Friday, April 6, 2012

අගේ වඩන රුවැත්තී - නාද මවන සිඟිත්තී

ගීත ගයන්නට වයන්නට උපන් හපන් කොතෙකුත් පුංචි දරු දැරියන් අතුරින් මේ අසිරිමත් පුංචි දියණිය සුවිශේෂී වන්නේ ඇය සතු නාද රටා මැවීමේ කුසලතාවය නිසාවෙනි.

ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රොක්ෆෝර්ඩ් නගරයේ උපන් පුංචි එමිලි මතු දිනෙක පියානෝ විශිෂ්ඨයෙකු වන බවට මුල්ම පෙරනිමිති පල කරන්නේ ඇගේ වයස අවුරුදු දෙකකුත් මාස එකක් වැනි ඉතා ළපටි වයසේදීය. ඒ තම මිත්තන්ගේ පියනෝවේ තත් පිරිමදිමිනි. ඇගේ මේ හෙළිදරව්ව නොතකා සිටිය නොහැකි තරම් පුදුමසහගත වූ හෙයින් වෘත්තීය පියානෝ ගුරුවරියක වන ඇගේ මිත්තනිය තම මිණිබිරිය පියානෝ වාදනයෙහි ගුරුහරුකම් දීමට ඇමෙරිකාවේම පතළ සංගිතඥ ‘එමිලියෝ ඩෙල් රොසාරියෝ’ වෙත යොමුකරයි.

ඇගේ පියානෝ දිවියෙහි ආරම්භය සණිටුහන් වන්නේ මේ අයුරෙනි. වයස අවුරුදු තුනේදී තරම් කුඩා අවදියක තම පළමුවන ගීත නිර්මාණය එළිදක්වන එමිලි මේ දක්වා නිර්මාණය කර ඇති ගීත සංඛ්‍යාව ගීත හාරසියය ඉක්මවයි. ඇය විසින් නිර්මිත ඇතැම් සුන්දර ගීත සඳහා ඇයට ගතවී ඇති කාලය විනාඩි හතරක් හෝ පහක් පමණි. දිනකට අළුත් සංගීත කාණ්ඩ විස්සක් පමණ අළුතින් සොයා ගන්නා ඇය කිසිවිටෙක පොතක පතෙක සටහනක් නොතබාම මතකයෙන් ඒවා නැවත වයන්නීය, ගීත නිර්මාණ වලටද දායක කර ගන්නීය. ඇය විසින් ගීතයට නගන්නේ තමාගේ ඇතුලාන්තයෙන් උපදින, එකකට එකක් නොදෙවෙනි සුමිහිරි නැවුම් නිර්මාණ වීම පුදුමසහගතය. වඩාත්ම සිත් ගන්නාසුළු කාරණය නම් ඇගේ ඇතැම් සුවිශේෂී නිර්මාණ ප්‍රවීණ ගීත රචකයෙකුගේ නිර්මාණ වලින් වෙනකොට හඳුනා ගත නොහැකි තරම් උසස් මට්ටමක පැවතීමයි.

ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ පාලන කාලයේ වරක් ධවල මන්දීරයේදී තම හැකියාවන් පෙන්වීමට අවස්ථාවක් හිමි කර ගන්නා මේ පුංචි සුරතළිය එහිදී අනගි තෑගිබෝග රැසක්ද ලබමින් නොමඳ ප්‍රශංසාවටද ලක් වන්නීය. කුඩා කල පටන් මෝසාර්ට්ගේ නිර්මාණවලට ඇළුම්කරන කරන ඇය වරෙක මෝසාර්ට්ගේ විසි තුන්වැනි පියානෝ ප්‍රසංගය ප්‍රවීණ රොක්ෆෝර්ඩ් වාද්‍ය වෘන්දය සමඟ වැයීමට අවස්ථාව සලසා ගන්නීය. පිටු හතළිස් නවයකින් යුතු එම නිර්මාණය මතකයෙන් වැයීමට ඇය ගත කරන්නේ විනාඩි හතළිහක් වැනි කාලයකි.

සුප්‍රසිද්ධ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහනක් වන දි ඇලන් ඩිජේනර්ස් වැඩසටහනට හය වතාවක් ඇරයුම් ලබන ඇය එම වැඩසටහන මෙහෙයවනු ලබන ජනප්‍රිය නිවේදිකාව වෙනුවෙන්ද ගීතයක් නිමවා වයන්නිය. වසර 2010 වන විට නව හැවිරිදි වියේ පසුවුණු ඇය, ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ලෝප්‍රකට කානගී රඟහලේ තම දස්කම් පාන්නී එහි පිවිසි ලොව ලාබාලතම කලාකාරිය ලෙසිනි. එහිදී ඇය සියයක් වාද්‍ය ශිල්පීන්ද දෙසිය විස්සක් ගායන ශිල්පීන්ද සමඟ එක්ව තමා අතින්ම නිර්මිත ‘සාමය’ නමැති මාහැඟි ගීතයද තනිවම ‘පරම අභිමතාර්ථ’ ගීතයද අපූරුවට වයමින් තුන්දහසක ප්‍රේක්ෂක ජනතාවගේ නොමද ප්‍රසාදයට ලක්වන්නී කිසිදා නොවිඳි රසවින්දනයක් ඔවුනට අත්පත් කරදෙමිනි.

ඉතාමත්ම නිහතමානී ගතිගුණ වලින් යුතු මේ පුංචි කලාකාරිය දැන් තවත් උතුම් කර්තව්‍යයකට උරදී සිටියි. ඒ සංයුක්ත තැටි විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලෝකයේ අනේකවිධ දුක් කම්කටොළු විඳින මිනිසුන්ට උදව් උපකාර කිරීමෙනි. මෙතරම් කුඩා වයසකදී එවන් සත් ක්‍රියාවකට යොමු වන්නට මේ පින්වන්ත දැරිවිය දිනෙන්දිනම තම සුවිශේෂී හැකියාවන් වැඩි දියුණු කර ගනිමින් ලොවට පෙන්වන්නීය. ඇගේ ආත්ම විශ්වාසයෙන් පිරුණු මුහුණ අපවද දිරිමත් කරනසුළුය.

එමිලි බෙයාර් 1එමිලි බෙයාර් 2එමිලි බෙයාර් 3එමිලි බෙයාර් 4එමිලි බෙයාර් 5එමිලි බෙයාර් 6එමිලි බෙයාර් 7

මේ ඇගේ හැකියාවන් විදහාපාන වීඩියෝ දසුන් කිහිපයක්.

තම උපන් හපන්කම් ඇසුරෙන් දස්කම් විස්කම් පාමින් අහසින් බට පුංචි සුරංගනාවක මෙන් ප්‍රීතියෙන් සිනාසෙන්නී, ලස්ස්න පුංචි දෝණියේ, අපි ඔබට, සුබම සුබ අනාගතයකට අසිරි පතන්නෙමු.

No comments:

Post a Comment