Wednesday, September 30, 2015

අහඹු වචන සිද්ධාන්තය

වචන

විසඳුමක් හිතාගන්නම බැරි ගැටළුවක හිරවෙලා ඉන්න වෙලාවක, විසඳුමක් ඕනිමයි කියලා දැනෙද්දී කරන්න තියෙන හොඳම දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. මේක ටිකක් අමුතු සිද්ධාන්තයක්. හැබැයි ගොඩාක් සරලයි. ඒ වගේම ලස්සනයි.

1. න්‍යාය

 

අහඹු වචන සිද්ධාන්තය

 

2.ගැටළුව

පළමුව ඔබේ ගැටළුව කොළයක සටහන් කර ගන්න
මගේ ගැටළුව

ආච්චි අම්මාට බෙහෙත් බොන්නට හෝ බිව්වාද නැද්ද කියා නිතරම අමතක වීම...

 

3.වචනය

දෙවනුව එක්වරම ඔබේ සිතට නැගුණු වචනයක් ඊට යටින් එම කොළයේම සටහන් කර
ගන්න
කොහොමද අපි වචනයක් තෝරාගන්නේ... ඒ සඳහා උපක‍්‍රම කිහිපයකි.
1. වටපිට බැලීමෙන් දකින වචනයක් ඇස ගැටෙන වස්තුවක් හෝ සංසිද්ධියක්
2. අහඹු ලෙස පෙරළාගත් පොතක පිටුවක් මත අහඹු ලෙස ඇඟිල්ල තබා ඒ ආසන්නයේම දක්නට ලැබෙන වචනයක්
3. ඔබ ළඟ සිටින කෙනෙකුගෙන් අසාගත් හෝ ඇසුණු වචනයක්
4. ඔබ විසින් සකස්කර ගන්නා ලද ඔබේ මතකය අවුස්සන හෝ ඔබ සිතේ හැඟීමක් ජනිත කරවන වචන ලැයිස්තුවකින් අහඹු ලෙස තෝරා ගත් වචනයක්
5. ... 

මගේ වචනය 'උදැල්ල'...
මං ඒක තෝරාගත්තේ ඒ වෙලාවේ උදැල්ලක් පොළොවේ වදින හඬ ඇහුණු නිසා.

 

4.සබැඳුම්

තෙවනුව කොළය අනෙක්පස පෙරළා ගැටළුවෙන් මුළුමනින්ම හිත නිදහස් කරගෙන එම වචනය ඔස්සේ පමණක් ඔබේ මතකය මෙහෙයවමින් මතකයට නැගෙන සියළුම දෑ කොළයේ සටහන් කර ගන්න.

මගේ වචනය ‘උදැල්ල’ නිසා

  1. පොළොව (උදැල්ලෙන් කරන ප්‍රධානතම කාර්ය්‍යය පොළව ආශ්‍රීත වැඩ ඒ කියන්නෙ උදැල්ල ගැටෙන්නේ පොළොවත් එක්ක)
  2. යකඩ (උදළු තනා තිබෙන්නේ බොහෝවිට යකඩ වලින්)
  3. අනතුරු (උදැල්ලෙන් වැඩකරද්දී මෙන්ම වැඩක් නොගෙන ඉඳිද්දීත් අනතුරු වෙන්න පුළුවන්)
  4. ආරක්ෂාව (ආරක්ෂාකාරී ලෙස ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි)
  5. කොපුවක් (තලයට ආවරණයක් ලෙස පාවිච්චි නොකරන විට උදැල්ලේ තලයට කොපුවක් පැළදවීමට හැකිනම් අනතුරු අවම කරගන්න පුළුවන්)
  6. ගබඩා කාමරය (උදැල්ල තැබීමට බිමක සුවිශේෂ ස්ථානයක් තිබිය යුතුයි ආරක්ෂාවට හා සොයා ගැනීමේ පහසුවට පහසුවෙන් ගතහැකි හොඳින් මතක තිබෙන ස්ථානයක්)
  7. මළකඩ (උදැල්ලක් මිළදී ගන්නා විට මළ නොබැඳෙන වානේ වර්ගයකින් හදපු ඉක්මණින් නොගෙවෙන එකක් මිලදීගත යුතුයි)


දැන් එම ආශ්‍රිත ඔබේ ගැටළුව හා සම්බන්ධ කරමින් හැකිතාක් එක් එක්
සබැඳුම් වලට අදාළ නව අදහස් මෙසේ පෙළගස්වා ගන්න

  • 1. පොළොව
    මෙයින් බෙහෙත් බහාලනය තැබිය යුතු ස්ථානය තීරණය කළහැකියි. බිමක තිබ්බොත් ඇස ගැටෙන ප්‍රවණතාවය වැඩියි. කැපී පෙනෙනවා ඒ වගේම අතුපතු ගාන හැම වෙලාවකම අවධානයට යොමු වෙනවා. 
  • 5. කොපුව
    උදලු තලේට සුවිශේෂී කොපුවක් තිබිය යුතුවා සේම බෙහෙත් බහාලුමද සුවිශේෂී ආකර්ශනීය අයුරින් නිර්මාණය කළ යුතු බව. දැකපු ගමන් හිත ඇදිලා යන නෙත් ඇදගන්නා යන සුවිශේෂී ආවරණයක් බෙහෙත් බහාලුම ලෙස යොදාගැනීම කළ හැකියි.
  • 6. ගබඩා කාමරය (ඉසව්ව)
    උදැල්ල ආරක්ෂාකාරී අයුරින් හොඳින් මතක්වෙන, පහසුවෙන් ගැනීමට හා තැබීමට හැකි ස්ථිර හා සුවිශේෂී තැනක තැබිය යුතුවා සේම බෙහෙත් බහාලුමත් තැන්තැන්වල ගෙනිහින් දාන්නට බැරි අයුරින් සුරක්ෂිතව එයට හොඳම තැනෙක හොඳින් ඇස ගැටෙන අයුරින් ස්ථානගත කිරීම.

5.ප්‍රතිඵලය

මෙයින් මගේ අවසන් නිගමනය වූයේ ආච්චී නිතර හිඳගන්නා මිටි ආසනය ආසන්නයෙන්ම ආච්චි අම්මා ආසම කරන පාට, හැඩතල සහිත විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද බිම තැබූ පුංචි ලී පෙට්ටියක් තුළ බෙහෙත් ගබඩාකර තැබීම කළ යුතු බවයි. මීට අමතරව බෙහෙත් ගත් බව සළකුණු කළ හැකි ආකාරයේ අලංකාර දර්ශකයක් පැන්සලක්ද සමඟින් බෙහෙත් බහාලුමේ රඳවා තැබීමත් කළ හැකියි. මේ නිසා අප නිවසේ නොසිටියද ඇය නිවස තුළ නිතරම ගැවසෙන ස්ථානයේ තිබෙන මේ අලංකාර බෙහෙත් බහාලුම දකින ඇයට බෙහෙත් ගන්නට මතක වෙනවා සේම බෙහෙත් ගත් බවට සලකුණු කළ හැකි දර්ශකයක් එයටම සවිකර තිබෙන නිසා එවෙලේම එහි සටහන් කිරීමත් පහසුයි. මේ නිසා එකම බෙහෙත් නැවත ගැනීමත් මගහැරෙනවා. අනෙක නිවසට ආපසු පැමිණි විට අපට සොයා බලන්නත් පහසුයි. තවද මෙම දර්ශකය වෙනුවට කොපුව කියන සබැඳුම ඔස්සේම තවත් යමක් කළ හැකියි. ඒ බෙහෙත් වේල් වෙන වෙනම දැමිය හැකි වෙන්කරන ලද කුඩා ලාච්චු සහිත බඳුනක බෙහෙත් දමා තැබීමයි.

සාම්ප්‍රදායික චින්තන රටාවෙන් බැහැරව එකිනෙකට වෙනස් විවිධවූ දිශාවන් ඔස්සේ ගැටළුවක් දෙස බැලීම මඟින් එයට විසඳුම් සොයා යන නිර්මාණාත්මක ක්‍රමවේදයක් තමයි අහඹු වචන සිද්ධාන්තය කියන්නෙ. එකිනෙකට කිසිදු සම්බධතාවයක් නොමැති අදහස් දෙකක් එකිනෙක හා ගැටීම තුළිනුයි මෙහි ප්‍රතිඵල ඇතිවෙන්නෙ

මා කෙතරම් පුනපුනා කීවත් ඔබම ඔබේ ගැටළුවකට පිළියම් සෙවීමට මෙම ක්‍රමය යොදා ගන්නා තුරුම මෙහි ඇති ප්‍රබල තාක්ෂණය හෝ ඉහළ ඵලදායීතාවය ඔබට වටහාගන්නට පුළුවන්කමක් නැතිවාට සැකයක් කිසිදු නැහැ. මක්නිසාදයත් මමත් මුලින්ම එම අවස්ථාව මුහුණදුන් නිසා. නමුත් එක්වරක් උත්සාහ කර බලන්න. මෙය හරිම විනෝදකාමී දෙයක් වෙයි ඔබට…

2 comments:

  1. මේක හරි යනවනම් නියමයි නේ... ට්‍රයි කරලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බණ්ඩා මහත්මයා, උත්සාහ කරලාම බලන්න ඕනි.
      බොහොම ස්තූතියි මෙහෙ ආවට...

      Delete