Sunday, May 27, 2012

බොන්නට එපා කිසිවිට‍ - තිබහට වතුර වෙනුවට

පිපාසය සංසිඳුවා ගැනීමේ හෝ ආහාර රුචිය වැඩිකර ගැනීමේ අරමුණෙන් බොහොමයක්‌ දෙනා කාබනීකෘත පැන් පානය කිරීමට පෙළඹේ. ඒවායේ ඇති රසවත් බවත් පානය කිරීමෙන් ලැබෙන ප්‍රබෝධමත් බවත් නිසා ඕනෑමකෙනෙක් කාබනීකෘත පැන් පානය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම අරුමයක් නොවේ. නමුත් කණගාටුවට කාරණය මිනිසා විසින් මෙවැනි කෘතීම පැන්වර්ග පානය කිරීම පුරුද්දක් කරගැනීමයි. මක්නිසාදයත් හුදෙක් කාබනීකෘත පැන් සතුව කිසිදු පෝෂණීය වටිනාකමක් නැති නිසාම පමණක් නොව කාබනීකෘත පාන ශරීරයට අහිතකර වියහැකි බැවිනි. ඒවා නිතිපතා පානය කිරීම  භයානක ප්‍රතිඵල ඇති කළහැකි බැවිනි.

කාබනීකෘත පාන භාවිතය මිනිසාට අහිතකර වන්නේ කෙසේද, නිතිපතා පානය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල කවරේද,එහි ප්‍රධාන අන්තර්ගත හෙවත් අඩංගු ප්‍රධාන සංඝටක ඇසුරෙන්ම එය පැහැදිලි කරගතයුතුය.

සුක්‍රෝස් හෙවත් පිරිපහදු කරනලද සීනි (ග්ලූකෝස් - 45% + ෆෘක්ටෝස් - 55%)
ඇතුවත් බැරි නැතුවත් බැරි සීනිරසකාරකයක් මෙන්ම ශක්තිජනකයක් ලෙස යොදාගනී. වතුර හැරුණුකොට වැඩිපුරම අන්තර්ගත සංඝටකය සුක්‍රෝස්ය. මිලිලීටර පන්සියයක ඇසුරුමක සීනි ග්‍රෑම් තිස්නවයක් (තේහැඳි දහයක් ) පමණද කැලරි එකසිය හතළිහක් පමණද අන්තර්ගතය. දිනපතා නිතිපතා පානය කිරීම ශරීරයේ බර වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන අතර අධික සීනි පරිභෝජනය නිසා ඇතිවන යූටියුබ්ඕනෑම රෝගාබාධයක් ඇතිවීමට හේතුකාරකවේ.

මෙහි ඉදිරියෙන් දැක්වෙන පිටුවට පිවිසීමෙන් සීනි භාවිතයේ ප්‍රධානතම අහිතකර ප්‍රතිඵල දහයක් ගැන මනා වැටහීමක් ලබාගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.

මේ

 

 

 

කාබන්ඩයොක්සයිඩ් (කාබොනික් අම්ලය)
බොහෝ කාබනීකෘත පාන සාදන්නේ අධික පීඩනයක් යටතේ ‘කාබන්ඩයොක්සයිඩ්’ ජලීය මාධ්‍යයතුළ දියකිරීම මඟිනි. ඇතිවෙන අලුත් සංයෝගය කාබොනික් අම්ලය ලෙස හඳුන්වයි‍. ( CO2 + H2O ⇋ H2CO3 ). පානය කිරීමේදී දැවෙනසුළු සැර ගතියක් දැනෙන්නේ එම පානවල අන්තර්ගත මෙම කාබොනික් අම්ලය නිසාවෙනි. ඇතැම් පාන කාබනීකරණය කරන්නේ සුදුසු යීස්ට් වර්ගයක් භාවිතකර ද්‍රාවණය සංවෘත ඇසුරුම තුළම අර්ධ පැසවුමට ලක්කිරීමෙනි. බොහෝවිට ඉඟුරුමය පාන සැකසීමට මෙම ක්‍රමය යොදාගනී.

