Monday, June 23, 2014

තවත් එක් ගුරු ගීතයක් - අහන්නට අවසර බිඳක්

ගුරු ගීතය
            
       සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
       මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම්

       ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
       නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

       හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා
       කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා
 
       කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ
       ශිල්ප වඩන ඔබ නොමඟ යැවූ  දා මා ඇදුරිඳු වේදෝ
 
       සමාවන්න මට ඇදුරුතුමනි මගෙ සිර කරලමි හැඟුමන්
       පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්
 
       ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
       නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

චිංගීස් තුරේකුවොලිච් අයිත්මාතෝෆ් අතින් ලියැවුණු ‘The First Teacher’ ඇසුරෙන් දැදිගම වී. රුද්‍රිගු ලේඛකයානන් අතින් සිංහලයට පෙරළුණු ‘ගුරු ගීතය’ ඔබ විසින් කියවා ඇති නම් අයි. ඩි. ජයතිස්සයන් අතින් පබැඳුණු තිස්සසිරි පෙරේරා ගේ මනහර සංගීත රචනයෙන් මනා සේ ඔපවත් වුනු මේ සුමිහිරි ගීතය ඔබේ හදවතට සමීප වනු නොඅනුමානයි.
 
දුයිෂෙන් ගුරුතුමා තම සිසුවිය වූ අල්තීනායි කෙරෙහි තම සිත තුළ ඉබේ හටගත් කිසිලෙසකින්වත් අවස්ථාවාදී නොවූ පරම පිවිතුරු ප්‍රේමණීය සිතුවිලි, වචනයෙන් හෝ ස්පර්ශයෙන් ඇති කරගත හැකි පටු ආශ්වාදයකින් යටපත් වන්නට ඉඩ නොදී තම සිත තුළම රැකගත්තෙකි. මෙම ගීතයෙන් කියැවෙන ගුරුවරයා තුළ, දුයිෂෙන් තුළ මෙන් තම සිසුවිය පිළිබඳ හුදු ප්‍රේමණීය හැඟීම් පහළව ඇති බවට‍ ගුරුවරයාගේ පාර්ශ්වයෙන් සඳහනක් නොමැති වුවද මේ දෙදෙනා තුළම ගුරුවරුන් හැටියට තම සිසුවියගේ අනාගතය කෙරෙහි පවතින වගකීම් සහගත ස්වරූපය නම් එක හා සමාන වේ. නමුත් සිසුවියන් දෙදෙනා තුළම මෝදුවන නොඉඳුල් ප්‍රේමණීය සිතුවිලි එක හා සමාන වන අතරම තම ගුරුවරයා තුළද තමා පිළිබඳ දැඩි ප්‍රේමයක් ජනිතව ඇති බව වරදවා සිතන මෙම ගීතයෙහි දැක්වෙන සිසුවිය තම හැඟීම් තාවකාලිකව හෝ සිතෙහි සිරකර ගන්නට තම ගුරුවරයාට පොරොන්දු වුවද අල්තීනායි එසේ සිතුවිලි සිරකර ගත්තියක නොවුවාය.
 
කුඩා කාලයේ මා මේ ගීතය අසා රසවින්දේ මායා දමයන්ති සහ ලක්ෂ්මන් විජේසේකරගේ හඬින්. එම ගීතයේ මුල් පටිගත කිරීම මෙම සබැඳුම http://www.infolanka.com/miyuru_gee/xx/x451.ram ඔස්සේ රසවිඳිය හැකි වුවද එහි තිබෙන ඇතැම් බාහිර ශබ්ද ගීතයේ සැබෑ රසයට මෙන්ම ඔබේ ශ්‍රවණයට භාදා ගෙනදෙන බැවින් පහළින් ඔබට‍ ගෙන එන්නේ පසු කලෙකදී මායා දමයන්තිය සිය සැමියා වික්ටර් විජයන්තයන් සමඟ සජීවීව ඉදිරිපත් කරන එම ගීතයේම වීඩියෝ දසුනයි.


2 comments:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete