Tuesday, April 30, 2013

පොලිසියටත් ‘ලැම්බෝගිනි’

හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ?

පොලිසියටත් ලැම්බෝගිනිමේ අනුව ඩුබායි පොලිසියේ නිළ වර්ණය වන කොළ සහ සුදු වර්ණයෙන් වර්ණාලේපිත දැකුම්කළු 'ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර්' තරඟ ධාවන මෝටර්රථ පොලිස් මුර සංචාරක සේවා කටයුතු සඳහා නිළ රථ ලෙස භාවිතය දැනටමත් පටන්අරගෙන කියලයි ආරංචිය. මේවායේ භාවිතය විදෙස් සංචාරක නැවතුම්පොළවල් සහිත ප්‍රදේශවලට පමණක් සීමාවන අතර මෙවැනි අතිසුඛෝපභෝගී නවීනතම සුපිරි මෝටර්රථ පොලිස් සේවය සඳහා යොදාගැනීමේ ප්‍රධානතම අරමුණ තම ජේත්තුකාරබව විදහා දැක්වීමෙන් විදේශීය සංචාරකයන් උද්දාමයට පත්කිරීම මිසෙක මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමම නොවන බවයි පොලිසියේත් අදහස.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය තුළදී, ඉතාලියෙහි නිෂ්පාදිත මෙම එක් එක් රථයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂයක් ($400,000.00) පමණ වන අතර උපරිම වේගය පැයට කිලෝමීටර තුන්සිය හතළිස් නවයක් (349km/h) පමණ වෙනවා.

මේ අතර ඩුබායි පොලිස් සේවාව සඳහා යොදාගන්නා සියළුම රථවාහනවල ගුණාත්මකභාවයේ සමස්ථ ඉහළ නැංවීමක් සිදුකර ඇති අතර ඒ අතරින් ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර් අනර්ඝතම මිලදීගැනීම බවයි එරට‍ මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද ලැම්බෝගිනි තරඟ ධාවන මෝටර්රථ පොලිස් සේවය සඳහා යොදාගන්නා පළමුවැනි අවස්ථාව මෙය නොවන අතර මීට පෙර මෙවැනි සුපිරි මෝටර්රථ පොලිස් සේවය සඳහා භාවිත කරන ඉතාලිය, පැනමාව, කටාර් රාජ්‍යය සහ එක්සත් රාජධානිය වැනි රටවල්වල පොලිස් බලඇණි අතරට අළුතින්ම එකතුවී සිටින පොලිස් බලඇණිය ලෙසයි ඩුබායි පොලිස් බලකාය ඉතිහාසයට එකතු වෙන්නේ.

ඩුබායි පොලිස් සේවාව සඳහා ලැම්බෝගිනි තරඟ ධාවන මෝටර්රථවල ආගමනය එරට නිළ පොලිස් ට්විටර් ගිණුම ඔස්සේ පින්තූරයක්ද සහිතව ට්වීටර් පණිවුඩයකින් ජනතාව දැනුවත් කර ඇත්තේ මෙලෙසිනි "Latest #Dubai_Police patrols, now at your service". මේ තිබෙන්නේ එම සම්පුර්ණ ට්වීටර් පණිවුඩයයි.

සෝබනයට මිලාධික භාණ්ඩ මිලදීගැනීම සහ පරිහරණය කලාවක් ලෙසින් සලකන සුපිරි ධනවතුන් වෙසෙන ඩුබායි නගරයේ පොලිසියටත් ලැම්බෝගිනි තිබුණහම මොකද ?

No comments:

Post a Comment