කෙසේනමුත් කාබනීකෘත පාන ගැනීමෙන් පසු රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ නැංවීම නිසා සෛල වල ආහාර බිඳහෙළිමේ ක්‍රියාවලිය එනම් පරිවෘත්තීය ක්‍රියාව අඩපණ කරයි. ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැතිකමින් ශරීරය විඩාවට පත්වේ.

පොස්ෆෝරික් අම්ලය
රසකාරකයක් මෙන්ම ආහාර සුරක්ෂකයක් ලෙස යොදාගැනේ. ආම්ලිකතාවය විනාකිරිවලට ආසන්න වශයෙන් සමානකමක් දක්වන අතර විවිධ පානයන්ට එක්කිරීමේදී pH අගය 2.0 - 3.4 දක්වා වෙනස්වේ.පොස්ෆෝරික් අම්ලය දත් හා අස්ථි දිරායාමට හේතුකාරක වේ. එමඟින් ආරක්ෂාකාරී දන්ත එනැමලය පලුදු කරයි. එනැමලයේ ඛනිජ අන්තර්ගතය අම්ලය හමුවේ දියවේ. එනැමලයට හානිවීම නිසා නිරාවරණය වන දත් පහසුවෙන් දිරායාමේ අවධානමට ලක්වේ.

රුධිරයෙහි සංසරණයවන අධි සාන්ද්‍රිත පොස්ෆරස්, අස්ථිවල ඇති කැල්සියම් උරාගැනීමට පෙළඹෙයි. මේ හේතුවෙන් අස්ථි දුර්වලවන අතර කාලයත් සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානමක් තිබේ. තවද දිරාගිය අස්ථිවලින් නික්මුණු කැල්සියම් සංයෝග වකුගඩු හා කුඩා අතුනුබහන් වල තැන්පත්වීමෙන් හා එකතුවීමෙන් වකුගඩු අබාධ ඇතිවේ. විශේෂයෙන්ම වෘක්ක ගල් ඇතිවිය හැක. මියයාමෙන් පසු මිනිස් සිරුරක අනෙකුත් සියළුම කොටස් ඉක්මනින් දිරාගිදයද දත් හා අස්ථි වසර ගණනාවක් නොදිරා පවතිනසුළුය. එහෙත් කාබනීකෘත පාන භාවිතය මිනිසෙකු ජීවත්ව සිටියෙදීම එම පුද්ගලයාගේ දත් සහ අස්ථි දිරාපත්වීමට මඟපාදයි.

රුධිරයේ පොස්ෆොරස් මට්ට්ම පාලනය කරන්නේ වකුගඩු මඟිනි. කෙසේදයත් පරිභෝජනය කරනලද වැඩිපුර පොස්ෆොරස් කොටස රුධිරයෙන් ඉවත්කර සුළුදිය සමඟ අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමෙනි. නමුත් වකුගඩු රෝගීන්ට මෙම හැකියාව තරමක් අඩු බැවින් කාබනීකෘත පාන භාවිතය ඔවුනට කිසිසේත්ම නුසුදුසුය.

පොස්ෆෝරික් අම්ලය අමාශයේ අම්ල ඝනත්වය වැඩිකරන හෙයින් අම්ලපිත්තය හෙවත් අමාශයේ දැවිල්ල හටගනී.

කැෆේන්
ශරීරය ප්‍රබෝධමත් කරන උත්තේජකයකි. භාවිතයෙන් විඩාව, අලසබව හා නිදිමතගතිය පහවයයි. නමුත් භාවිතය පහසුවෙන් පුරුද්දට යයි. කාබනීකෘත පාන නිශ්පාදනයේදී, පානය කරන්නන්ගේ උද්යෝගීමත් බව වැඩි කරන උත්තේජකයක් යූටියුබ්සහ ඇබ්බැහිකාරකයක් හෙවත් ආසක්තකයක් ලෙස යොදාගනී.

