැකවරණය.

දඩයමට මෙන්ම වාසයට පොළොවේ උමං හෑරීමට උපන් හපන් සත්ත්වයෙකු ලෙස පැණි මුගටියා තම වාසස්ථානය ලෙස තනනු ලබන උමඟ තනි ගමන්පථයකින් හා කිසිදු ඇතිරීමකින් තොර කැදැලි කුටීරයකින් සමන්විත වන අතර එය දිගින් සාමාන්‍යයෙන් මීටර එකත් තුනත් අතර අගයක් ගනී. තනිව වාසස්ථාන තනාගැනීමේ හැකියාව ඇතත් ඇතැම්විට අතහරිනලද පාළුවට ගිය බිම් ඌරන් විසින් හාරනලද ගුල් මෙන්ම වේහුඹස් අත්පත්කරගන්නට නැඹුරුවන අවස්ථාද නැතිවාම නොවේ.

අසහාය කාය ශක්තියත්, බිහිසුණු හැසිරීමත් සටන්වැදීමේදී දක්වන සුවිශේෂී නිපුණත්වයත් නිසාවෙන්ම කුප්‍රකට පැණි මුගටියා, දාමරිකත්වයෙන් මෙන්ම අශිෂ්ටත්වයෙන් අග තැන් ගන්නා එකම මාංශ භක්ෂක සත්ත්වයාද වෙයි. ඔවුන් තම ග්‍රහණයට හසුවුණු කිසිදු සත්ත්වයෙකුට දිවිගලවාගෙන ආපසු පලායාමට නම් සුළු ඉඩකඩක්වත් නොතබන්නෝ වෙති. එමෙන්ම ඔහු සතු නිර්භයබව නිසා තමන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ශක්තියෙන්ද ඉහළ සිංහයන්, ව්‍යාග්‍රයන් වැනි දරුණු විලෝපිකයන්ට වුව පෙරලා පහරදීම මගින් ඔවුන් පලවාහැරීමට වුව මැලිවන්නේ නැහැ.

තවද සර්පයින්ගේ සහ කෘමීන්ගේ විෂ දල මෙන්ම ඉත්තෑ කූරුවලින් ඔවුන්ගේ සම පසාරුවීම සිදුවන්නේ ඉතා අවම ප්‍රමාණයෙන්. මේ නිසා විෂ ශරීරගතවීම අවම වන අතර කොහොමටත් සතුන්ගේ විෂ විදීම්වලට ඔරොත්තුදීමේ හා ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතා ඉහළ අගයක් ගනී. අප්‍රිකාවේ මාරාන්තික උග්‍ර විෂ සහිත කේප්ප නාගයාගේ දෂ්ඨකිරීම්වලට වුව පැය කිහිපයක් සිහිසුන්ව සිටිනවා මිස මරණයට පත්නොවීමම මේ බව විදහාපාන ප්‍රබලම නිදසුනයි.

කලහයෙන්, පොරයෙන් පහසුවෙන් වෙහෙසට පත්නොවන ස්වභාවය නිසා තම සීමාවට අනවසරයෙන් ඇතුළුවන අසුන්, ගවයින්, කේප්ප මීමුන් වැනි ශරීරයෙන් මහත්වූ අභියෝගකාරී සතුන් සමඟ වුව සටනට යන්නට පසුබට වන්නේ නැහැ. මෙලෙස පොරයෙන් තම චිටාහ් පැටවුන්ප්‍රතිවාදියා පහසුවෙන් වෙහෙසට පත්කරන ස්වභාවය නිසාම සිංහයන්, ව්‍යාග්‍රයන් වැනි දරුණු ගණයේ විලෝපිකයන් පවා ඔවුන් හා සටනට පැටලීමට දක්වන්නේ දැඩි අකමැත්තක්. එමනිසා එවැනි සතුන්ගෙන් ආරක්ෂාවවීමට ඇතැම් සත්ත්ව පැටවුන් පරිණාමයෙන් පැණි මුගටියාගේ සමේ පැහැය සහ ස්වරූපය ගැනීම දැකිය හැකියි. උදාහරණයක් හැටියට ලෙස චිටාහ් පැටවුන්ගේ අවපැහැගැන්වුණු වයිරම් රහිත පිට ප්‍රදේශය ගෙනහැර දැක්විය හැකියි.

දඩයමට රැයක් දවාලක් නොමැති කෙතරම් දරුණු දක්‍ෂ දඩයක්කරුවෙකු වුවද පැණි මුගටියාගේ ප්‍රියතම ආහාරය වන්නේ මීපැණිය. ඔවුනට 'පැණි මුගටියා' යන නම ලැබී තිබෙන්නේද මිපැණිවලට දක්වන තද ගිජුකම හේතුවෙනි. මීවද වලට පාර කියන පැණි කුරුල්ලන්ගේ මඟ දිගේ යමින් ඔවුන් මීවද සොයාගනී. මෙයට අමතරව බෙරි හා ළුණුද, අල වර්ග හෝ මුල් වර්ගද ආහාරයට ගැනීම සිදුකරයි. එවැනි අවස්ථාවලදී එවැනි ආහාර සොයාගැනීමට හා ගල් එසැවීම් හෝ ගස්වල අතු බිඳීම් වැනි සුළු උපක‍්‍රම යොදාගැනීම සිදුකරනවා දැකගත හැකියි. මීට අමතරව කෘමි සතුන්, ගෙම්බන්, ඉදිබුවන්, කැස්බෑවන්, මීයන්, කටුස්සන්, ලේනුන්, හාවන්, මුවන්, නරින්, කුකුළන් කුරුල්ලන් වැනි සතුන් මෙන්ම බිත්තරද, ළපටි සිංහ, ව්‍යාග්‍ර හා දිවි පැටවුන්ද ලුහුබැඳ ගොදුරු කරගන්නා බව සඳහන් වේ. ගිජුකමින් මීපැණි අනුභව කරන පැණි මුගටියන්ගේ තවත් ප්‍රියතම ආහාරයක්‌ වන්නේ සර්පයින්ය. මාරාන්තික උග්‍ර විස සහිත දැවැන්ත සර්පයින් විශේෂයෙන්ම කේප්ප නාගයින් වැනි නාග රාජයන් ලුහුබැඳ ගොදුරු කරගන්නා ආකාරය අදහාගත නොහැකි තරම්වේ.

අහල ඇතිනේ නයි මුගටි වෛරය ගැන. මුගටි උරග ඝාතනයට දක්වන්නේ වෙනත් කිසිදු සත්ත්වයෙකු නොදක්වන තරමේ ප්‍රබල හා සුවිශේෂී හැකියාවක්. ඔවුන්ගේ උපක‍්‍රමය වන්නේ සර්පයාගේ හිසට එකවරම පැන තදින් හිස හපාගෙන සර්පයා අඩපණ වන්නට හැර පණපිටින්ම ආහාරයට ගැනීමයි. සැබැවින්ම මෙය ඉතා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සැළකිය හැකියි. ඇතැම්විට ගොදුරක් ගනිමින් සිටින සර්පයෙකුගෙන් පළමුව එම ගොදුර ඩැහැගන්නා ඔහු අනතුරුව සර්පයා ගොදුරු කරගැනීමට තරම් බඩජාරී සත්ත්වයෙකි. පහතින් දැක්වෙන වීඩියෝ දර්ශනයේත් එවැනි දර්ශනයක් අන්තර්ගතයි.

එහෙමනම්... පැණි මුගටියා ගැන මේ විස්තර හොඳටම ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ. මේ ලිපිය ලියන්න මම උපකාරී කරගත්තේ පැණි මුගටියා ගැන ඉංග්‍රීසියෙන් ලියැවුණු honey badger විකිපීඩියා පිටුවයි. පැණි මුගටියා ගැන වැඩි විස්තර දැනගන්න ඕනෑ නම් පහතින් දැක්වෙන වීඩියෝවත් නරඹලාම බලන්න. (මෙම වීඩියෝ දසුනෙහි  ඇතැම් තැන්වල සත්ත්ව හිංසාකාරී මෙන්ම පිළිකුල්සහගත දර්ශන අන්තර්ගත වනබැවින් සංවේදී පුද්ගලයන් විසින් නැරඹීම නොකළ යුතුය.)

මෙම වීඩියෝව ඇසුරු කරගනිමින් රැන්ඩෝල් නමැතතා විසින් පසුව හඬකවන ලද ඉතාමත් සිත්ගන්නාසුළු හාස්‍යජනක The Crazy Nastyass Honey Badger වීඩියෝව සීග්‍රයෙන් ලොවපුරා ජනප්‍රිය වීමත් සමඟම පැණි මුගටියාට කිසිදා පෙර නොවූ විරූ ප්‍රසිද්ධියක් අත්වූ අතර ඔහු අන්තර්ජාල මීම් හෙවත් ලාංඡනයක් බවට‍ පත්විය.

පහතින් දැක්වෙනුයේ එම යූටියුබ් වීඩියෝවට පිවිසුමයි. (මෙම වීඩියෝ දසුනෙහි  ඇතැම් තැන්වල සත්ත්ව හිංසාකාරී මෙන්ම පිළිකුල්සහගත දර්ශන අන්තර්ගත වනබැවින් සංවේදී පුද්ගලයන් විසින් නැරඹීම නොකළ යුතුය.)

No comments:

Post a Comment