Thursday, August 27, 2015

අතපසුවට මොහොතයි - පසුතැවුමට දිවියයි

කෙවින් කාටර්ගේ පුලිස්ටර් සම්මාන ලාභී ඡායාරූපය - 1994 

මෙම ඡායාරූපයෙන් කියැවෙන, පෙනෙන හා නොපෙනෙන කතා දැනටමත් ඔබ දන්නවා ඇත. සුඩාන සාගතය විසින් ඉතා දරුණු ලෙස හාමතින් පෙළන ලද හිස තබා අතක් පයක් එසැවීමට තරම්වත් වාරු නොමැති මේ කුඩා දරුවා ගිනි අව්වේ පිච්චෙමින් හෙමිහෙමින් බිම දිගේ ඇදි ඇදී යන්නේ කිලෝමීටරයක දුරින් පිහිටි යාබද එක්සත් ජාතීන්ගේ ආහාර බෙදා දීමේ මධ්‍යස්‌ථානය කරා ළඟා වීමටයි. මෙවන් දර්ශනයක අවසන් ප්‍රතිඵලය හොඳින් අත්දුටු, සත්ත්ව මළකුණු ආහරයට ගැනීම මත යැපෙන ගිජුලිහිණියෙකු රහසින් කුඩා දරුවා පසු පසින් ඇවිදිමින් යන්නේ කිනම් හෝ මොහොතක මස් නැතද මස්කොට ගිලදමන්නට මසින් තොර මේ සිඟිති සිරුරේ අන්තිම පණ බිඳුව ගිළිහෙන තුරුයි. එය මෙහි පෙනෙන කතාවයි. නොපෙනෙන කතාව…

එවක සුඩානයේ සංචාරයේ නිරතව සිටි දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පී කෙවින් කාටර් මෙම දර්ශනය පියවි ඇසින් දැක ඡායාරූපයට නැගූ පුද්ගලයායි. ඒ 1993 මාර්තු මාසයයි.

එම මාසයේම 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පතට විකිණුනු මෙම ඡායාරූපය, වෙනත් බොහෝ පුවත්පත් හරහා ලොවම කම්පා කරමින් ලොව පුරා සීග්‍රයෙන් ප්‍රසිද්ධියට පත්වන්නට පටන් ගැන්මත් සමඟම ඡායාරූප ශිල්පී කෙවින් කාටර් ඇතුළුව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත නිරුත්තර කළ පැනය වූයේ මේ කුඩා දරුවාගේ අවසන් ඉරණම කුමක් වීද යන්නයි. කුඩා දරුවාට ඉන් අනතුරුව සිදුවූ දෙය ඡායාරූපය ගත් සැණින් දරුවා එහෙමම එතැනම දමා ගිය ඡායාරූප ශිල්පී කෙවින් කාටර් ඇතුළුව කිසිවෙකුත් දැන සිටියේ නැත. 

ඔහු එසේ වහාම එතැනින් ඉවත්ව ගියේ සාගතයේ දරුණුබව කියැවෙන එවැනි දර්ශන ඡායාරූපයට නැගීම ඔහුගේ රාජකාරිය වුවද රෝග සම්ප්‍රේෂණය සිදුවිය හැකි නිසා දුර්භීක්‍ෂයෙන් පීඩා විඳි දරුවන් කිසිවිටෙකත් ස්පර්ශ නොකිරීමට ඔහුට උපදෙස් ලැබී තිබීම හේතුවෙනි.

වසරක ඇවෑමෙන් ඡායාරූප ශිල්පී කෙවින් කාටර් මෙම ඡායාරූපය වෙනුවෙන් ලෝ පතළ පුලිස්ටර් සම්මානයෙන් පුද ලද නමුත් ඊට මාස තුනකට පසුව එනම් 1994 ජුලි මස 27 වනදා ඔහුට තම ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ සියදිවිනසා ගැනීම නිසාවෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 33 කි.

මිය යන්නට ප්‍රථම ඔහු විසින් ලියන ලද අවසන් ලිපියේ කොටසකි මේ.

  1. "I'm really, really sorry. The pain of life overrides the joy to the point that joy does not exist... depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners ... I have gone to join Ken(ඊට මාස කිහිපයකට ප්‍රථම ඡායාරූප වාර්තාකරණයේ යෙදී සිටියේදී ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ 31 හැවිරිදි සමගාමියා) if I am that lucky."