කැෆේන් මඟින් ඇඩෙනොසින් ප්‍රතිග්‍රාහක අවහිර කරන බැවින් නිදිමත ඇතිනොවේ. ඇඩෙනොසින් යනු මොළයේ අධි උත්තේජන ඇතිවීම වළක්වන ස්නායුසම්ප්‍රේෂක රසායනික ද්‍රව්‍යයයකි. අවහිරවුණු ප්‍රතිග්‍රාහක ඇඩෙනොසින් වලට ප්‍රතිචාර නොදක්වන නිසා ස්නායු සෛල අධි උත්තේජයනයවීම වැළක්වීමක් සිදුනොවේ. නිදිමත ඇතිවීමට නම් මොළය අධි උත්තේජයනයට ලක්වීම වැළක්වීම සිදුවිය යුතුය. හරිහැටි නින්දක් නොලැබීමෙන් අවිවේකී වන සිරුර පහසුවෙන්ම විඩාවට පත්වේ.

කැෆේන් භාවිතයෙන් ඇඩ්රිනලින් හෝමෝනය වහා ක්‍රියාකාරීත්වයට පැමිණෙයි. එවිට හදගැස්ම වේගවත් වන අතර රුධිර නාල අවහිරවී රුධිර පීඩනය ඉහළයාම සිදුවේ. තවද ශරීර ශක්තිය වැඩිකිරීමට අක්මාව මගින් වැඩිවැඩියෙන් රුධිර ධාරාවට සීනි මුදාහැරීම සිදුකරයි. එවිට රුධිරයේ සීනි මට්ට්ම ක්ෂණිකව ඉහළ නැඟීම සිදුවේ.

කැෆේන් නිසා අධි මේහනය ඇතිවේ. කාබනීකෘත පැන් වර්ගයක් පානය කිරීමෙන් පසු දැඩි පිපාසයක් දැනෙන්නේ මේ හේතුවෙනි. මේ නිසා කාබනීකෘත පානයක් ගැනීමෙන් පසු ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළහොත් ශරීරය විජලනයට ලක්වේ. එමෙන්ම විජලනය ඇතිවුවහොත් මලබද්ධය වුව ඇතිවිය හැක. කැෆේන් නිසා ඇතැමෙකුට හිසේකැක්කුම ඇතිවේ. තවද ඉරුවාරදය හටගැනීමට හේතුවේ.

E211 හෙවත් සෝඩියම් බෙන්සොයේට්
කෘතීම ආහාර සුරක්ෂකයකි. අධික ලෙස භාවිතය සෛල මයිටඛොන්ඩ්‍රියාවල DNA වල ඉතා වැදගත් ජෛව කොටස් අකර්මන්‍ය කරයි.

බෙන්සීන්
මෙය සංඝටකයක් ලෙස ද්‍රාවණයට  අන්තර්ගත කරන්නක් නොවේ. ආහාර සුරක්ෂකයක් ලෙස යොදාගන්නා සෝඩියම් බෙන්සොයේට්, ද්‍රාවණයේ අඩංගු පොස්ෆෝරික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් බෙන්සීන් හටගනී. මෙය පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන තිබේ. මෙමඟින් ඇටමිඳුළු ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. රුධිර සෛල හටගන්නේ ඇටමිඳුළු වල නිසා රුධිර සෛල නිෂ්පාදනය පහත හෙලීම සිදුවේ.

කෘතීම රසකාරක හා කැරමල් වර්ණක
සීනි රහිත සෝඩා පැණිරස කිරීම සඳහා යොදා ගන්නා ඇස්පටේම්, ඇසිසල්ෆේම් පොටෑසියම්, ෆිනිලලනීන් වැනි කෘතීම රසකාරක මෙන්ම කෘතීම කැරමල් වර්ණක පිළිකාකාරකයන් වීමට ඉඩකඩ තිබේ.

ටින් ආරක්ෂක
අන්තර්ගත ද්‍රාවණයෙන් ඇසුරුමේ ඇතුළත බිත්තියට හානි නොවීම සඳහා ආරක්ෂකයක් ලෙස ආලේපිත රසායනික සංයෝගයේ අඩංගු ‘බිස්ෆිනෝල් ඒ’ ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාකාරීත්වයට දරුණු ලෙස බලපෑම් ඇතිකරන බැව් හෙළිවී තිබේ. තවද මෙය පිළිකාකාරකයක් ලෙස හඳුනාගෙන ඇතිඅතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම නිසරුභාවයටද හේතුකාරක වියහැකිය.

