Saturday, March 31, 2012

නැතුවම බැරි චීන සාරි

චීනයේ රෙදි වියන යන්ත්‍රයක්චීනය සාරි නිෂ්පාදනයට යොමුවී තිබේ. හාස්‍යය දනවන කාරණය එය නොවේ. සාරි නිෂ්පාදනයෙහි දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවට, චීනයෙන් සාරි ආනයනය කිරීමට සිදුවීමයි. විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනයෙහි දීර්ග කාලින පළපුරුද්දක් ඇති චීනය තම ආර්ථිකය සවිමත්  කිරීමෙහිලා වෙනත් රටවල ජනප්‍රිය භාණ්ඩ නිෂ්පාදනයටත් අපනයනයටත් පෙළඹී තිබේ. චීනය ඉන්දියාවේ අලංකාරම මෙන්ම වටිනාම සාරි මාදිලිය ලෙස සැළකෙන බණාරසී සාරි නිෂ්පාදනයට යොමුවී තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

ඉන්දියාවේ වරණාසි නගරයේ අත්යන්ත්‍ර ඇසුරෙන් බණාරසී සාරි වියන පාරම්පරික සාරි වියන්නන්ඉන්දියාවේ වරණාසි නගරයේ පාරම්පරික සාරි වියන්නන් අතින් අති අලංකාර අන්දමින් නිමැවෙන අනර්ඝ බණාරසී සාරි වෙනුවට චීනයේ නිෂ්පාදිත ගුණාත්මකභාවයෙන් අඩු සාරි ආනයනය කරන්නේ, ඉල්ලුමට සරිළන සැපයුමක් නොමැති කමකට හෝ  චීන සාරි නැතිවම බැරි කමකට හෝ නොවේ. ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ සහනදායී මිළ ගණන් යටතේ පාරිභෝගිකයන් අතට පත් කිරීමට වෙර දරණ කූට ව්‍යාපාරිකයන්ගේ උවමනාවට සිදුවෙන දෙයකි. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵල අත්විඳින්නේ එවැනි වංචා වලට හසුවෙන පාරිභෝගික ජනතාව පමණක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට අත්යන්ත්‍ර සාරි නිපදවිමම ප්‍රධාන ජිවන උපාය කැරගත් පාරම්පරික සාරි වියන්නන්ද මෙයින් ආර්ථික අස්ථාවරත්වයකට පත්ව තිබේ.

Wedding Banarsi Sareeමෙහි භයානකම ප්‍රතිඵලය වන්නේ සම්ප්‍රදායික සාරි වියන්නන් තම රැකියාව අතහැර යාමේ අවදානමයි. එවිට තවදුරටත් අත්යන්ත්‍ර බණාරසී සාරි නිෂ්පාදනය වීමක් හෝ වෙළඳ පොළට නිකුත්වීමක් සිදු නොවනු ඇත.එනම් සැබෑ බණාරසී සාරි භාවිතයෙන් ඉවත් වීමයි. තවද ප්‍රදේශීය වශයෙන් මෙතෙක් කල් රැකගෙන ආ අත්යන්ත්‍ර සාරි නිමවුම් කලාවද මේ සමඟ මියැදෙනු ඇත.

මේ දක්වා ඉන්දීය රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැතිකම නිසා වරණාසි නගරයේ පාරම්පරික සාරි වියන්නන් මෙන්ම අවංක වෙළඳ ව්‍යාපාරික ජනතාවද මහත් අපහසුතාවයටත් දැඩි කනස්සල්ලටත් පත්ව හිඳියි. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවන තෙක් ගුණාත්මකබවින් යුතු සැබෑ බණාරසී සාරි මිළදී ගැනීමට අවැසි  අසරණ පාරිභෝගික ජනතාවද මඟ බලා සිටිනු ඇත.

CNN පුවත් සේවය මගින් මේ සම්බන්ධයෙන් සැකැසුණු වීඩියෝ දසුන පහතින් ඔබට නැරඹිය හැක.

2 comments:

  1. ලංකාවේ නම් මට හිතෙන විදිහට ආපහු අත්යන්ත්‍ර රෙදි වලට ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා

    ReplyDelete
    Replies
    1. අපේම රටේ මිනිසුන්ගේ දෑත්වල සවියෙන් නිමැවෙන නිමැවුම් හා නිපැයුම් මිලදීගැනීම ඒ අයට ව්‍යාපාරිකමය වශයෙන් සහාය දැක්වීමක් මෙන්ම ඔවුන්ව දිරිගැන්වීමක්ද වෙනවා. එමෙන්ම රටක් වශයෙන් ගත්තහම ලංකාවේ රෙදිපිළි අවශ්‍යතාවය සපුරාලීම සඳහා හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන යොදාගැනීම මඟින් වෙනත් රටවල්වලින් රෙදිපිළි ආනයනය කිරීම සඳහා වැයකිරීමට සිදුවෙන මුදල් ප්‍රමාණය අවමකර ගැනීමට හැකියාව ලැබෙනවා.

      Delete