ආර්ථික දුෂ්කරතා හමුවේ මොහොතකට හෝ තම හෘද්‍යසාක්ෂිය වලලා ගනිමින් මෙවැනි ඡායාරූප ගැනීමට පෙළඹුණු කෙවින් කාටර්ට සිතෙන්නට ඇත්තේ එවන් මොහොතක් මොහොතක්ම පමණක් වනබව පමණි. ඒත් ඒ මොහොත ඇතැම්විට එම දරුවාගේ ජීවිතයම විය හැකි බවවත් කිසිවිටෙකත් නොසිතෙන්නට ඇත. නමුත් ඔහුගේ හෘද්‍යසාක්ෂිය අවදි වූ පසු ඔහු ඒ මොහොත වෙනුවෙන් තම ජීවිතයෙන්මද වන්දි ගෙවා දැන් අවසන්ය.

මා මේ ලිපිය ලියුවේ කිසිවෙකුටත් අවමන් කිරීමට අල්පමාත්‍රීයකුදු හැඟීමකින් නොවේ. සැමවිටම මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද ප්‍රමුඛත්වය දියයුත්තේ තම හෘද්‍යසාක්ෂියට බව පසක්කොට දීමටයි. ඔබ එක් කුඩා මොහොතක් තුළදී 'ගන්නා' හෝ 'නොගන්නා' තීරණයක්, නොමැතිනම් ඔබ අතින් සිදුවන පුංචි අතපසුවීමක් වෙනුවෙන් ඉතිරි ජීවිත කාලය පුරාම පසුතැවිතැවී ඉන්නට සිදුවිය හැකියි.

අනෙක් කාරණය කිසිවිටෙකත් ආහාර නාස්ති කරන්නටවත් තව කෙනෙකුට කෑම ටිකක් දෙන්නට මැලිවෙන්නටවත් එපා. බඩගින්න තරම් උහුලන්න බැරි ගින්නක් තවත් අපට නොදැනෙන තරම්. අපේ ජීවිත වල අවශ්‍යතා ගොඩායි. ඒ අවශ්‍යතා ඉටුකරගන්නට ජීවිතයත් මදි. ඒ අපේ අන්තිම හුස්ම පොද ආහාර එක්ක කිසිදු සම්බන්ධයක් තිබෙන බවක් අපට කවමදාවත් දැනිලා නැති නිසා. එහෙත් මේ මොහොත වනවිටත් ජීවිතයේ එකම අවශ්‍යතාවය ආහාර වෙලා තියෙන අනන්තවත් ජීවින් මේ මිහිපිට දැඩි කුසගින්නෙන් වේදනාවෙන් පෙළෙමින් යන්තමින් හෝ කුසට අහර බිඳක් ලැබෙන තුරු, නික්මෙන්නට තතනණ අන්තිම හුස්ම පොද අමාරුවෙන් හරි රැකගන්නට හදනවා.


පරිශීලක පිටු

2 comments:

  1. ඡායාරූපය දැකලා තිබුණා කතාව අහලා තිබුණා.. ඒත් කොටසයි.... දැන් තමයි මේ විස්තරය දැන ගත්තේ.. අැත්තටම කණගාටුදායකයි... මේ තමා ලෝකයේ යථාර්තය..... ඔබ කියන කතාව හා ඒකගයි... ඒත් ඊටත් ඒහා ගිය සමාජ වගකීමක් අපිට තියෙනවා නේද????

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම... මේ මිහිමත ජීවය ලබන අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් අතුරින්, එම සියළුම සතුනට වාසයට හිතකර පරිසරයක් ගොඩනගාගැනීමත් රැකගැනීමත් කළ හැකි එකම ජීවී කොටස මනසින් උසස් යැයි සම්මත මිනිසුන්මය. නමුත් කණගාටුවට කාරණය මිනිසුන් හුදු ආත්මාර්ථයෙන් යුතුවම කටයුතු කිරීමයි. නමුත් ඔබ, අප තම පමණින් හෝ මේ මිහිතලයේ සමතුලිතබව රැකගැනීමටත් එහි වෙසෙන සියළුම ජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකීමටත් උත්සාහ කළ යුතුයි. එමෙන්ම කිසිවෙකුත් අසරණ වන්නට අවකාශ නොමසැලසීමත් කෙසේනමුත් අසරණවූවන් වේ නම් ඉන් මිදීමට ඔවුනට වහවහා පිහිටවීමත් කළ යුතුයි.

      Delete