පිනවමින් රස            නහර
ලෙඩ කරන ඔබෙ     සිරුර
කෘතීම පැන් හැම      අතැර
බොන්න පිරිසිදු         වතුර

කාබනික පැන් වගේ - වතුර නැතිවද අගේකාබනික පැන් වගේ - වතුර නැතිවද අගේ-001කාබනික පැන් වගේ - වතුර නැතිවද අගේ-002
                                                                                                                                                 

පරිශීලක පිටු

Soft drinks
Drinking Soda or Sugary Beverages Increases Heart Attack Risk
Soft Drinks The Effects of Coke and Pepsi
Bad Effects of Coke & Soft Drinks
What Happens To Your Body Within An Hour Of Drinking A Coke

Sunday, May 20, 2012

පුංචි පැංචො දෙන්නගේ - සුරතල් බලමුද අගේ

පුංචි පැංචො දෙන්නගේ - සුරතල් බලමුද අගේපුංචි වුණත් පැංචො දෙන්නා පාන දස්කම් නම් අපමණයි. හුරතල් හඬින් ගීතය ගායනා කරන අතරතුර රංගනයේ යෙදෙන අපූරුව ඉතාමත් සිත්ගන්නාසුළුයි. පුංචි මුහුණුවල හැඟීම් ගීතයේ අර්ථයත් එක්ක වෙනස්වෙන විලාසය බලාගෙන ඉන්නත් ආසයි. පුංචි හඬින් මොකක් ගැනද මේ කියන්නේ කියලා අපට නොතේරුණත් ගායන විලාසයත්, රංගනයත් දිහා බලපුවාම නම් පෙනෙන්නේ ගීතයෙන් කියැවෙන්නේ ආදරවන්තයින් දෙදෙනෙකුගේ සුපෙම්බර වාදයක් හෝ දෙබසක් වගෙයි. පැංචො දෙන්නාම බොහොම හොඳ සහයෝගයෙන් නර්තනයේ යෙදෙනබව නම් පැහැදිලියි.

ගීතයට දායකවන පුංචි පුතා ගැන නම් තොරතුරු සොයාගන්න ලැබුණේ නැහැ. එහෙත් මේ ගීතය ගායනා කරන ආකාරය ඇහෙද්දී නම් ඔහු චීනයේ ජනප්‍රියත්වයට පත්වන්නට ඇතිබැව් සහතිකයි. මන්ද ඔහු සතු හුරතල් හඬින්ම වටහාගන්න පුළුවනි මෙතරම් අපූරුවට ඔහු තම කටහඬ හසුරවන්නේ කෙතරම් කුඩා අවධියකදීද යනවග. එහෙනම් වයස මුහුකුරායද්දී සහතිකවම ඔහු තවතවත් දස්කම් පෙන්නුම්කරන්නට ඇති.

කොංයිංපුංචි දියණිය නම් මෙවකට චීනයේ සුප්‍රසිද්ධ ඔපෙරා ගායිකාවක්. ඇය නමින් ‘කොංයිං’. වයස අවුරුදු තුනේදී ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයට පිවිසි කොංයිං මේවනවිට වසර නවයක ගායන දිවියකට හිමිකම් කියන්නීයක්. ඇය පිළිබඳ බොහෝ විචාරකයන් පවසන්නේ නම් තවත් වසර කිහිපයක් ගතවූ පසු තවදුරටත් වැඩිදියුණු කරගැනීමට තවත් යමක් ඉතිරිව නැති තරමටම දැනටමත් දස්කම් දක්වන්නියක් වන බවයි.

ගීතය ගැන යමක් කියනවානම් දෙදෙනෙකු අතර ඇතිවන දෙබසක් ආකාරයෙන් රචනාවී ඇති නිසා නැවුම් හා ප්‍රබෝධමත්බවක් ගීතය සතුයි. ඒවාගේම ගීතය සඳහා නිර්මාණය වී ඇති තනුව මද වේගරිද්ම ස්වරූපයක් ගන්නා නිසා ප්‍රීතිමත් හැඟීම් දනවනසුළුයි. සොයාගත් තොරතුරුවලට අනුව නම් දර කපන්නෙකු හා ඔහුගේ සුපෙම්වතිය අතර ඇතිවෙන පෙම්වත් දෙබසක් තමයි ගීතයෙන් එළිදැක්වෙන්නේ.

මෙහි සැබෑ ගීතය චීනයේ කෙතරම් ජනප්‍රියදැයි කියනවානම් බොහෝදෙනෙක් මේ ගීතය ගායනා කරන්නටත්, රඟදක්වන්නටත් පෙළඹෙන අවස්ථා බොහොමයි.

මේ තියෙන්නේත්   දර කපන්නා සහ පෙම්වතිය  එවැනි එක් අවස්ථාවක්.

Tuesday, May 8, 2012

නෙක සමනල දිවි සක වග

මනාක් සමනලුන්

සොබාදහම විසින් නිර්මිත විසිතුරුම සත්ත්වයා සමනලයා ලෙස සැළකිය හැකිය. සමනලයාගේ ජීවන චක්‍රය, පැහැදිලිව හඳුනාගත හැකි මූලික අවධි හතරකින් යුතුය. ඒවානම් සමනල බිත්තර, දළඹු අවස්ථාව, පිලව් අවස්ථාව සහ සමනල අවධියයි. මේ බැව් කොතෙකුත් අසා ඇතත් රූපසටහන් වලින් දැක ඇතත් සමනල අවධිය හැර අනෙක් අවධි සැබෑවටම දැකගන්න ලැබෙන අවස්ථා ඉතා විරලයි. කෙසේනමුත් මෙම අවධියෙන් අවධියට පිවිසීමේ සිත්ගන්නාසුළු සිදුවීම් පෙළ යම්තාක්දුරට හෝ සජීවීව දැකගන්න ලැබුණු වටිනා අවස්ථාවක් තමයි අද ඔබත් එක්ක බෙදාහදාගන්න හදන්නේ.

මෙහි දැක්වෙන වීඩියෝ දසුනෙන් දිගහැරෙන්නේ සමනල් ලෝකයේ රාජ්‍යත්වයෙන් සැළකෙන ලොව අලංකාරම සමනලුන් අයත්වන ‘මනාක්’ කුලයේ සමනලුන්ගේ දිවි සක වග වන අතර අනෙකුත් සියළුම කුලයනට අයත් සමනලුන්ගේද දිවි සක මේ හා සමාන බැව් සැළකේ.

මේ ‘මනාක්’ සමනලුන්ගේ දිවි සකයයි

මේ වීඩියෝ දසුන වඩාත්ම වැදගත් වෙන්නේ අධ්‍යාපනය ලබන වයසේ දුවාදරුවන්ට. ඒ නිසා ඒ අයට පෙන්වන්න අමතක කරන්න එපා.

Saturday, May 5, 2012

එළි සිතුවම්

විදුලි පන්දම් නැටුම හිටුවන විදුලි පහනක් එළි සිතුවමට නැංවීම ආලෝක රැහැනෙන් වෙළුන පුටුවක් ආලෝක රැහැනෙන් වෙළුන මිනිසෙක් නගරයේ එළි උල්පත

හැඳින්වීම

එළි සිතුවම් යනු ඡායාරූප කලාවේ එන ‘සේයා පතන මාධ්‍යයෙහි දීර්ග නිරාවරණය (long exposure)’ නැමැති ශිල්පීය ක්‍රමයට අනුකූලව සේයාරූගත කළ හැකි ළගන්නාසුළු සිත්තම්වේ.

යාන්ත්‍රණය

වස්තුවක් සේයාරූගත කරන අවස්ථාවේ සේයා ගතක යන්ත්‍රයේ හෙවත් කැමරාවේ ප්‍රධාන අංගවල ක්‍රියාකාරිත්වය ගැන වටහාගැනීම එළි සිතුවම් ගැනීමේ ශිල්පීය ක්‍රමය දැනගැනීමට පහසුවක් වන බැවින් අපි පළමුවෙන්ම ඒ ගැන සොයා බලමු.

කැමරාවේ ප්‍රධාන අංග

ඕනෑම වස්තුවක් සේයාරූ ගතවන අවස්ථාවේ කැමරාවේ යතුර ක්‍රියාත්මක කිරීමත් සමඟම කැමරා පියන විවරවන අතර වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ කදම්බය කාචය තුළින්ද කැමරා සිදුර තුළින්ද ගමන් කර ඇරුණු කැමරා පියන හරහාද ගමන්කර සේයා පතන මාධ්‍යය (සේයාපටය හෝ රූප සංවේදකය) මත සටහන් වීම සිදුවෙයි.

එහෙයින් වස්තුවේ සිට පැමිණ, සේයා පතන මාධ්‍යය මතට පතිතවන ආලෝක කිරණ ප්‍රමාණය වෙනස් කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් මෙහිදී හඳුනාගත හැක. එනම් කැමරා සිදුරේ හරස්කඩ වර්ගඵලය වෙනස් කිරීම සහ කැමරා පියන විවරකර තබන කාලසීමාව වෙනස් කිරීම මගිනි. එළි සිතුවම් සේයාරූගත කිරීමට යොදා ගන්නේ දෙවන ක්‍රමයයි. එනම් කැමරා පියන විවරකර තබන වෙලාව තත්පර පහක් දහයක් හෝ ඔබට උවමනා කාලයක් දක්වා වැඩි කිරීම මගිනි.

එළි සිතුවම් සේයාරූගත කල හැකි ක්‍රම දෙකකි.

  • කැමරාව නිශ්චලව තබා දීප්තිමත් වස්තුවක් චලනය කිරීම මගින්
  • දීප්තිමත් වස්තුවක් ඉදිරිපිට කැමරාව චලනය කිරීම මගින්

පිළිවෙල

1 . කැමරාව නිශ්චලව තබා දීප්තිමත් වස්තුවක් චලනය කිරීම මගින්

මේ සඳහා දීප්තිමත් වස්තුවක් ලෙස දිදුළන එළියක්‌ ගෙනදෙන සිහින් විදුලි පන්දමක් වඩා සුදුසුවන අතර ඉටිපහනක්, ගිනිකෙළි, හුළුඅත්තක්, හඳුන්කූරක් වැනි දේ වුව යොදාගත හැක. පළමුවෙන්ම අඳුරු වටපිටාවක් ඇති තැනෙක කැමරාව නොසෙල්වෙන අයුරින් මේසයක් හෝ තෙපාවක් මත ස්ථානගත කළයුතුය. දෙවනුව, දීර්ග නිරාවරණ කාලයකට සකසනලද කැමරාව ක්‍රියාත්මක කර දීප්තිය ගෙනදෙන වස්තුව කැමරා කාචයේ මුහුණත ඉදිරිපිට චලනය කිරීමෙන් සිතුවම ඇඳගත හැක .

මෙහිදී අවකාශය කැන්වසය ලෙසත් පන්දම පින්සලයක් ලෙසත් හැසිරේ.

2 . කැමරාව චලනය කිරීම මගින්

මෙම ක්‍රමය සාම්ප්‍රදායික ඡායාරූපකරණයට හාත්පසින්ම වෙනස් වේ. එනම් අඳුරේ ඡායාරූප ගනුලබන්නේ කැමරාව නිසලව තබාගෙනය. නමුත් මෙහිදී දීප්තිමත් වස්තුවක් ඉදිරිපිට ක්‍රියාත්මක කරනලද කැමරාව ඔබට රිසිසේ චලනය කිරීම මගින් සේයාරුව සිත්තම්කළ හැක.

පහතින් දැක්වෙන වීඩියෝ ලැයිස්තුවේ පළමුවැන්න එළි සිතුවම් ගැන මෙන්ම ඒවායේ කලාත්මක හා විද්‍යාත්මක භාවිතය ගැනත් වැටහීමක් ලබා ගන්න ඔබට තවත් උපකාරීවනු ඇත. දෙවැන්න ඉතා මනහර එළි සිතුවම් ටිකක් දැකගන්නට අවස්ථාව සලසාදෙනු ඇත. නරඹලාම බලන්න එහෙනම්.

එළි සිතුවමක් සේයාරූගත කරන්න නිවසේදීම ඔබත් උත්සාහයක් අරගෙන බලන්න. එය, රසවත් අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ.